English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මරණයෙන් අනතුරුවත් සටන්වැදි මාධ්‍යවේදියා - රිචඩ් ද සොයිසා 26 වන සමරුව

හැට දහසක් ජීවිත බිලිගත් භීෂණ සමයක මෙන් ම එය පවත්වාගෙන ගිය එජාප පාලන තන්ත්‍රයේද අවසානය සනිටුහන් කළ මරණය ඔහුගේ මරණය වීය. සැබැවින්ම ඔහු මරණයෙන් පසුව ද සටන් වැදුණේ ය. ගල් බැඳ දමා ගැඹුරු මුහුදට ඇද හෙළූ නමුත් සැඟවිය නොහැකි වූ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මොරටුව කොරළවැල්ල ප්‍රදේශයට ගොඩගසා තිබිණි.  මාධ්‍යවේදියෙකු, නළුවෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට (18), වසර 26ක් සපිරෙයි. මෙම සටහන මරා දැමුව ද පරාජය කළ නොහැකි වූ ඒ සොඳුරු මිනිසා වෙනුවෙනි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද රිචඩ් ද සොයිසා පාසැල් වියේදීම කථිකත්වය, කාව්‍යකරණය සහ රංගනයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුවෙකු විය.  පාසැල් දිවියෙන් අනතුරුව ද ඔහු බ්‍රිතාන්‍ය කවුන්සිලය නිශ්පාදනය කළ වේදිකා නාට්‍ය ගනනාවකට දායක විය. ඔහුට වේදිකා නාට්‍ය යනු ඔහුගේ ජීවිතය ම තරම් වූ බව කියවේ. ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය ලද බොහෝ මධ්‍යමපාන්තික සිසුන්ට නොපිහිටි ආකාරයේ ලාංකේය සමාජය පිළිබඳව වෙනස් දැක්මක් ඔහුට තිබුණු අතර පසුකාලීනව කියවීම විසින් ඔහු විදග්ධ දැනුමක් රැස් කරගත්තේය.

ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙකු ලෙස සහ රූපවාහිනී නිවේදකයකු ලෙස මාධ්‍යකරණයෙහි නියැළුණු ඔහු යුගාන්තය සහ සත්යග්‍රහණය චිත්‍රපටයන්හිද යශෝරාවය ටෙලිනාට්‍යයෙහිද රංගනයෙහි නියැළෙමින් සිය රංගන හැකියාව දක්වා ලීය. රෝමය මූලස්ථානය කරගත් ඉන්ටප්‍රෙස් පුවත් සේවයෙහි ශ්‍රී ලංකා සහ ආසියානු කලාපයේ නියෝජිතයා ලෙස සේවය කරමින් රිචඩ් සිය ජනමාධ්‍ය වගකීම ජාතික තලයෙන් ජාත්‍යන්තර තලය දක්වා එපිටට විහිදුවා ලීය.

අසූව දශකය අග භාගය එළඹියේ ලාංකේය භූමිය එකම අමු සොහොනක් කරමිනි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා සම්බන්ධයක් නොතිබුණු මුත් එවකට පැවති එජාප ආණ්ඩුව විසින් ගෙනගිය ජවිපෙ සංහාරය පිළිබඳව තොරතුරු ලෝකයට ඉදිරිපත් කරමින් මාධ්‍යවේදියෙකු ලෙස මෙන් ම මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද රිචඩ් සිය වගකීම ඉටු කළේ ය. බීබීසී පුවත් සේවය ඇමිනෙස්ටි ඉන්ටනැශනල් ආයතනය වැනි ආයතන සමඟ වූ ඔහුගේ සම්බන්ධතා මේ සඳහා මහෝපකාරී විය. ඔහු මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාප්පාරයෙහි ක්‍රියාකාරිකයකු විය. එහි කැඳවුම්කරු වූයේ ගැමුණු සෙනවිරත්නය. ඔවුන් රැස්වුණේ ගලධාරී ලොබියේ බව හමුදා බුද්ධි අංශයන්ට ඉව වැටී තිබිණි. 1989 දෙසැම්බර් මස දිනයක දී රිචඩ්ගේ පණිවිඩයක් ලෙස ගැමුණු සෙනවිරත්නට පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගෙන පැහැරගන්නට බුද්ධි අංශ සමත් විය. තමන්ට තර්ජනයක් වූ පුද්ගලයින් ඉවක් බවක් නොමැතිවම මුලිනුපුටා දැමීම රජයේ ක්‍රමවේදය වී තිබුණු එම යුගයේ දී රිචඩ්ගේ ආයුකාලය දිගු වූයේ ද තවත් දෙමසකට ආසන්න කලකට පමණි. ඔහුගේ මාධ්‍යකරණය ආණ්ඩුවට කරදරයක් වී තිබිණි.

එය පාලකයා විසින් සිය "කුස්සි ආරක්ෂක කවුන්සිලයේ දී" ,මේ මනුස්සයා මහ කරදරකාරයෙක්නෙ ඕයිෟ, කියූ විට අදාල පුද්ගලයාගේ මළ සිරුර පහුදිනට මහමඟ තිබී හමුවන තරමට අවනීතිය රජයූ යුගයක් විය. රොනී ගුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිවසට පැමිණ රැගෙන ගිය රිචඩ්ට පහර දී වෙඩි තබා ඝාතනය කර මළ සිරුරෙහි ගල් බැඳ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් රැගෙන ගොස් ගැඹුරු මුහුදට හෙළා තිබිණි. ඒ 1990 පෙබරවාරි 18 වනදාය. රිචඩ් ව පැහැරගෙන ගිය මොහොතේ ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා විසින් එවකට ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නව අමතා ඒ පිළිබඳව විමසා ඇති අතර ඇමති වරයා පවසා තිබුණේ ඔහු ආරක්ෂක අංශයන් භාරයෙහි සිටින බවත් නිදහස් කිරීමට නියමිත බවත්ය. මෙම පුවත ගාමිණී ෆොන්සේකා විසින් රිචඩ්ගේ මව වන මනෝරාණි සරවනමුත්තු මහත්මියට පවසා තිබුණු හෙයින් මීට රජයේ ඇති සබඳතාව සැඟවිය නොහැක්කක් විය.

කෙසේවෙතත් පසුදින උදාවන විට ගැඹුරු මුහුදේ ගිල්වා හෝ සැඟවිය නොහැකි වූ ඒ මානවවාදියාගේ සිරුර මොරටුව කොරළවැල්ලට ගොඩගසා තිබිණි. එම දේහය නැවතත් අත්පත් කරගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණෙන විටත් අධිනීතීඥ බැටී වීරකෝන්, අතිරේක මහේස්ත්‍රාත් ජිනප්‍රිය පේදුරුහේවා යන මහත්වරුන් සහ මනෝරාණි සරවනමුත්තු මහත්මිය එතැනට පැමීණ සිටි හෙයින් සිද්ධිය නැවත යට ගැසීමට නොහැකි විය.


රිචඩ් ද සොයිසා ඝාතනය එජාප ආණ්ඩුවේ අවසානයෙහි හැරවුම් ලක්‍ෂ්‍යය විය. ඔහු වෙනුවෙන් ඇරඹි සටනින් මුල පිරුණු මව්වරුන්ගේ පෙරමුණ සහ පාදයාත්‍රාවන් අවසාන වූයේ 1993 දී එජාප පාලන තන්ත්‍රය බිඳවට්ටමිනි. කෙසේවෙතත් රිචඩ් ඝාතනයට අදාල සමහරුන් ඒවන විටත් මියගොස් සිටි අතර අදවන තුරුත් කිසිවකු නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමක් සිදුවූයේ ද නැත.

රජගෙවල් සහ වලව් වල සුදුහුණු ගෑමත් වළං සේදීමත් මාධ්‍යකරණයයැයි හඳුනාගත් බොහෝවුන් සිටින අදවන් යුගයක එදා පැවති භීෂණය හමුවේ ජීවිත අවදානම නොතකා මිනිසුන් වෙනුවෙන්, මිනිස් හිමිකම් වෙනුවෙන් මාධ්‍ය භාවිතාවෙහි නියැළුණු රිචඩ් ද සොයිසා පිළිබඳව යළි යළිත් කියවිය යුතුව ඇත. එදා රිචඩ් ලා වෙනුවෙන් සටන් කළ උන් ම පසුකලෙක පාලකයින් වී මරාදැමූ මාධ්‍යවේදීන්ට හෝ සාධාරණය අනාගතයේ දී ඉටුවිය යුතුය.

උපුටා ගැනීම - Lanka News Web
- Melani



2016-02-22
Advertisement

Find us on Facebook