English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘ලේ’ මාකට් එකේ ගීත

යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මේන්න ඒ ගීය, කම්මැලි නොකර යන්න එක පෙළක් ගානෙ එදා වගේම නැවතත්:

ආ…ආ…ආ…

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ

ආ..ආ…ආ…

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
දෑ විකුම් වැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරිපෙවී ඇත උන් නමින්

ආ..ආ…ආ…

මව් කුසින් නොව දෙව් කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන්
නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ

ඉතා පැහැදිලිව මින් කියැවෙන්නේ සිංහලයින් වෙනුවෙන් පස් පිඬක් පවා ගිලිහී නොයන්නට අවි දරා යුධ කරන යුධ සෙබළුන් අපට මහත් ආශිර්වාදයක්ය යන්නයි. සංගීතය, සන්දර්භය ආදී සියල්ල සැලකිල්ලට ගත් කළ, තම බිම වෙනුවෙන් සතුරාට එරෙහිව යුද්ධ කිරීමට මෙම ගීතය අප සිත් භාවමය වශයෙන් පොළඹවයි. ඊට අමතරව මෙම ගීතය උතුරු නැගෙනහිර යුද්ධයේදී ඊලම්වාදීන් මරා දැමීම වේගවත් කරනුවස් සොල්දාදුවන් සූදානම් කිරීමට සංඝයා ඇතුලු සිංහල පාර්ශවය යොදාගත් නිල නොළත් තේමා ගීතය වූ බව අපි දනිමු. එදා මේ ගීතයේ කොටස් වලින් කඩපිල්, මංමාවත්, බෝ රුක් ආදිය නහවා තිබුණි. එය නොමේරූ තරුණයකුගේ මස් ලේ ඇට මිදුල් කරා උණ්ඩයක් සේ ගොස් ජාති ආලයෙන් උන්මාද කිරීමට තරම් ශූර ලෙස පද රචනා, හඬ, සංගීතය ආදිය යොදාගෙන තිබුණි. ඒ දවස් වල තරුණයින්ට යුධකිරීමට ආරාධනා කරමින් පළ කල රූපවාහිනී දැන්වීම් නිර්මාණය කර තිබුණේ ද මෙම ගීතය පාදක කරගෙන ජයග්‍රහණයේ විජය කොඩි දමන සොල්දාදුවන්ගෙනි. තරුණයෝ දසදහස් ගනණින් යුද්ධයට ගියහ. උන්ගේ බහුතරය අති දුගී දුප්පත් තරුණයෝ වූ අතර ගීතය ගම්‍ය කල පරිදි අවි ගත යුත්තේ දුගී දුප්පත් කම ආදි වෙන කිසිවකට එරෙහි නොව හෙළයින්ගේ මවු බිබේ හිමිකම පතා පමණි. එසේ දුප්පත් ගැමි කොල්ලන් යුද්ධයට යන අතර තම වැදගත් දරුවන් යුද්ධයට ඇරීමට අකමැති මැද පංතිකයින් මේ ගීතයේ අවසාන පදයට මුවාවෙමින් තම හෘදයේ කොනත ඉතිරිවුණ අර කුඩා අවුලා විසඳාගන්නා ලදි.

එම ගීතය එසේ තරුණයින් යුද්ධයට කැඳවමින් රටම යුද්ධයට සූදානම් කරමින්, ලාංකික ඉතිහාසයේ අතිශයින්ම කාර්ය බහුල ගීතයක් ලෙස අලෙවි වාර්තා තබන විට, ගායකයාගේ ප්‍රතාපවත් ශරීරය චාම් සිංහල ඇඳුමින් සැරසී මද සිනහවකින් යුතුව සාම්ප්‍රදායික සිංහල කවිච්චි, උළුවහු හා පෞරාණික ගල් කුළුණු ඉදිරියේ සිටිමින් ගත් ඡායාරූප වලින් සති අග පුවත්පත් අතිරේකවල මුල් පිටු පිරී යනවා අපට දකින්නට ලැබුණි. ඒ අතර ඒ මහා ගායකයාම තවත් ඒසාම ජනප්‍රිය ගීයක් එම කාලය තුලම ගයමින් තිබුණි. බලන්න මේ ගිතයත් පෙළක් ගානෙම:

ලෝකයක් නසන්නට -රුදුරු අවි අත දරා සැරසෙමු ද
නැසුණු ලොව අභිමුවේ -විජය නොඩි නගන්නේ කවුරුන් ද
එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට -එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට – උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට
ලෝකයක් නසන්නට – රුදුරු අවි අත දරා සැරසෙමු ද
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට – නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට – අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

මින් කියැවෙන්නේ කවරම හේතුවක් නිසාවත් කාට එරෙහිව වුවද අවි දරා යුද්ධ කිරීම වැරදි බවයි. මෙම ගීතයේදී ‘රන්මලක් ලෙස’ ගීතයේ මෙන් ගායකයා ‘හෙළය‘ නම් එක් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටියි. දෙවන ගීතය ගයන ගායකයා අපෙන් අසනා සියළුම ප්‍රශ්න ඇසිය යුත්තේ ඔහුගේම පළමු ගීතයෙන්මය, එනම් ඔහුගෙන්මය.

එක් ගීතයකින් ‘දේවතා එළි’ නමින් දෙවියන්ට සම කරන සොල්දාදුවාව අනෙක් ගීතයෙන් ‘ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා’ සිටින මිනීමරුවකු සේ එනම් දෙවියන්ගෙ අනෙකා ලෙස හඳූන්වයි- එසේම මේ ගීතයේදී අවි ගතයුත්තේ පෙර ගීතයෙන් කී බිම බේරාගැනීමේ හේතුවටද නොව දුප්පත් කමට එරෙහිවයි. කොටින්ම එක් ගීතයකින් කියන්නේ යුද්ධ කරන ලෙසය, අනිකෙන් කියන්නේ යුද්ධ නොකරන ලෙසය. කිසියම්වූ දේශපාලන, මානවවාදී හෝ සදාචාර පදනමකින් මෙම ප්‍රකාශ දෙකම එකම පුද්ගලයකුට එකම මොහොතක( එකම යුධ සන්ධර්භයක) කල හැකිද? මේ ගීත දෙකම ඔහු ගායනා කලේ යුද්ධය ‘හොඳට නැගලා යන’ කාලයේදී ය. මේ ගායකයා වූකලි අපට සිටිනා විශිෂ්ඨතම ගණයේ ගී සමුදායක් දායාද කර ඇති විශේෂ හැකියාවක් ඇති ගායකයකු බව අපි අමතක නොකරමු. එය වෙනම කතාවකි.

එදා යුද්ධයට ප්‍රධාන වෙළඳපොළවල් දෙකක් තිබුණි. එකක් එය කරගෙන යන ලෙස ඉල්ලා සිටි මූලික වශයෙන් ‘ජාතිවාදී‘ වෙළඳ පොළ වන අතර අනෙක ‘යුද්ධය එපා’ යැයි කියූ හුදු ආගමික විඥ්ඥානයක සිට ෆෙඩරල් ආස්ථානය දක්වා විවිධ පාර්ශ්ව ගණනාවකින් සැදුම් ගෙන තිබූ පොදු වෙළඳ පොලයි. ‘රන්මලක් ලෙස’ ගීතය වඩා දේශීය වෙමින් ජාතිවාදී වෙළඳපොළ අත්පත් කර ගත් අතර ‘ලෝකයක් නසන්නට’ ගීතය ඊට වඩා විශ්වීය ආස්ථානයක් ගනිමින් අර පොදු වෙළඳපොළ අත්පත් කරගත්තේය.

කලා කෘතිය වෙනම ගත්කල කෙතරම් සාර්ථක වුවද, අනිකුත් බොහෝ කලාකරුවන් මෙන්ම මේ ගායකයා ද පිහිටා ඇත්තේ දේශපාලන පදනමකට වඩා ඉල්ලුමට අනූව සැපයුම ලබාදෙන වාණිජ පදනමක බව පැහැදිලිය. එබැවින් ඔහු කෘතියෙන් කතාකරනා යථාර්තය සම්බන්ධයෙන් සමාජයට වගකියන්න බැඳී නැත. මේ ගීත දෙකට අනූව ඔබ යුද්ධයට ගියත් හරිය නොගියත් හරිය, එනම් ඕන එකක්ය. දේශපාලන හෝ යම් සමාජ වගකීමකින් බැඳුන පදනමක සිටින්නේනම් කෙතරම් වෙළඳපල ඉල්ලුමක් තිබුණද මින් එක් ගීතයක් ගායකයා නොගයා සිටිය යුතුය- එකිනෙකට හාත් පසින් ප්‍රතිවිරුද්ධ යථාර්ථ දෙකක් වෙනුවෙන් නිෂ්පාදන ඉදිරිපත් කිරීමෙන් කියැවෙන්නේ ඉන් වන සමාජ බලපෑමට ඔහු වග නොකියන බවයි. ‘කලා කෘතියක්‘ යන විවාදාත්මක වචනය මොහොතකට අමතක කර, යුද්ධය නිසා බිහිවුන මෙම ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ දෙක එකම පුද්ගලයකු මාරුවෙන් මාරුවට කියමින් මුදල් එකතු කරනාව යැයි මොහොතකට හිතුවොත් බරපතල කම ඔබට පෙනී යා යුතුයි.

කිසියම් කලාකරුවකුට තමා වරෙක දැරූ අදහස් පසුව වෙනස්කරගැනීමට අයිතියක් නැද්ද, එසේ අදහස වෙනස් වූ පසු පෙර පටිගත කල ගීතයද පැවතීම වරදක්දැයි කෙනෙකු ප්‍රශ්ණයක් නැගිය හැකිය? කෙටි පිලිතුර වරදක් නැත යන්නයි. මෙයින් කියන්නට උත්සහ කරන්නේ මතය වෙනස් කරගන්නට නොහැකියි යන්න නොව එම වෙනස තුල ඇත්තේ වෙළඳ පොල වාසිය බවයි. මෙම ගීත බිහිවන යුධ කාලයේ විවිධ අවස්ථාවල මෙම ගායකයා මෙම ගීත දෙකම ගයමින් තිබුණි. එහෙත් ඔහු කිසියම් අවස්ථාවකදී එසේ එක් ගීතයක් තමන් විසින් යලි ගැයීම දේශපාලන පදනම මත නවතා දැමූ බවට මෙම ගායකයාගේ ගීත වල වෙලඳපොලවල් අධ්‍යයනය කරන විට පෙනී යන් නැත: බොහෝවිට ඔහුගේ දෘෂ්ඨිවාද වෙනස්වීමේ ඉතිහාසය අධිපති මතවාදයේ වෙනස හා විශාල වෙළඳපොල ඉල්ලුමට අනූව පවතින බව පෙනී යයි. කෙසේ හෝ කලාකරුවෙකුගේ මෙවැනි භාවිතයේ පරස්පරයක් දකින විට මාධ්‍යය විසින් ඒ ගැන ඔහුගේ අදහස සුහදව විමසිය යතු නමුත් සාමාන්‍යයෙන් මුණිවර ප්‍රතිරූප ඇති කලාකරුවන්ව එසේ ප්‍රශ්ණ කිරීම වරදක් ලෙස සිතීම අපේ සමාජයේ පසුගාමී ලක්ෂණයක් ලෙසට ඇත. අවශ්‍යනම් තාමත් ඔහුගෙන් ඒ ගැන විමසීමේ හැකියාව ඇත.

විශේෂයෙන් පබ්ලෝ පිකාසෝ, ජර්සි ග්‍රොටොව්ස්කි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි කිසියම් දේශපාලනික පදනමක පිහිටා කාලාන්තරයක් එක දිගට වැඩකළ කලාකරුවන් විවිධ අවදිවල දැරූ අදහස් වෙනස්ව ඇති අතර ඔවුන්ගේ ඉතිහාසය බලන විට එය නිරන්තර අභ්‍යාසවල ප්‍රතිඵල ලෙස පෙන්නුම් කෙරේ. එසේම අදහස් තීරණාත්මකව වෙනස්වන තැන්වලදී ඔවුහු ඊට තාක්‍ෂණික හා දේශපාලනික යන දෙකෙන්ම කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් අප ඉහතින් දුටු ආකාරයේ ශ්‍රී ලංකාවේ කලාවේ අදහස් වෙනස්වීම තුළ එවැනි අවධියක් හා වගකීමක් කලාකරුවාට තිබූ බවක් පෙන්නුම් කරන අවස්ථා කොපමණ ඇද්ද? විශේෂයෙන් යුද්ධයට ආදර්ශ සැපයමින් සමාජයට බලපෑමක් කල මෙවන් තීරණාත්මක නිර්මාණ වලදී එය අතිශයින් වැදගත්ය.

ගීතයක් සාර්ථක වෙන්නේ ගායකයාගේ දේශපාලන දැක්ම, සදාචාරය හෝ මනුෂ්‍යත්වය ආදිය නිසා නොව ගායන කුසලතාවය නිසාය. කෘතියෙන් අප සංවේදී වන්නේත් අවශ්‍යෙයන්ම කලාකරුවා (විෂය ගැන) සංවේදී නිසා නොව සංවේදී කිරීමේ තාක්ෂණය කලාකරුවා හරියටම හසුකරගෙන ඇති නිසාය. සංවේදී වූ සෑම කෙනාටම සංවේදී වූ නිසා අනිත් කෙනාව සංවේදී කල නොහැකියි.

කෙසේ හෝ දෘශ්ඨිවාදයේ පරස්පරතාවය කලාකරුවා අදක්ෂයකු යැයි කියන් නැත. එම කරුණ මතුවන්නේ කලාකාරුවාට තමා කරන කියන දේ සම්බන්ධයෙන් සදාචාරයක් හා සමජ වගකීමක් ඇත්ද යන්න විමසන විටය. මෙම කාරණය ලංකාව සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ කලාකරුවා යනු සමාජයට මගපෙන්වන ආදර්ශමත් කිසියම් ආධ්‍යාත්මික නායකයකු හා සමානව මිනිසුන් බහුතරය සිතන නිසාය. අර ‘රන්මලක් ලෙස’ ගීතය අසා වෙඩිතියන්න ගොස් අතපය කඩාගෙන, ඊලඟට තම සේනානායකයාට සිදුවූ අසාධාරණය කතා කරන්නට රෝද පුටුවෙන් ගොස් ලිප්ටන් වටරවුමෙදි ඔලුවද පලාගත් සොල්දාදුවන්ට සත්තකින්ම දැන් වෙළඳපොලක් තියා උන්හිටි තැන් ද නැත! ඊට අමතරව ආබාධිත රණවිරුවන්ගේ ගිණුම් වලින් කෝටි ගණන් මුදල් ගසාකෑමේ පුවත්ද දැන් ඔන්න මතුවන්නට පටන්ගෙන ඇත. මේ මෑතක සිට අසරණ සොල්දාදුවෙකුට ආධාර කරන්නැයි සකර්බර්ග් සුද්දාගේ ෆේස්බුක් පිටුවෙන් සරණ පතන පොස්ටු ද අපට දකින්නට හැකිවී ඇත. අප දන්නා තරමින් ඔවුන් ගැන මෙතෙක් ගැයුනු ගීතයක්ද නැත. එවැනි කුඩා වෙළඳපොලවල්වලට දැන් ගී කියන්න ගොස් මහා වෙළඳපොලවල් අමනාප කරගන්නේ ඇයි?

යුද්ධෙන් පසු ඒ මහා වෙළඳපොල රැල්ල ඉල්ලා සිටියේ අඬු කැඩිච්ච සොල්දාදුවෙක් ගැන කතාවක් නොව ‘මහත්වරුනි සුද්දා එන්නේ රට කරන්න‘ කතාවයි.

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne

                                        උපුටා ගැනීම - Vikalpa





2016-02-16
Advertisement

Find us on Facebook