English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එල්ටීටීඊ නාමලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝග

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් දින කීපය තුළ මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනයක් යුද හමුදා කඳවුරේ ඇති බවට මුලතිව් යුද හමුදා ආරක්ෂක අංශ ප්‍රධානියා මුලතිව් අධිකරණය හමුවේ අද බදාදා සඳහන් කර තිබේ.

යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයින් පිළිබදව කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මුලතිව් අධිකරණය වෙත හබයාස් කෝපස් නඩු දාහතරක් ගොනු කොට ඇති අතර එම නඩු විභාගයට ගත් අවස්ථාවේ දී සාක්ෂි දීමට පැමිණි මුලතිව් ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ජනරාල්වරයා මෙම තොරතුරු අනාවරණය කළ බවයි මෙම හබයාස් කෝපස් නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්එස් රත්නවේල් කියා සිටියේ.

බාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ට අමතරව යුද හමුදාව විසින් අත් අඩංගුවට ගත් එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාම ලේඛනයක්ද මුලතිව් යුද හමුදා කඳවුරේ ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ ප්‍රධානියා අධිකරණය හමුවේ පැවසූ බවයි නීතිඥ ආර්එස් රත්නවේල් පැවසුවේ.

එල්ටීටීඊ සාමාජිකයින් යුද හමුදාවට බාර වූ අවස්ථාවේ දී සාක්කි වශයෙන් හා නාමලේඛන සකස් කිරීමට මුලතිව් පළාතට යුද හමුදාව විසින් කැඳවා සිටි කතෝලික පියතුමන් ලා දෙදෙනා ද මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඒ පිළිබඳව මුලතිව් අධිකරණයේ නඩු පවරා එම නඩු විභාග වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

යුද හමුදා මේජර් ජනරාල්වරයා විසින් අධිකරණයට කී පරිදි බාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේත්, යුද හමුදාව වසින් අත් අඩංගුවට ගත් එල්ටීටීඊ සාමාජිකයින්ගේත් නාම ලේඛන මීළඟ නඩු වාරයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් මුලතිව් මහේස්ත්‍රාත් වරයා යුද හමුදා නිලධාරියාට නියෝග කළ බවද නීතිඥවරයා කියා සිටියේය.

මීළඟ නඩු විභාගය අප්‍රේල් මස නව වෙනිදා දක්වා කල් දමා තිබේ.


උපුටා ගැනීම -  බීබීසි සංදේශය

- Melani




2016-02-17
Advertisement

Find us on Facebook