English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන් වී වසර 9කට පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් කොහිද?

සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්

යාපනයේ සිටි දමිළ මාධ්‍යවේදියෙකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මහතා 2007 වසරේ පෙබරවාරි මස 15 වන දින අතුරුදහන් වූයේය. හමුදා මුරපොල සහ කඳවුරු වල රඳවා සිටින බවට ලැබුණු ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අදටත් ඔහුගේ කිසිදු ආගිය තොරතුරක් නොමැති අතර ඔහුගේ වියපත් දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියි. ඔහුගේ සමීපතමයන් සහ පවුලේ සාමාජිකයන්ට ඔහුව මතකයේ ඇත්තේ ඕනෑම කරුණක් පිළිබඳව නොබියව සත්‍ය ලියු ධෛර්යමත් මාධ්‍යවේදියෙකු ලෙසයි. යුධ සමයේදී හමුදාව සහ අනෙක් පාර හමුදා කණ්ඩායම් විසින් සිදු කරන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව යාපනයේ සිට දිගින් දිගටම වාර්තා ලියූ මාධ්‍යවේදීන් කිහිපදෙනා අතරින් එක අයෙක් ලෙස ඔහු හැඳින් විය හැකියි. අතුරුදහන් වී වසර නවයකට පසුත් රාමචන්ද්‍රන් ගේ සිද්ධිය තවමත් මෙලෙසම අතුරුදන් වූ හෝ මරා දැමුණු අනෙක් මාධ්‍යවේදීන් , ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය වැසියන්ගේ සිද්ධීන් මෙන්ම වාර්තා නොවුණු සහ විමර්ශන සිදු නොවුණු සිද්ධියක් ලෙස පවතී.

සිදුවීම

ඔහුගේ අතුරුදන් වීමට දින කිහිපයකට ප්‍රථම රාමචන්ද්‍රන් විසින් ව්‍යාපාරිකයන් සහ හමුදා නිලධාරීන් එක්ව සිදු කල නීතිවිරෝධී වැලි ගොඩ දැමීමේ සහ ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව ලිපියක් ලියා තිබිණ. මෙම ලිපිය පදනම් කොට ගෙන විනිසුරුවරයෙක් විසින් එම නීතිවිරෝධී ක්‍රියාව සඳහා යොදා ගත් වාහනයක් රාජ සන්තක කිරීමට නියෝගයක් නිකුත් කළේය. එම අවධියේම එල්.ටී.ටී.ඊ. ය විසින් එම ව්‍යාපාරිකයන්ට අයත් තවත් වාහනයක් ගිනි තබා තිබිණ. රාමචන්ද්‍රන් ගේ සමීපතමයන් විශ්වාස කරන්නේ ඔහුව පැහැරගෙන ගොස් ඇත්තේ මෙම ලිපියෙන් කෝපයට පත් පිරිස් බවයි.

ඇසින් දුටු සාක්ෂිකරුවෙක්ට අනුව සිද්ධිය සිදු වූ දින, රාජකාරී අවසන් වී රාමචන්ද්‍රන් නිවස වෙත පැමිණෙමින් සිටියේය. එවකට යාපනයේ දිනපතාම සවස 6න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඔහු නිවසට පැමිණෙන අතරතුරදී යාපනයේ ඔහුගේ නිවසට ආසන්නයේ පිහිට තිබූ කලිකායි මංසන්දියේදී ඔහුව හමුදාව විසින් නවත්වා ඇත. එහිදී ප්‍රශ්න කිරීම සඳහා හමුදා සෙබළුන් කිහිපදෙනෙක් රාමචන්ද්‍රන් වට කරගත් බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පවසා සිටියි. රාත්‍රී 7 ට පමණ විදුලිය විසන්ඳි වූ පසු හමුදා රථයක් ප්‍රදේශයට පැමිණි බවත් රාමචන්ද්‍රන් රැගෙන යන්නට ඇත්තේ එයින් බවට ඔවුන් විශ්වාස කරන බවත් අසල්වැසියන් පැමිණිලි කර ඇත.

රාමචන්ද්‍රන් රාත්‍රී 8 වන තෙක් නිවසට නොපැමිණීම නිසා ඔහුගේ නිවසට ආසන්නයේ වාසය කල ඔහුගේ සොයුරිය වන ජෙයරත්නම් කමලශිනි කලබලයට පත් වුවාය. ඇය ඔහුගේ දුරකතනයට දෙවරක් ඇමතුම් ලබා දී ඇත. එම අවස්ථා දෙකෙහිදීම ඔහු ඇයට පවසා ඇත්තේ හමුදා කඳවුරක ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන බව සහ ඔහු ඉක්මනින් නිවසට පැමිණෙන නිසා බිය නොවී සිටින ලෙසයි. එනමුත් පසු දින පාන්දර 4 වන තෙක්ම සිය සොහොයුරා නිවසට නොපැමිණි නිසා ඇය විසින් පසු දින යලිත් ඔහුට ඇමතුමක් ලබා දී ඇත. එවර ඔහු ඇයට පවසා ඇත්තේ දුරකථන ඇමතුම් නිසා ඔහු කරදරයේ වැටීමට ඉඩ ඇති නිසා යලි දුරකථන ඇමතුම් නොදෙන ලෙසයි. ඉන් අනතුරුව කමලශිනි ඇයගේ පියාද සමග ඉතා ඉක්මනින් නිවසට ආසන්නයේම ඇති හමුදා කඳවුරට ගොස් ඇත්තේ ඇයගේ සහෝදරයා ගැන සොයා බැලීමටයි. ඔවුන් රාමචන්ද්‍රන් පිළිබඳව හමුදා නිලධාරීන්ගෙන් විමසා බැලූ විට හමුදා නිලධාරීන් විසින් රාමචන්ද්‍රන් නොදුටු බවත් ඔහුව එහි ගෙන ආ බවක් හෝ එහි රඳවා සිටින බවක් පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බව කියා සිට ඇත. ඔවුන් දිගින් දිගටම රාමචන්ද්‍රන් පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි විටදී හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්න බවට තර්ජනය කොට පලවා හැර ඇත.

එම රාත්‍රියේදී නෝර්වේහි ජීවත් වන රාමචන්ද්‍රන්ගේ තවත් නැගණියක් ඔහුට දුරකථන ඇමතුමක් ගෙන ඇත. මෙය ඔහු පවුලේ අයෙකු සමග කතා කල අවසන් අවස්ථාවයි. එම අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ ඔහු ඉක්මනින් නිවසට පැමිණෙන බවයි. එතැන් පටන් 2012 වසර දක්වාම දිගින් දිගටම ඔහුගේ ඥාතීන් රාමචන්ද්‍රන්ට දුරකථන ඇමතුම් ලබා දුන්හ. එහෙත් දුරකතනය නාද වුනද කිසිවකුත් එයට පිළිතුරු දුන්නේ නැත. 2012 වසරේදී දුරකථන සමාගම විසින් එම අංකය වෙනත් පාරිභෝගිකයෙකුට ලබා දී ඇත. එම නිසා එතැන් පටන් එම සම්බන්ධතාවයද නැති විය.

දීර්ඝ ලෙස සොයා බැලීම සහ රාමචන්ද්‍රන් රැගෙන ගිය බවට වග කිව යුතු අධිකාරීන් විසින් පිළිගැනීම.

සිද්ධිය සිදු වූ වහාම, බොහෝ අතුරුදන් වුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්, කමලිශිනි සහ ඇයගේ පියා හමුදාවේ සිවිල් කටයුතු භාර නිලධාරියා හමුවී කුමන හෝ තොරතුරක් දැන ගැනීමේ අපේක්ෂාවෙන් පැය ගණනාවක් බලා සිටින ලදී. ඇය නිරන්තරයෙන් එහි යමින් කල කැපවීමෙහි ප්‍රතිපලයක් ලෙස අනුකම්පා සහගත හදවතක් තිබු එක් බුද්ධි අංශ නිලධාරියෙක් විසින් දැනුම් දී තිබුනේ ඉහළ නිලයන්ගෙන් ලද නියෝගයක් අනුව රාමචන්ද්‍රන් හමුදාව විසින් රැගෙන ගොස් ඇති බවයි. එවකට විෂය භාර අමාත්‍යවරායව සිටි ඩග්ලස් දේවානන්ද මහතා සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පි.ඩි.පි.) නායකයා හමුවන ලෙසත් ඔහු විසින් ඇයට තවදුරටත් අවවාද කර තිබිණ.

මෙම අවවාදය පදනම් කොට ගෙන රාමචන්ද්‍රන්ගේ පවුලේ අය විසින් අමාත්‍යවරයා සහ ඔහුගේ ලේඛම් ලෙස කටයුතු කළ නීතිඥවරියක සහ ඊ.පි.ඩි.පි. හි උපදේශිකාවක වූ මහේෂ්වරී වේලායුතම් යන දෙදෙනාවම හමු වූහ. දේවානන්ද මහතා පවසා තිබුනේ රාමචන්ද්‍රන් විසින් අනවශ්‍ය දේ කළ නිසා ඔහුව රැගෙන ගිය බවයි. පසුව රාමචන්ද්‍රන්ගේ සොයුරිය විසින් මහේෂ්වරී මහත්මිය ඇයගේ නිවසේදී මුණ ගැසුණි. එහිදී රාමචන්ද්‍රන් හමු වීමට ඔහු රඳවා සිටින කඳවුරට යාමට පවුලේ අයට එක් අවස්ථාවක් දීමට එකඟ වී ඇත. එමෙන්ම අධිකරණයක නඩුවක් ගොනු කිරීමේ හැකියාව පිළිබඳවද අදහස් දක්වා ඇත. කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මහේෂ්වරී මහත්මිය ඊට ටික දිනකට පසු එල්.ටී.ටී.ඊ.ය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඉන් අනතුරුව රමචන්ද්‍රන්ගේ පවුලේ ය නැවතත් අමාත්‍යවරයා හමු වීමට ගියද රාමචන්ද්‍රන්ගේ පියා සහ ඇමතිවරයා අතර බහින් බස් වීමක් සිදු විය. ඊ.පී.ඩී.පී. ය හමුදාව සමග එක්ව පුද්ගලයන් පහර ගන්නා බව හැඟවෙන ප්‍රකාශයක් රාමචන්ද්‍රන්ගේ පියාගේ මුවින් පිට වීම නිසා හමුදාවට එරෙහිව කිසිවක් නොකියන ලෙසත් එසේ නොකළහොත් ඔහුටත් වෙඩි වදිනු ඇති බවටත් ඇමතිවරයා විසින් ඔහුට අනතුරු හඟවා ඇත.

සිචිල් යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු පොලිසියේ සහ හමුදාවේ සය දෙනෙක් කමලශිනි හමුවීමට පැමිණ රාමචන්ද්‍රන්ගේ අධ්‍යාපන සහතිකද ඇතුළුව සියලු පෞද්ගලික ලියවිලි ඉල්ලා ඇත. රාමචන්ද්‍රන්ගේ පියා විසින් එම ලියවිලි පේදුරු තුඩුව පොලිස් ස්ථානයට ලබා දුන් විට ඔවුන් පවසා ඇත්තේ එම ලියවිලි අවශ්‍ය වුයේ රාමචන්ද්‍රන් හට රැකියාවක් ලබා දීමට බවයි.

තවත් ඇසින් දුටු සාක්ෂිකරුවන්

2013 වසරේ අග භාගයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් වරක් කන්කසන්තුරයේ අධි ආරක්ෂක කලාපයේදී සහ වරක් 524 බලකායට අයත් පල්ලප්පයි හමුදා කඳවුරේදී රාමචන්ද්‍රන් සියසින් දැක ඇති බව කමලශිනි ප්‍රකාශ කළාය. පළමු අවස්ථාව සිදු වී ඇත්තේ 2009-2010 අතර කාලයේදීයි. එම සාක්ෂිකරු රාමචන්ද්‍රන් සමග කතා කල බවට වාර්තා විය, ඔහුට රාමචන්ද්‍රන්ගේ ඡායරූප පෙන්වීමෙන් අනතුරුව මෙම කරුණ තහවුරු කර ගන්න ලදී. තමන් නිදහස් කරන බවට පොරොන්දු වුවද තවමත් හමුදාව තමා රඳවා ගෙන සිටින බවට රාමචන්ද්‍රන් මෙම පුග්ලයාට පවසා ඇත. දෙවන අවස්ථාවේදී ග්‍රාම නිලධාරීවරයා හමුදා නිලධාරීන් සමග පැවැත්වෙන දෛනික රාජකාරී හමුවීමක් සඳහා පල්ලප්පායි හමුදා කඳවුරට ගොස් ඇත. එහිදී බුද්ධි අංශ නිලධාරෙක් විසින් රාමචන්ද්‍රන් දෙසට ඇත දිගු කොට “ ඔබේ ගමේ මාධ්‍යවේදියෙක් අපි ළඟ ඉන්නවා” යනුවෙන් පවසා ඇත. එම බුද්ධි අංශ නිලධාරියාගේ නම, කමලශිනි හට රාමචන්ද්‍රන් රැගෙන ගියේ හමුදාව බවට පිළිගත් බුද්ධි අංශ නිලධාරියාගේ නමට සමාන විය.

පොලිසියේ ක්‍රියාකාරිත්වය සහ පරණගම කොමිසමට කරන ලද ප්‍රකාශ

සිද්ධිය සිදු වී දින කිහිපයකට පසුව රාමචන්ද්‍රන්ගේ පියා විසින් පේදුරුතුඩුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති නමුත් මේ වනතෙක් පොලිසිය විසින් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.පේදුරු තුඩුවේ මහේස්ත්‍රාත් තුමා විසින් ප්‍රවෘත්ති ඔස්සේ මෙම සිද්ධි දැන ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිසියට දැනුම් දුන් බව යාපනයේ සිටින එක මාධ්‍යවේදියෙක්ගේ ප්‍රකාශයෙන් පැහැදිළි වේ. කෙසේ වෙතත් පොලිසිය නිරන්තරයෙන් රාමචන්ද්‍රන්ගේ සොයුරියගේ නිවසට පැමිණ ඇයව පොලිසියට ගෙන ගොස් උදෑසන 11 සිට රාත්‍රී 7 පමණ වන තෙක් ඇයගෙන් ප්‍රශ්න කර ඇත. ඉන් බොහෝ ප්‍රශ්න යොමුව තිබුනේ ඇය විසින් රාමචන්ද්‍රන් රැගෙන ගියේ කළිකායි කඳවුරේ හමුදා නිලධාරීන් බව දැනගත්තේ කෙසේද යන කරුණ වෙතටයි. ඒ අනුව ඇයට දැනී ගොස් තිබුනේ පොලිසිය විසින් උත්සාහ කර තිබුනේ ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ තොරතුරු දැනගත් මුලාශ්‍ර හඳුනා ගැනීමට මිස රාමචන්ද්‍රන් සෙවීමට නොවන බවයි.

2015 දෙසැම්බර් මස 13 වන දින කමලශිනි විසින් අතුරුදන් වූවන් පිළිබඳව වන ජනාධිපති විමර්ශන කොමිසම (පරණගම කොමිසම) වෙත සවිස්තර ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. ඇයට අසන්නට ලැබුණු ඇසින් දුටු සාක්ෂිකරුවන් කළ ප්‍රකාශ පිලිබඳ තොරතුරුද ඇය ඉදිරිපත් කළාය.2016 ජනවාරි 26 වන දින කොමිසම මගින් ඇයට ලිපියක් ඒවා තිබු අතර ඉන් කියවුනේ මෙම සිද්ධිය විමර්ශන සඳහා යොමු කර ඇති බවයි. එමගින් තවදුරටත් ඇයට දැනුම් දී තිබුනේ ඇයට හිමි ආර්ථික සහන ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීතුමා හමුවන ලෙසයි.

අතුරුදන් වීම් වලට සම්බන්ධ පුද්ගලයන් දුර්විපාක නොලබා සිටීම සහ ජනමාධ්‍යට පහරදීම් නතරවන්නේ කෙදිනකද?

2010 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගය සහ ඒ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මේ වන විට විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇත. මෙහි සාර්ථකත්වයට හේතු වුයේ ඔහුගේ බිරිඳ සහ පවුලේ අයගේ ධෛර්යය සහ අධිෂ්ඨානශීලී ක්‍රියාපිලිවෙලයි. එසේම ඉංග්‍රීසි පුවත්පත් කතෘවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව සොයා බැලීමටද රජය පාර්ශවයෙන් පොදු කැපවීමක් තිබුනද එහි සාර්ථකත්වය ගැටළු සහගතය. නමුත් ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය සම්බන්ධ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ අනෙක් ප්‍රහාර පිලිබඳ විමර්ශන වල සාර්ථකත්වය පිලිබඳ දැඩි නිහඬතාවයක් පවතී.

දමිළ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම් හා උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය ආයතන වලට ඉතා බරපතල ආසනික් ප්‍රහාර එල්ල කිරීම් ඇතුළුව විවිධාකාරයේ හිරිහැර කිරීම්, තර්ජනය කිරීම් සහ සීමා පැනවීම් සිදු වී ඇත. උතුරේ වඩාත්ම ජනප්‍රිය දිනපතා පුවත්පත වන “උදයන්” පුවත් පත සම්බන්ධ මාධ්‍ය ආයතනයට මෙවැනි දරුණු ප්‍රහාර රැසක් එල්ල වී ඇත. එහි කතෘ සහ හිමිකරුට අනුව තවමත් එවැනි එක ප්‍රහාරයක් හෝ සම්බන්ධව සාර්ථක පරීක්ෂණයක් සිදු වී නොමැත.

අතුරුදන් වීමෙන් පසුව අතුරුදන් වූ පුද්ගලයාට සිදු වුයේ කුමක්ද යන කාරණය පිලිබඳව සොයා ගැනීමට ඉතා ප්‍රබල සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂි ඇති සිදුවීම් අතලොස්ස අතරින් රාමචන්ද්‍රන්ගේ සිදුවීම එකකි. අතුරුදන් වී වසර 6කට පසු 2013 වසරේදී එක්තරා හමුදා කඳවුරකදී ඔහුව දැක තිබීම මෙම ප්‍රබල සාක්ෂි වලට අයත් වේ. කෙසේ වෙතත් අදාළ අධිකාරීන් මගින් තොරතුරු දැන ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව පවුලේ උදවිය දැනුවත් නැත. රාමචන්ද්‍රන්ගේ පවුලේ සියලු දෙනා වසර 9ක් තිස්සේ ඔහු යළි පැමිණෙන තුරු බලා සිටියි. රාමචන්ද්‍රන් යළි කවදා හෝ නිවසට පැමිණේවිද? අතුරුදන් වීමෙන් පසු ඔහුට සිදු වුයේ කුමක් ද යන ගැටලුවට ඔහුගේ පවුලේ අයටත් සමීපතමයන්ටත් රජය විසින් පිළිතුරු ලබා දෙනු ඇතිද?

                                  රාමචන්ද්‍රන් ගේ වියපත් දෙමාපියන්


Photo courtesy  - Tamil Net

රුකී ප්‍රනාන්දු සහ ස්වස්තික අරුලිංගම්  -   වොච්ඩෝග් එකමුතුව

( මෙය 2016 පෙබරවාරි මස 15 වන දින http://groundviews.org/2016/02/15/where-is-journalist-subramanium-ramachandran-9-years-after-he-disappeared/ හි ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි. )

- Melani




2016-02-18
Advertisement

Find us on Facebook