English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනයෙනුත් රට වැසියන්ට එක හැන්දක් රට පාලකයින්ට තව හැන්දක් - හැබැයි දෙගොල්ලම මිනිස්සු !

යහපාලනයෙනුත් රට වැසියන්ට එක හැන්දක් රට පාලකයින්ට එක හැන්දක් - හැබැයි දෙගොල්ලම මිනිස්සු යැයි කියා සිටියේ මේ රටේ ජීවත්වන සාමාන්‍ය මිනිස්සුන්ය. ඒ අද පැවති මාධ්‍ය හමුවක, ආණ්ඩුවේ ආමාත්‍යධූරයක් හොඹවන එස්. බී. දිසානායක විසින් සිදුකළ ප‍්‍රකාශකට ප‍්‍රථිචාර දක්වමින් ය. 
  
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ ශිරන්ති හා පුත් නාමල් අද නිදහසේ දිවි ගෙවන්නේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිසා යැයි අමාත්‍ය එස් බී දිසානායක අද (15දා) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. එහෙත් ඒ ප‍්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වු සමාජයේ ජිවත් වන පෘතග්ජනයින් කීවේ "ඒක යස වැඩක් නේ ..... මොකක්ද ඒකේ තියෙන සාධාරණය. යහ පාලනයෙනුත් රට වැසියන්ට එක හැන්දක්, රට පාලකයින්ට එක හැන්දක් - හැබැයි දෙගොල්ලම මිනිස්සු නේ, එහෙම කරන්නේ කොහොමද?" කියා ප‍්‍රශ්න කරමිනි.

වර්ථමානයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන්නට පැවති මෙම මාධ්‍ය හමුවේදි, හිටපු ජනාධිපති රාජපක්‍ෂ සිය පක්‍ෂ සභාපතිකම ගැන එදා සහ අද ප‍්‍රකාශ කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත් කථා කළ ඔහු මෙසේ පැවසීය.
 
"බරපතළ ප‍්‍රශ්න දෙකක් ආවා, එකක් ශිරන්ති රාජපක්ෂ මැතිනියට හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාටල ඒ වෙලාවේ මේ අය අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තේ

‘ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂණ කටයුතු කරන්න මම ඒවාට බාධා කරන්නේ නැහැල හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න එපා එයා හිටපු ජනාධිපතිතුමාගේ භාර්යාව කියලා’

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමාගෙන් විධායක බලය භාවිතා කර බලෙන් ලබාගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා මීගමුවේ පළාත් පාලන මන්ත්‍රී හමුවක දී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ රටට හෝ පක්ෂයට අදරේ නිසා නොව තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා බවයි.

නමුත් පසුගිය ඉරිදා මීගමුවේදි පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා පළාත් පාලන මන්ත‍්‍රිවරුන්ගේ රැස්වීම අමතමින් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ, විධායක බලය පාවිච්චි කරමින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය තමන්ගෙන් බලෙන් ලබාගත් බවයි.

"මම ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දන් දීලා ගියලූ. මම දන් දීලා ගියේ් නැහැ...... විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා තමයි මගෙන් ඒක ගත්තේ." යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මාධ්‍යට ප‍්‍රකාශ කළේය.

පක්‍ෂ නායකත්වයන් කෙසේවෙතත් , මහජනතාවට අවශ්‍යකරන්නේ යුක්ති සාධාරණය රජ කරන, ණය බරින් තොර, පීඩාවන්ගෙන් තොර සාමකාමි දිවි පෙවතක් ගෙවිමය. එවන් පසුබිමක් ඔවුනට ලැබේ නම් කවුරු පක්‍ෂ නායකත්වය දැරුවත් කවුරු රට පාලනය කළත් ප‍්‍රශ්නයක් නැත.



එමෙන්ම, රටේ ජිවත්වන පුරවැසියන් යනු සියල්ලෝම එක හා සමානය. සියල්ලෝම මිනිසුන් වෙති. එහෙත් ලොකු මිනිසුන්ට වඩා රටේ ජිවත්වන පොඩි මිනිසුන් තවමත් දරිද්‍රතාවයෙන් , පීඩාවෙන් පෙළෙති. ප‍්‍රශ්නවලට මුහුණ දෙති. එදා වේල මහන්සියෙන් හරි හම්බකරගෙන කති. ඒ අතරේ, හරි හෝ වැරදි, අවස්ථාවක් උදාවුනොත් නීතිය ඉදිරියේදි දණ ගසන්නට ද සිද්ධ වෙයි. ඒ පෘතග්ජනයින්ගෙන් කෙනෙකු යම්හෙයකින් කුමන හෝ සිදුවීමක් හේතුවෙන් සැකකරුවුකු වුවහොත් ,සාමය රකින්නට සිටින මිනිස්සුන්ට හිතවත් පොලීසියෙන් අම්බානකට ගුටිකන්නට ද ඒ නිසා සදාකාලික අබ්බගාතයින් හෝ රෝගීන් බවට පත්වන්නට ද සුදුසුකම් ලබති. එහෙත් එක හා සමාන ලෙසට හුස්ම ගන්න, එක විධියටම දුක සතුට වේදනාව දැනෙන රටේ ජීවත්වන ප‍්‍රභුවරුන් හට නීතිය වෙනස් විධියකට ක‍්‍රියාත්මක කිරීමේ තිබෙන ශීලාචාරකම හෝ සාධාරණත්වය කුමක් ද කියා ඔවුහු ප‍්‍රශ්න කරති. වැරැද්දක් කළාම පොඩි මිනිහා හිරේ දමන්නත් ලොකු මිනිහාට සමාව දෙන්නත් හැකියාව ඇති ඒ අමුතු ධර්මය අමුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමුතු බලය කුමක් දැයි පෘතග්ජනයින් විමසා සිටිති. යහපාලනය තුළත්, රට වැසියන්ට එක හැන්දකිනුත් රට පාලකයින්ට තවත් හැන්දකිනුත් සළකන්නේ ඇයි කියා ඔව්හු විමසති.

මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ ද පුතා නාමල් ද වරදක් කර ඇත්නම් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට පමණක් ඉඩදී, හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න එපා, එයා හිටපු ජනාධිපතිතුමාගේ භාර්යාව කියා මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා විසින් සිදුකළ ප‍්‍රකාශයේ ඇති සාධාරණත්වය කුමක්ද ? හිටපු ජනාධිපතිගේ භාර්යාව කියා, ඇය කර ඇති සියලූම වැරදිවලට ඇය චෝදනාවලට ලක්වන්නේ නැතිනම්, ඳඬුවම් නොලැබෙන්නේ නම් රටේ ජීවත්වන පෘත්ගජනයින් හට ද ඒ නිතිය ම ක‍්‍රියාත්මක නොකිරීමේ වරද කුමක් දැයි  ඕව්හු විමසති.

සැබෑවට ම නියම වරදකාරියන් ලෙසට හා වරදකාරියන් නොවුණු සැකකාරිනියන් ලෙසට අද කී දාහක් ලංකාව පුරා ඇති බන්ධනාගරවල ජිවත් වෙත්ද ?ඔවුන් ඇතැම්විට හිරේ විලංගුවේ වැටුණේ ජීවිත අරගලය ජයගන්නට කුමක් හෝ නිති විරෝ්ධි වැඩක් අකමැත්තෙන් වුව කළ නිසාවෙන්ය. නැතහොත් එවැන්නකට උල්පන්දන් දුන් හෝ සහය වූ නිසාවෙනි. තමන්ගේ නිත්‍යානූකුල විවාහක සැමියා වෙනත් කාන්තාවක හා හාදකමක් පැවැත්වු නිසා ඉන් ගලවා ගන්නට බැරිවු කළ එම කාන්තාව ඝාතනය කරන්නට පෙළඹුණු මිල්රෝයි පෙරේරා හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට පවා වසර ගණනාවක් සිරබත් කන්නට සිදුවු බව අපට මතකය. ඇගේ කථාව සාධාරණය වුවද වසර ගණනාවක් යන තුරු ඇයට ක්‍ෂණික සමාවක් ලැබුණේ නැත. එවන් මව්වරු, කාන්තාවන් දහස් ගණනක් අද සිරගෙවල ජීවිතය ගෙවති.

එසේ වන කළ, අත්අඩංගුවට නොගන්නට තරම් එම කාන්තාවන් හා ශිරන්ති රාජපක්‍ෂ අතර ඇති වෙනස කුමක් ද ? මානුෂීය උතුම්කම කුමක් ද ? මන්ද උලේ හිටියත් පිලේ හිටියත් වගේම මාලිගාවක හිටියත් කාන්තාව කාන්තාව ම ය.
 
-මෙලනි



2016-02-15
Advertisement

Find us on Facebook