English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ ඉන්දියාවේ කෙළිබිමක් කරන්න ඉඩ දෙන්නේ නෑ .. රනිල් එදත් ,අදත් ,හෙටත් කරන්නෙම තුට්ටු දෙකේ වැඩ !


ඉන්දියාව උත්සහ කරන්නේ අපේ රට දේශපාලන කෙළිබිමක් කිරීමට බව ,ජනතා විමුක්ති පෙරමුණ පවසයි. වික‍්‍රමසිංහගේ වහසිබස්වලට ජනතාව බය කරන්නවත් යටපත් කරන්නවත් ජනතා විමුක්ති පෙරමුණ ඉඩ ලබා නොදෙන බවත් රනිල් වික්‍රමසිංහගේ මුළු ජිවිතයම හොර ගිවිසුම් වලින් පිරී ඇති බව ,ජනතා විමුක්ති පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි . කොළඹ මහ වැලි කේන්ද්‍රයේදී , රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදෙන එට්කා එපා යනුවෙන් සංවිධානය කර තිබූ , සම්මන්ත්‍රණයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

එට්කා ගිවිසුම පිළිබඳව මේ වනවිට සැලකිය යුතු සංවාදයක් මතුවෙලා තිබෙනවා. පසුගියදා එට්කා ගිවිසුමට එරෙහිව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුලූ වෘත්තිකයින් පිරිසක් විහාරමහදේවී උද්‍යානයේදී විරෝධය පළකළා. එය මෑත කාලයේදී වෘත්තිකයින් වැඩි පිරිසක් එකට එකතු වුණු අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මලික් සමරවික‍්‍රම නිළ වශයෙන් ප‍්‍රකාශයක් කළා. ගිවිසුම සම්බන්ධයෙන් දළ රාමුවක් ඉන්දියාවට ඉදිරිපත් කර තිබෙන අතර 2016 ජනවාරි අගදී ඉන්දියාව අදහස කියන බවත් 2016 පෙබරවාරි අගදී දළ රාමුවට අතසන් තබා 2016 වර්ෂයේ මැදදී ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා තිබෙනවා. මීට පෙරත් ඉන්දු ශී‍්‍ර ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව විස්තීරණ සාකච්ඡාවක් 2003 සිට විවිධ ආණ්ඩු යටතේ සිදුකෙරෙමින් ආවා. වසර 12ක පමණ කාලයක් තිස්සේ එම සාකච්ඡා පැවැත්වී තිබෙනවා. එම සාකච්ඡාවල අවසන් අධියර දක්වා දැන් පැමිණ තිබෙන බව පේනවා.

මෙවැනි වෙළඳ ගිවිසුම්වල දළ රාමුව තමයි භයානක. ගිවිසුමක් නම් එහි කරුණු නිශ්චිතව අඩංගුවෙලා තිබෙනවා. ලෝකය පුරා අත්සන් කෙරෙන වෙළඳ ගිවිසුම්වල දළ රාමුව තමයි සාකච්ඡාවට බඳුන්වෙමින් ඉදිරියටත් විස්තීරණය වෙන්නේ. ඕනෑම ගිවිසුමක් ආරම්භ වෙන්නේ මෙම දළ රාමුව මගින්. පෙබරවාරි අගදී අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම් රාමුවයි. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එම ගිවිසුමේ දළ රාමුව පිළිබඳව තවමත් අවසන් අදහසක් පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් කර නැහැ. රනිල් වික‍්‍රමසිංහගේ ඉතිහාසය මෙවැනි හොර ගිවිසුම්වලින් පිරී තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මෙවැනි ගිවිසුම් ඇද ඇද ඉන්නේ නැහැ. කොළේ ගත්තා, අත්සන් කළා. ඒ තමයි රනිල්. ඔහු එල්.ටී.ටී.ඊ.ය සමඟ ගිවිසුම් අත්සන් කළෙත් ඒ විදියට. වෘත්තිකයින්ගේ විරෝධතාවයට පිළිතුරු දෙමින් ඔහු කිව්වේ එම කණ්ඩායම මුදල් ගෙවා පාරට බැස්සවූ බවත් ඔවුන් එක් කෙනෙක් පාරට බස්සනවා නම් අපි දහයක් පාරට බස්සන්න ලැහැස්ති බවත්ය. එක පැත්තකින් අපි සතුටු වෙනවා රනිල් වික‍්‍රමසිංහලා පාරට බහින්න සූදානම් වෙන එක ගැන. මීට පෙර මොනතරම් අතුරු අන්තරා ආවත් රනිල් ජනතාව පාරට බස්සලා නැහැ. එහෙත් වික‍්‍රමසිංහගේ මේ වහසිබස්වලට ජනතාව බය කරන්නවත් යටපත් කරන්නවත් ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ.

වෙළඳ ගිවිසුම් ගැන දේශපාලන ස්ථාවරයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදකලාව සිටිය නොහැකියි. මොකද මේ යුගය කියන්නේ යැපුම් ආර්ථික යුගයක් නොවේ. තමන් නිෂ්පාදනය කරගත් දේ තමන් පරිභෝජනය කළ යුගය අවසන්. තාක්‍ෂණය අතින් ගමනාගමනය අතින්, සන්නිවේදනය අතින් නිෂ්පාදනය විසින් ලෝකය එකට එකතු කර තිබෙනවා. ලෝකයේ රාජ්‍යයන් ළං කරමින් තිබෙනවා. චීනයේ කපුවලින්, කොරියාවේ නූල් හදලා ලංකාවේ ඇඳුම් මහලා එවා වෙනත් රටක ජනතාවක් පරිභෝජනය කරනවා. ඒ නිසා ලෝකයේ රාජ්‍යයන් වෙළඳපොළ සන්නිවේදනය, සංස්කෘතිය මගින් තව තවත් ළංවෙමින් තිබෙනවා. තනි තනි රටක ස්වාධීනත්වය වෙනුවට ලෝකය එකම ස්වාධීනත්වයක් කරා ළඟා වෙමින් තිබෙනවා. එවැනි වෙලාවක ලංකාව තමන්ගේ ලෝක සම්බන්ධතාවයන් ගැන වැඩි වැඩියෙන් හිතන්න ඕනෑ. ද්විපාර්ශ්වික, බහු පාර්ශ්වික වෙළඳ ගිවිසුම්වල අරමුණ විය යුත්තේ ප‍්‍රාග්ධනය රටට කැඳවීමයි. එය කෙටි කාලීනව අවාසි වුවත් දීර්ඝ කාලීනව අපිට වාසියි. ඒ වගේම අපේ රටේ නොමැති තාක්‍ෂණය ගිවිසුම් මගින් කැඳවීමට අවධානය යොමුකළ යුතුයි. ඒ වාගේම අපේ රටේ නිෂ්පාදනයන්ගේ ලෝක වෙළඳපොළේ කොටස අත්පත් කරගැනීම සඳහා ගිවිසුම් යොදාගත යුතුයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි නිරපේක්‍ෂව රාජ්‍යයන් අතර අත්සන් කරන ගිවිසුම් ප‍්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අපේ විරෝධය රඳා පවතින්නේ එම ගිවිසුම් අපේ රටේ අනාගතයට හිතකරද, අහිතකරද යන්න මතයි.

ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දැඩි ඉන්දියානු විරෝධයක් තිබුණා බවත් ඒ නිසා ඉන්දියාවේ ඕනෑම කි‍්‍රයාවකට ජවිපෙ විරුද්ධ වෙන බවත් විවිධ පාර්ශ්ව මත පළකරනවා. අපිට ඉන්දියාව ගැන හොඳ මැනීමක් තිබෙනවා. ඉන්දියාවට ප‍්‍රබල මාවන ශිෂ්ඨාචාරයක් තිබුණා. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය කියන්නේ එවැනි ප‍්‍රබල ශිෂ්ඨාචාරයක්. ඒ පිළිබඳව අපිට විශාල ගෞරවයක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ශාස්තෘන් වහන්සේලා විශාල ප‍්‍රමාණයකට උපතදී තිබෙනවා. බුදුන් වහන්සේගේ, ශී‍්‍ර කි‍්‍රෂ්ණා, ජෛන මහා වීර, ගුරු නාරායන්ගේ, නිජ බිම ඉන්දියාව. ප‍්‍රබල ආගමික නායකයින්ට උප්පත්තිය දුන් බිමක් තමයි ඉන්දියාව. ඒ විතරක් නෙවෙයි රවීන්ද්‍රනාත් තාගෝර්, සත්‍යජිත් රායි, රවී ශන්කර්, සරෝජනී නායිදු, කාලිදාස, වැනි මහා ශ්‍රේෂ්ඨ කලාකරුවන්, සාහිත්‍යධරයන් ඉන්දියාවෙන් බිහිවුණා. ඒ පිළිබඳව අපිට හැඟීමක් මෙන්ම ඇගයීමක් තිබෙනවා. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව දැවැන්ත ජාතික විමුක්ති අරගලයකට මුහුණ දුන් රටක් ඉන්දියාව. ඉන්දියාවේ ජාතික විමුක්ති අරගලයේ ස්වභාවයත් 1948 ලංකාවට නිදහස ලබාගැනීමට බලපෑමක් වුනා. එම ජාතික සටනේදී පාතේල්, නේරු, ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබොස්, භගත් සිං වැනි මහා ජාතික නායකයින් උපත ලද බිමක් ඉන්දියාව. ඒ වාගේම කෞටිල්‍ය වැනි මහා ආර්ථික විශේෂඥයින් ඉන්දියාවෙන් බිහිවුණා. එම නිසා මහා මානව ශිෂ්ඨාචාරයක් තිබුණ විශාල මානව සම්පතක් ලෝකයට දායාද කළ බිමක් තමයි ඉන්දියාව කියන්නේ. ඒ පිළිබඳව ගරුත්වයක් සහ භක්තියක් ඉන්දියාව කෙරෙහි අපට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ගාන්ධි පාලනය සමාජවාදී සෝවියට් දේශය සමඟ ඉතාම සමීපව කටයුතු කළා. 1947 ඉන්දියානු නිදහස් සටනෙන් පසුව ඉන්දියානු පාලනය සීතල යුද්ධය අවස්ථාවේ පවා සමාජවාදී සෝවියට් දේශය සමඟ සහයෝගයෙන් කටයුතු කළා.

ඒ වගේම ඉතාම ආක‍්‍රමණශීලී විදේශ ප‍්‍රතිපත්තියක් ඉන්දියාවට තිබෙන බව අපි පිළිගන්න ඕනෑ. 1975දී ඉන්දියාව විසින් සිකීමය ආක‍්‍රමණය කර ඉන්දියාවට ඈඳා ගන්නවා. 1987දී අපේ ගුවන් සීමාව බලහත්කාරයෙන් උල්ලංඝණය කරනවා. ජේ.ආර්.ජයවර්ධන යට කරලා අපේ රටට ඉන්දියානු හමුදාව එවනවා. 1987දී මුළුමනින්ම අපි යටත් කරන ගිවිසුමක් අත්සන් කළා. ඒ විතරක් නෙවෙයි 1989දී මාස 13කට ආසන්න කාලයක් නේපාලනයට සම්බාධක දානවා. ඒ නිසා ඉන්දියාව කටයුතු කළේ අසල්වැසි රාජ්‍යයන්ගේ ‘ලොකු අයියා’ගේ භූමිකාවට පණ දෙමින්. අද වන විටත් නේපාලයට නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් නොකරන ලද සම්බාධක පනවා තිබෙනවා. නේපාලනයට අත්‍යවශ්‍ය සිමෙන්ති, ඛනිජ තෙල් වැනි භාණ්ඩ යැවීමට බාධා ඇතිකරමින් තිබෙනවා. එනිසා ඉන්දියාවේ එම ආක‍්‍රමණශීලී වැරදි විදෙස් ප‍්‍රතිපත්තිය පිළිබඳවත් අපිට අදහසක් තිබෙනවා. ඒ වගේම පාකිස්ථානය සමඟ අවස්ථා තුනකදී යුද ගැටුම් නිර්මාණය කර තිබෙනවා. මාලදිවයිනේ ඇතිවුණ හමුදා කුමන්ත‍්‍රණයකදී ඉන්දියානු හමුදා මැදිහත් කළා. ඉතිහාසය සාක්‍ෂි දරා තිබෙනවා මේ කලාපයේ ඉන්දියානු භූමිකාව අධිපතිවාදී හා බලහත්කාරී මැදිහත්වීමක් තිබෙන බවට.

වර්තමාන ඉන්දියාවේ තත්වය මොකක්ද? ජනගහනය කෝටි එකසිය විසිහතහමාරයි. ශ‍්‍රම බළකාය මිලියන 532යි. ඒ වගේම එක්කෝටි විසිහය ලක්‍ෂයක් ළමා ශ‍්‍රමිකයින් ඉන්නවා. ලෝකයේ වැඩිම ළමා ශ‍්‍රමිකයින් සංඛ්‍යාවක් ඉන්නේ ඉන්දියාව තුළයි. කෝටි එක හමාරකට ආසන්න ජනගහනයක් වහල් ජීවිත ගත කරනවා. ඒ විතරක් නෙවෙයි, ශ‍්‍රම බළකායෙන් 7%ක් විරැුකියාවෙන් පෙළනවා. 7%ක් කියන්නේ ආසන්න වශයෙන් ලක්‍ෂ 370ක්. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ විරැුකියාව ශ‍්‍රම බළකායෙන් 4.1%ක් එනම් ලක්‍ෂ 3.5යි. ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ ඇ.ඩො. 1688ක් වෙනකොට ලංකාවේ ඇ.ඩො. 3276යි. ලංකාවේ පුරවැසියෙකුට ලැබෙන ආදායමෙන් හරි අඩයි ඉන්දියාවේ පුරවැසියෙකුට ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දවසක ආදායම දිනකට ඩොලර් 1.25ක ලබන කෝටි 27ක ජනතාවක් ඉන්දියාවේ ජීවත් වෙනවා. එය ලංකාවේ ජනගහනය මෙන් දහතුන් ගුණයක්. ඉන්දියාවේ අඩු බර දරු උපත් අනුපාතය 30%ක් වෙනවා. ඒ වගේම දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින විශාල ජන කොටසක් ඉන්දියාවේ ජීවත් වෙනවා. එවැනි රටක තමයි ඩොලර් මිලියන 21ක් වත්කමක් තිබෙන මුකේෂ් අම්බානි වැනි ධනපතියන් ඉන්නේ. ඩොලර් බිලියන 1ට වඩා වත්කම් තිබෙන සිය දෙනෙකුට වඩා ධනපතියන් ඉන්දියාවේ ජීවත් වෙනවා. වැසිකිලියක් නැති ජනතාව ජීවත් වන ඉන්දියාවේ ඩොලර් බිලියන 21ක් වත්කම් තිබෙන මුකේෂ් අම්බානිලා ඉන්නවා. ඒ වගේම දිනේෂ් ෂින්වලා, බිර්ජා පවුල, විජය මල්ලාර් වැනි මහා ධනවතුන් ඉන්දියාවේ ජීවත් වෙනවා. ඇති නැති පරතරය ඇස් ඉදිරිපිට පෙන්නුම් කරන රාජ්‍යයක් තමයි ඉන්දියාව කියන්නේ. එනිසා ඉන්දියාවේ පීඩිත ජනතාවට විශාල අරගලයක් තිබෙනවා.

අපිට තිබෙන්නේ ඉන්දියානු ජනතාවත් සමඟ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඉන්දියානු වර්තමාන පාලනය ඉන්දියානු ජනතාවට යහපත් ජීවිතයක් ගෙන දීමට සමත්වෙලා නැහැ. ඔවුන් සෞඛ්‍ය අනාරක්‍ෂිතතාවයෙන් පහළට ඇද දමා තිබෙනවා නම්, පාසැල්වල ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා නම්, ගං වතුරට මිනිස්සුන් මිය යනවා නම්, නියෙඟට මිනිසුන් මැරෙනවා නම්, වසූරිය වැනි මහා රෝග පැතිරෙමින් තිබෙනවා නම්, විරැුකියාවෙන් පෙළෙනවා නම්, නූගතුන් වැඩි වෙනවා නම්, වනචාරී යුගයට අයත් සමහර ජනපද තිබෙනවා නම්, ඉතාම පහත් අඩියකයි ඉන්දියාව තිබෙන්නේ. එනිසා මෙම ඉන්දියානු පාලකයින්ට එරෙහිව ඉන්දියානු ජනතාවට අරගලයක් තිබෙනවා. ඉන්දියානු ජනතාවගේ ආර්ථික සමානාත්මතාවය, ආර්ථික නිදහසත් වෙනුවෙන් තිබෙන අරගලයේදී ඉන්දියානු ජනතාව අපේ සහෝදරයෝ. එම සටනට ජවිපෙ විදියට සුභ පතනවා. එම අරගලයට පණ පොවන ඉන්දියානු දේශපාලන ව්‍යාපාර සමඟ ජවිපෙ කිට්ටු සබඳතාවයක් තිබෙනවා. ඉන්දියාවේ ප‍්‍රබල වාමාංශික ව්‍යාපාර සමඟ ඉතා සමීප සබඳතාවයකින් කටයුතු කරනවා. ඉන්දියානු පීඩිත ජනතාව සමඟ එක්සත් අරගලයක් අපිට තිබෙනවා. ගැටලූව තිබෙන්නේ මෙම වෙළඳ ගිවිසුම් හරහා එන ඉන්දියානු ධනපතියන්ගේ වුවමනාව පිළිබඳවයිි. එනිසාම එම ගිවිසුම් පිළිබඳව අපිට නිවැරදි දේශපාලන ස්ථාවරයක් තිබිය යුතුයි.

1998දී මුලින්ම අපි ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළා. ලංකාව කියන්නේ ඉතා කුඩා වෙළඳපොළක් තිබෙන රාජ්‍යයක්. ලංකාවේ වෙළඳපොළට දිනකට ළඟා වෙන්නේ ලක්‍ෂ 30ක ජනතාවක් පමණයි. නමුත් ඉන්දියාවේ වෙළඳපොළ ප‍්‍රමාණය මිලියන 380ක් වෙනවා. ඉන්දියාවට විශාල වෙළඳපොළක් තිබෙනවා. ගිවිසුම අත්සන් කරන කාලයේ ආණ්ඩුව අපිට කිව්වා, ඉන්දු ලංකා ගිවිසුම නිසා අපිට විශාල වෙලඳපොළකට යන්න පුළුවන් කියලා. නමුත් ඒ මොහොතෙත් ජවිපෙ එහි අහිතකර තත්වයන් කිව්වා. එම ගිිවිසුම් මගින් දැන් සිදුවී තිබෙන්නේ ලංකාවේ ආරක්‍ෂාවී තිබූ නිෂ්පාදන ටිකත් බිඳ වැටීමයි. ඉන්දියානු වෙළඳපොළේ අපිට ඉඩක් නැහැ. 2000 සිට කි‍්‍රයාත්මක වුණු එම ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුමේ ආරම්භ වනවිට වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 674යි. වෙළඳපොළ දියුණු වෙනවා කිව්වට කොපමණ ප‍්‍රමාණයකින් වර්ධනය වුණාදැයි අපි තවම දන්නේ නැහැ. අලූත් ගිවිසුමක් ගැන සාකච්ඡුා කරන මේ මොහොතේ එම පැරණි ගිවිසුමේ අලූත් තත්වය පිළිබඳව සාකච්ඡුා පැවැත්වෙමින් තිබෙනවා. නමුත් අපි තවම දන්නේ නැහැ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන වෙළඳාමේ වටිනාකම කොච්චරද කියලා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවට සහ ලංකාවට එම වෙළඳ අගය සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ. ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ඉන්දියාවෙන් ලංකාවට ආපු භාණ්ඩ ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වැඩිවුණු අතර ලංකාවේ අපනයනය තවමත් තිබෙන්නේ ඉබි ගමනේ.

මේ වනවිට ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණය ඩොලර් මිලියන 625ක් පමණයි. ඉන් 40%ක්ම ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමට පිටින් යවන භාණ්ඩායි. ගිවිසුමට අදාළ භාණ්ඩ ප‍්‍රමාණය ඉතාම කුඩයි. කිසිදු ගිවිසුමක් නොමැති ඇමරිකාවට ලංකාවේ අපනයනවලින් 24.5ක%ක ප‍්‍රමාණයක් යවනවා. බි‍්‍රතාන්‍යයට 10%ක් අපනයනය කරවනා. ගිවිසුමක් අවුරුදු 15ක් කි‍්‍රයාත්මක වෙලත් ළඟම රට වූ ඉන්දියාවට යවන ප‍්‍රමාණය 5.6%ක් තරම් කුඩයි. ඒ නිසා පැහැදිළිවම පෙනෙනවා, ඉන්දියාව විසින් අපේ භාණ්ඩවලට සහන දුන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි අපේ භාණ්ඩ අපනයනයට ඉන්දියාව විවිධ බාධා ඇතිකළා. සීමා ඇතිකළා. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සමඟ ශී‍්‍ර ලංකාව ගිවිසුම් අත්සන් කළත් ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවලට භාණ්ඩ අපනයනයේදී වෙනමම බද්දක් ගෙවීමට සිදුවෙනවා. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ පාලනයකින් තොරව ප‍්‍රාන්ත මගින් අයකරන බදු ගෙවා අපිට භාණ්ඩ අපනයනය කරන්න වෙනවා. එනිසා ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම් ඉතාම අවාසිදායකයි. නමුත් ඉන්දියාව ශී‍්‍ර ලංකාවේ විශාල වෙළඳ පංගුවක් අත්පත්කරගෙන තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, ඉන්දියාව අපේ රටේ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට මැදිහත් වුණා. අපේ රටේ කොළඹ-මාතර දුම්රිය මාර්ගය අධිවේගී කළා. ඩො.මිලියන 150 ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ඉන්දියානු රයිට් සමාගමට දුන්නා. ගාල්ල මාතර කොටසට පමණක් ඩොලර් මිලියන 60ක් වියදම් කළා. නමුත් අධිවේගී දුම්රිය මාර්ගයක් විදියට අපි කිසිදු වාසියක් අත්වුණේ නැහැ. රේල් පීලියි, කොට ටිකයි ගලවලා හයි කළා පමණයි. ඩලස් අලහප්පෙරුම ප‍්‍රවාහන ඇමතිවරයාව සිටියදී උතුරු මිතුරු කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. ලංකාවේ උතුර සහ දකුණ යාකරන ව්‍යාපෘතිය ලෙස තමයි එය නම්කර තිබුණේ. ඒ වෙනුවෙන් විශාල වියදමක් සිදුකර රූපවාහිනී චැනල්වල එකම වෙලාවේ දැන්වීම් පළකළා. ජනතාවට කිව්වා තමන්ට පුළුවන් ප‍්‍රමාණයෙන් ව්‍යාපෘතියට දායක වෙන්න කියලා. ඕමන්තේ සිට තලෙයිමන්නාරමටත් මැදවච්චියේ සිට කන්කසන්තුරේටත් එම ව්‍යාපෘතිය සිදුකරන්න බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගියා. ඉන්දීය ජනාධිපතිවරයා කිව්වා, මේ ව්‍යාපෘතිය කෑලි 4කට කඩන්න කියලා. ඕමන්තෙයි සිට පලෙයි, පලෙයි සිට කන්කසන්තුරෙයි, මැදවච්චියේ සිට මඩු, මඩු සිට තලෙයිමන්නාරම ලෙස ව්‍යාපෘතිය කැඩුවා. ඉන්දියාව කෑලි 3ක් ඉල්ලූවා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කරලා ඩලස් අලහප්පෙරුම ජනතාවගෙන් මුදල් එකතු කරලා තිබියදී ඒ ව්‍යාපෘතිය ඉන්දියාවට දුන්නා. ඩලස් එකතු කරපු සල්ලිවලට මොකද වුණේ කියලා වෙනම පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. අපේ රටේ ඉංජිනේරුවන්ට, අපේ රටේ සමාගම්වලට රේල්පාර ව්‍යාපෘතියකින් අත්දැකීම් ගන්න තිබුණු, අපේ රටේ පුරවැසියන්ට රස්සාවක් ලැබෙන්න තිබුණු එම ව්‍යාපෘතිය ඉන්දියාවට දුන්නා. ඉන්දියාව අපිට දුන්නේ පලෙයි සිට කන්කසන්තුරෙයි දක්වා පමණයි. අපි බාර ගත්තා. ඉන් පසු චෝගම් සමුළුව පවත්වන්න ගිය අවස්ථාවේ ඉන්දියාව සමුළුවට ගෙන්වා ගන්න වුවමනාවෙන් ජී.එල්.පීරිස් ඉන්දියාවට ගිහිල්ලා පලෙයි සිට කන්කසන්තුරෙයි දක්වා කොටසත් ඉන්දියාවට ලබා දුන්නා.

ශී‍්‍ර ලංකාවේ කාවේරි ද්‍රෝණියේ තෙල් නිධි සම්බන්ධයෙන් ද්විමාන තාක්‍ෂණ පරීක්‍ෂණවලින් සොයා ගැනීම් කළා. කිසිදු වෙන්දේසි කිරීමකින් තොරව කාවේනි ද්‍රෝණියේ තෙල් නිධිය කොටස් 7කට කඩලා ඉන්දියාවට කොටස්ක් දුන්නා. රාජ්‍ය භාගය 10%යි. 28%ක් කායින් සමාගමට බදු තිබුණා. බැසිල් රාජපක්ෂ එම බද්දත් ඉවත් කරලා දුන්නා. ඉන්දියාවේ කායින් සමාගම විසින් ලබාගත් එම බිම් කොටස කැනීම් නොකර තවමත් තියාගෙන ඉන්නවා. ඒ වගේම දොරෙයිඅප්පා කී‍්‍රඩාංගණය කන්කසන්තුරෙයි වරාය, පාලලි ගුවන්තොටුපොළ අලූත්වැඩියා කිරීමේ සියලූ ව්‍යාපෘති ඉන්දියාව විසින් අත්පත් කරගත්තා. නිලාවේලි වෙරළේ අක්කර 4ක මනරම් ඉඩමක් ඉන්දියානු සමාගමකට දුන්නා. පුල්මුඬේ ඛනිජ වැලි නිධිය බිරලා සමාගම ගන්න හැදුවා. ජවිපෙ වෘත්තීය සමිති මැදිහත්වෙලා වළක්වා ගත්තා. ඒ වගේම මේ වනවිට ලංකාවේ බලශක්ති ක්‍ෂේත‍්‍රයට ඉන්දියාව මැදිහත් වෙමින් ඉන්නවා. ලංකාවේ පෙට‍්‍රල් ෂෙඞ් 107ක් සහ කොළොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයෙන් 1/3ක් ඉන්දියාවේ අයි. ඕ.සී. සමාගමට ඩො.මි. 82කට දුන්නා. ඒ 2002 රනිල්ගේ ආණ්ඩුවේ කරු ජයසූරිය ඇමතිකම කරන කාලේ. අපේ රටේ තෙල් වෙළෙඳාමෙන් 1/3ක් ඉන්දියාව අත්පත් කරගෙන ඉන්නවා. තවත් 1/3ක් ඉන්දියාවේ භාරත ඔයිල් සමාගමට දෙන්න සැලසුම් හදලා තිබුණා. 2005 ආණ්ඩු පෙරළියත් සමග එය ආණ්ඩුව සතුකරගත්තා. ති‍්‍රකුණාමලයේ අපිට තිබුණු තෙල් ටැංකි 105ක් අයි. ඕ.සී. සමාගමට කුළියට දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාව සමඟ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය හදන්න ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුමට අනුව ඉන්දියාව ඩොලර් මිලියන 75ක්, ලංකාව ඩොලර් මිලියන 75ක් ආයෝජනය කර ඒකාබද්ධ සමාගමක් හදනවා. සමාගමෙන් ඩොලර් මිලියන 350ක් ණයට අරගෙන ඩො.මි. 500කින් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමටයි ගිිවිසුම අත්සන් කළේ. ඇත්තටම ඉන්දියාව අයෝජනය කරන්නේ මිලියන 75ක් පමණයි. ඉන් පසු ඉන්දියාව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරනවා. චම්පික රණවක ඇමතිරවරයාම කියන විදියට එම ගිවිසුම අත්සන් කිරීම නිසා පමණක් ලංකාවට අවුරුද්දකට කෝටි 450ක අලාභයක් සිදුවෙනවා. මේ ආකරයට ඉන්දියාව මුළුමනින්ම අපේ රටේ බලශක්ති ක්‍ෂේත‍්‍රයට මැදිහත් වෙමින් ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ වෙළඳපොළ ඉන්දියාව විසින් ගිලගෙන තිබෙනවා. සිංහල බෙහෙත් බඩු කියලා බෝඞ් එක තිබුණට කටුවැල්බටු, පත්පාඩගම් ඉඳලා සියලූම බෙහෙත් වර්ග ඉන්දියාවෙන් ගේනවා. බෙහෙත් වෙළඳාමෙන්, රෙදි වෙළඳාමෙන් විශාල පංගුවක් පරිප්පු වෙළෙඳපොලෙන් 72%ක් ළුෑණු වෙළෙඳපොලෙන් 56%ක් මිරිස් වෙළෙඳපොළෙන් 72%ක් තෙල් වෙළෙඳපොළෙන් 33%ක් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ විශාල පංගුවක් හෝටල් ක්‍ෂේත‍්‍රයේ විශාල පංගුවක් ඉන්දියාව විසින් අත්පත් කරගෙන තිබෙනවා. එසේ වුවත් ඉන්දියාවට තවමත් බැරිවෙලා තිබෙනවා ලංකාවේ සේවා වෙළඳපොළ අත්පත්කර ගන්න. ඉන්දියාවෙන් භාණ්ඩ කොපමණ ගෙන්වුවත් අපේ රටේ ඉංජිනේරුවාට, වෛද්‍යවරයාට, පෙදරේරුවාට තවමත් ශ‍්‍රම වෙළඳපොළට මැදිහත් වෙනවා. තවමත් ඉන්දියාවට අත්පත් කර ගන්න නොහැකි වුණු එම ශ‍්‍රම වෙළඳපොළ විවෘත කරලා දෙන්න කියලා තමයි සිපා ගිවිසුම ගෙනාවේ. මීට පෙර අත්සන් කරන ලද සීපා ගිවිසුම හරහා වෙළඳාම කොටස් 4කට බෙදුවා. දේශ සීමා හරහා සීමාවන සේවා (පුද්ගලයා හුවමාරු නොවී සේවාව පමණක් හුවමාරු වෙනවා, විදේශ පරිභෝජනය, වානිජමය අවශ්‍යතාවයන් සඳහා රටට තුළට පැමිණීම සහ පෞද්ගලික සංක‍්‍රමණ එම කොටස් 4යි. නමුත් මෙම සේවාවන්වලදී තවමත් විවිධ බාධා තිබෙනවා. නිදහසේ සිදුවෙන්නේ නැහැ. එනිසා මෙම එට්කා ගිවිසුමේ ප‍්‍රධාන අරමුණ තිබෙන්නේ එම බාධාවන් ඉවත් කරගැනීමයි. පුද්ගල සංක‍්‍රමණ ගැන කතාබහක් මතුවෙලා තිබුණට අනෙකුත් ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් තවමත් කතාබහක් මතුවෙලා නැහැ. මේ ගිවිසුම හරහා බැංකු, ආරෝග්‍ය ශාලා සහ වෙළඳ ප‍්‍රචාරණයට පවා දොරටු විවෘත කරනවා. පුද්ගල සංක‍්‍රමන පිළිබඳව මලික් සමරවික‍්‍රම කියනවා ඉදිරි සාකච්ඡුාවලදී වෘත්තීමය ශ‍්‍රම නිදහස්කරණය, නැව් තැනීම හා තොරතුරු උපාංශවලට පමණක් සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. නිදහස් ශ‍්‍රම වෙළඳපොළක් ගොඩ නැගෙනවා.

ඉන්දියාවේ අවුරුද්දකට උපාධිධාරීන් ලක්‍ෂ 30ක් එළියට එනවා. ලංකාවේ 30,000යි. එයින් ඉංජිනේරු සහ තාක්‍ෂණික විෂය ධාරාවෙන් උපාධිය හදාරන්නන් 65%කට රැුකියා අවස්ථා නැහැ. සාමාන්‍ය උපාධිධාරීන්ගෙන් 10%කට රැුකියා අවස්ථාව ලැබෙනවා. ඉන්දියාවේ ශ‍්‍රම වෙළඳපොළෙන් මිලියන 500කින් 94%ක්ම නියෝජනය කරන්නේ අවිධිමත් රැුකියායි. විධිමත් රැුකියා තිබෙන්නේ 6%ක් පමණයි. එයට තිබෙන හොඳම උදාහරණයක් තමයි පසුගියදා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ප‍්‍රවෘත්තියක්. උත්තර් ප‍්‍රාන්තයේ එක් ආයතනයක ලිපිකරු තනතුරු 368කට ඉල්ලූම්පත් ලක්‍ෂ 23ක් ලැබී තිබුණා. 150,000ක් උපාධිධාරීන්. 24,969ක් පශ්චාත් උපාධිධාරීන්. 250ක් ආචාර්ය උපාධිධාරීන්. නමුත් එම තනතුරේ අවම සුදුසුකම තිබුණේ පාසැල් අධ්‍යාපනය සහ බයිසිකල් පැදීමට ඇති හැකියාවයි. එනම් ඉන්දියාවේ මොන තරම් විරැුකියාවක් තිබෙනවාදැයි පැහැදිළි වෙනවා. එවඑැනි විරැුකියාවෙන් පෙළෙන රටකට තමයි එම ගිවිසුම හරහා අපේ ශ‍්‍රම වෙළඳපොළ විවෘත කරන්නේ.
වර්තමානයේ වැඩපුරම රැුකියා අවස්ථාවන් ප‍්‍රමාණයක් බිහිවෙන්නේ තොරතුරු තාක්‍ෂණය ක්‍ෂේත‍්‍රයේ. මේ මෑතකදී ලංකාවේ විශ්වවිද්‍යාල 3ක තොරතුරු තාක්‍ෂණ පාඨමාලා ආරම්භ කළා. ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට පස්සේ සමාජමය වටිනාකමක් තිබෙන ක්‍ෂේත‍්‍රය තමයි තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය. එනිසා අපේ රටේත් ඉලක්කයත් තිබුණා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රය පුළුල් කිරීමට. එසේ තිිබයදී ගිවිසුම හරහා එම ක්‍ෂේත‍්‍රය ලාභ ශ‍්‍රමයකට ඉන්දියාවට විවෘත කරනවා. තොරතුරු තාක්‍ෂණය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබෙන ඉන්දියානුවා ලංකාවට එන්නේ නැහැ. ඔහු යන්නේ ඇමරිකාවට, බි‍්‍රතාන්‍ය නැත්නම් ඔස්ටෙ‍්‍රලියාවටයි. මැද කොටස ඉන්දියාවේ නතර වෙනවා. ලංකාවට එන්නේ පහළම කොටසයි. එනිසා ලංකාවේ තොරතුරු තාක්‍ෂණ සේවාව ඉතාම තුට්ටු දෙකට වැටෙනවා. එයින් සිදුවීමට පුළුවන් දේ තමයි බුද්ධි ගලනය. සෑම වෙළඳ ගිවිසුමකදීම සිදුවන්නේ ඉදිරියේදී ගිවිසුම සමාලෝචනය කර තව තවත් විස්තීරණ කිරීම. ගිවිසුමේ රාමුව තුළ එය තිබෙනවා. එනිසා දැනට වහලා තිබෙන ක්‍ෂේත‍්‍රයන්වලට පවා මෙම නව ගිවිසුම විවෘත වෙන්න පුළුවන්. පී.එච්.ඞී කාරයන් පවා ඉන්දියාවේ පියන් රස්සාවට අයදුම් කරනවා නම් ලංකාවේ අපිට ඉන්දියාවේ ජොබ් තිබෙන්න පුළුවන්ද? කොහොමත් ලංකාවේ කව්රුත් ඉන්දියාවේ රැුකියාවලට යන්නේ නැහැ. එනිසා අපිට ඉන්දියාවට යන්න වෙළඳ ගිවිසුම් අවශ්‍ය නැහැ.

එනිසා මෙතන දේශපාලන සූදුවක් තිබෙනවා. ඉන්දියාව හදන්නේ අපේ රටේ දේශපාලනයට මැදිහත් වෙන්නනයි. දැනටමත් යාපනයේ රෝ ඔත්තුකරුවන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඉන්දියාව අපේ රට දේශපාලන කෙළිබිමක් කරගන්න කලින් අපේ රටේ ආර්ථිකය ගිලගන්න හදනවා. දැනටමත් රථවාහන, බෙහෙත්, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය ගිලගෙන තිබෙනවා. දැටමත් ඔවුන් අපේ රටේ ආර්ථිකය මෙහෙයනවා. ඒ මගින් දේශපාලනය හසුරුවනවා. එම දේශපාලන වුවමනාව තමයි රනිල්ගේ කටින් එළියට එන්නේ. එමනිසා මෙම ගිවිසුම අත්සන් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අවධාරණය කරනවා.

අපි ස්තූතිවන්ත වෙනවා වෘත්තිකයින්ට මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් ආරම්භ කිරීම ගැන. ඒ වගේම ඔවුන්ට සුභ පතනවා. නමුත් මෙම ගිවිසුම හරහා අවධානමට ලක්වෙන්නේ වෘත්තිකයින් පමණක් නොවෙයි. මෙය දේශපාලන ප‍්‍රශ්නයක්. සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නයක්. ඒ නිසා එයට මුහුණ දෙන්න පුළුල් පෙරමුණක් අවශ්‍ය වෙනවා. ඔබට මතක ඇති විශ්විවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කරපු අරගලය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලන සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා ජාතික මට්ටමේ අරගලයක් බවට පත්වුණා. 2014දී මැයි දිනයට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන නියෝජිතයෙක් ආණ්ඩුවේ නොවන සෑම මැයි රැලියකටම සහභාගී වුණා. එනිසා මේ අවස්ථාවේදීත් මෙම ආර්ථික ගිවිසුමට එරෙහි මේ සටන ජාතික මට්ටමේ එකක් බවට පත්කළ යුතුයි. ඒ නිසා මේ ආරම්භ කළ සම්මන්ත‍්‍රණය රට පුරා ගෙන යාමටත් මේ සම්බන්ධයෙන් විවිධ වෘත්තිකයින් සමඟ සාකච්ඡුා කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මෙම සටන සියලූ ක්‍ෂේත‍්‍රවල පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් ජාතික සටනක් දක්වා වර්ධනය කිරීමට ජවිපෙ කැපවෙනවා.

උපුටා ගැනීම-Lanka News Alert

- Melani





2016-02-19
Advertisement

Find us on Facebook