English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අන්තර් විවාහයක් කරගන්න ඔබ කැමති ද ?

අන්තර් විවාහයක් කරගන්න ඔබ කැමති ද ?


ඔව් මම කැමතියි ! ඇයි ඒ ? තවදුරටත් මිනිස්සු දුක්විඳිනවා බලන් ඉන්න බැහැ. ප‍්‍රශ්න විසඳිලා නැහැ කියලා අහන්න කැමති නැහැ. ආත්මාර්ථකාමය හා කිසිඳු වැදගත්කමක් නැති පුහු ජාතිවාදය හා ආගම්වාදය කරේ තියාගෙන බොරුවට දුක්විඳිනවාට වඩා නරක ද මුසල්මානුවයි , දමිළ මිනිහයි , සිංහල මිනිහයි එකතු වෙලා තම තමන්ගේ පෞද්ගලීක ජීවිත වගේම රටේ පැවැත්මටත් , සංවර්ධනයටත් දිරියක් දුන්නොත්! යනුවෙන් පිළිතුරක් ලැබුණේ, සිංහල බෞද්ධ යන ලේබල් එක නළලේ ගසා නොගත්, ජාතිවාදය සහ ආගම්වාදය තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරන, උසස් අධ්‍යාපනයක් ලබමින් සිටින, දකුණේ මගේ මිතුරියකගෙන් එසේ විමසා සිටි විටය.

"මුස්ලිම් මිනිහෙකුට කැමති නොවී ද්‍රවිඩ විවාහයක් කරගන්න කැමති ඇයි කියා යළිත් විමසු විට, ඇය කියා සිටියේ, ඔවුන් හොඳයි, නමුත් ඔවුන්ට ඔවුන්ගේ ආගමීක නීතියෙන් ම අවසරයක් තියෙනවා විවාහයන් කිහිපයක් ම කරගන්නට. ඒ විධියේ බහු විවාහයන්වලට මම කැමති නැහැ. ඒ නිසා ද්‍රවිඩ සහෝදරයෙක් එක්ක විවාහා වීම හැම පැත්තකින්ම හොඳයි කියල මට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතියට මම කැමතියි. ඔවුන් බුද්ධිමත්. ඒ වගේම තමයි ඔවුන් මහා ආදරයකින් බැඳුණු, එකමුතුකමක් තියෙන ජාතියක් හැටියටයි මගේ මනසේ ඔවුන් පිළිබඳව ඇඳී තිබෙන චිත‍්‍රය. ඒ නිසා ද්‍රවිඩ විවාහයක් කරගන්නට අවකාශයක් ලැබෙනවානම් අනිවාර්යයෙන්ම මම එසේ කරනවා."
 
මේ තරුණ අදහස කෙතරම් ප‍්‍රගතිශීලි ද? හිතට කෙතරම් සෞමය සුවයක් ගෙනදෙන, සාමකාමි, පදනමක් ඇති ශක්තිමත් අදහසක් ද කියා මට සිතුණි. මේ ආකාරයේ සිතුවිලි වලින් පොහොසත් තරුණ පරම්පරාවක් විසින් පොදුවේ රටෙත් මිනිස් ජාතියෙත් ඉදිරිය ගැන කල්පනාවට ගනිමින් පරාර්ථකාමිව කටයුතු කරන්නට පෙළඹුනහොත් එය සමස්ත රටටත් ජාතියටත් ජයග‍්‍රහණයක් ම මිස පරාජයක් නොවනු ඇත. 

අපේ සිංහල ජනයා උරන නොවී බුද්ධිමත්ව සහ විශ්ලේෂණාත්මකව කරුණු පිළිබඳව සිතා බලන්නේ නම්, බොහෝ විවෘත වු මනසකින් මෙන්ම හදවතකින් ද ජාතීවාදි සහ ආගම්වාදි පුහු මෙන්ම ඉතා විසකුරු සිතුවිලි හරහා නොව, ප‍්‍රඥාවට මුල්තැන දී ශ‍්‍රි ලංකාව පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙන්නේ නම්, බහුතර යැයි කියාගන්නා සිංහල ප‍්‍රමුඛව මුස්ලිම් ජාතිකයින් ද තවමත් සුළුතර යැයි කියනා ලේබල් එක මත කොටුකර සිටින ද්‍රවිඩ ජාතිකයින් හා මිශ‍්‍ර වීමේ හා ස්වයං ජීවිත බැඳීම් වලින් ගමනක් ආරම්භ කරන්නේ් නම් සමස්ත ශ‍්‍රී ලාංකීකයින්ම ආර්ථීක සමාජ සංස්කෘතික හා දේශපාලන වශයෙන් කීර්තියක් අත්කර ගනිමින් ඉතිහාසායට එක්වීම වෙනස් කළ නොහැක යැයි නොපෙනේද ?

ජාතින් අතර සමගිය වර්ධනය වීමටත්, ජාතීන්ගේත්, රටෙත් දියුණුව සඳහාත් මිශ‍්‍ර විවාහායන් පිළිබඳව උතුරු පළාතට පත්කළ, සිංහළ ජාතික උපතින් කිතුණු පසුව බෞද්ධයෙකු වු නව ආණ්ඩුකාරවරයාගේ ඇගයුමට හා අවධානයට යොමු වී ඇති බව මාධ්‍ය වාර්තා සටහන්කර තිබිණි.

"මගේ දැක්ම අනුව ජාතීන් මිශ‍්‍ර වීමෙදි ජාතීන් අතර හොඳ ප‍්‍රථිපල ලැබෙනවා. ජාතින් මීශ‍්‍ර වු විට ළමුන් ඉතාමත් හොඳ වෙනවා. එකම ජාතියේ ළමුන්ට වඩා ඒ අය හොඳ මට්ටමක සිටිනවා. විද්‍යාවට හා තාක්‍ෂණයට අනුවත් දෙමුහුන් වීම ඉතාම හොඳ දෙයක්." යැයි උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සිය ධුරයේ වැඩ භාර ගනිමින් ප‍්‍රකාශ කළේ යැයි බීබීසී සංදේශය වාර්තා කළා.

ජාතීන් අතර විවාහයන් සිදුවීම, සිය ධනාත්මක විවේචනයට ලක්කරන රෙජිනෝල්ඞ් කුරේ ආණ්ඩුකාරවරයා, තරුණ පරපුර අන්තර් විවාහයන් සම්බන්ධයෙන් යම්කිසි දිරිමත් කිරිමක් කෙරෙහි යොමුකරවන බවක් ද පෙනී යන්නේ ඔහු තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කර ඇති නිසාය.

"ලංකාවේ බොහෝ රජවරු බිසෝවරු ගෙනාවේ ඉන්දියාවෙන්. මුස්ලිම් අය ලංකාවට ආවේ බිරින්දැවරු නොමැතිව. ඒ අය විවාහ වුණේ ලංකාවේ සිංහල කාන්තාවන් සමඟ. ඒ නිසා අපිට ශුද්ධවන්ත භාවයක් ගැන හිතන්න පුළුවන් ද?" යැයි ආණ්ඩුකාරවරයා ප‍්‍රශ්න කර ඇත. 

ඇත්තෙන් ම, ආණ්ඩුකාරතුමා කියන්නා සේ තවත් ජාතියක් තවත් ජාතියක් හා මිශ‍්‍ර වීම  මෙසේ ජාතීන් අතර, තමන්ට ගැලපෙන ආකාරයෙන් අන්තර් විවාහයන් සිදුකර ගැනීමට තරම් දකුණේ ජනතාවත් උතුරේ ජනතාවත් ප‍්‍රඥාවන්ත වන්නේ නම් අවංකවම, තේරුම් ගැනීම , බෙදා ගැනීම තුළින් මෙරට ජීවත්වන ප‍්‍රධානම ජාතීන් වශයෙන් සිංහල මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයින් අතර සාමයේ සමගියේ සංහිදියාවේ උසස් මෙන්ම සාර්ථක ජීවිත ගොඩනැගීම මෙන්ම ඒ තුළින් සමස්ත රටතුළ භෞතික වශයෙන් ද සාමාජීය වශයෙන් ද ආර්ථීක හා දේශපාලන වශයෙන් ද ඉතා ගැඹුරු සහ ශ්‍රේෂ්ඨ උන්නතියක් ඇතිවනවාට කිසිදු සැකයක් නැත. රට පරිපුර්ණ සංවර්ධනයක් කරා ගමන්කිරිමට ද මෙය හේතු පාදක වනවා නොඅනුමානය.

පත්වී සිටින නව ආණ්ඩුකාරවරයා ගේ චින්තනය අනුව, ජාතීන් අතර සාමය සංහිඳියාව වර්ධනය කිරීමේහිලා ඔහුගේ ශූභවාදි ආකල්ප ක‍්‍රියාවට නංවාලිය හැක්කේ නම්, රටෙහි අනාගතය දෙස බැලීමේදි එය ඉතා ම ප‍්‍රඥාගෝචරය.

ඕනෑවට වඩා සිය ජාතිය හා ආගම ඉස්මතු කරමින් , පුහු එඩිතර බවකින් හිස උදුම්වාගත් දකුණේ ඇතැම් සිංහල බෞද්ධ මිනිසාට වඩා, උතුරේ ද නැගෙනහිර ද කඳුකරයේද ජීවත්වන දෙමළ මිනිහා ඉතාම බුද්ධිමත් ය. සංවරය. ඒ නිසා ඔවුන්ට ලැබිය යුතු නිසි නිදහස හා පිළිගැනීම ලැබෙන්නේ නම් සීග‍්‍රයෙන් දියුණුවන්නට ඔව්හු දනිති. 

දෙමළ මිනිහා එතරම් ම බුද්ධිමත් ද ?  ඔව් බුද්ධිමත් ! මී ළඟ ලිපියෙන්.

-    මෙලනි මානෙල් පෙරේරා





2016-02-22
Advertisement

Find us on Facebook