English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිවුරු පොරවාගත් මදාවි කම ද, දේශපේ‍්‍රමය ද?

‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’– ජුලියස් සීසර්

රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් රෑ බල පුලූවන්කාරයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට බියෙන් සිය අභිමානය නැති කරගත් හෝ පලූදු කරගත් කාලය දැන් අවසන් ය. අධිකරණය දැන් නිදහස් වී ඇතිවා පමණක් නොව, ඒ නිදහස පිටතටත් පෙනෙන්ට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පැත්තකින් තියන්න. මහාධිකරණය සහ ඊට පහළින් ඇති වෙනත් අධිකරණත්, ඒවායේ අසුන් ගන්නා ධජධාරීන් වන උගත් විනිසුරුවරුත්, විය යුතු පරිද්දෙන්ම, යුක්තිය පසිඳලති. ඊට අගනා නිදසුනක් වන්නේ, රටේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර නැමැති හොර සිවුරුකාරයාව අත්අඩංගුවට ගැනීමයි. එක් ලේඛකයෙකු ලියා තිබුණු පරිදි, ‘‘රටේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් ‘යළි උපන් දේවධර්මවාදියෙකුගේ’ වේශයෙන්, විශේෂයෙන් බෞද්ධයන්වත්, පොදුවේ මුළු රටමත් මේ භික්ෂුව විසින් සෙල්ලමට ගන්නා ප‍්‍රථම අවස්ථාවවත්, අවසාන අවස්ථාවවත් මෙය නොවන්නේය.’’

මේ සිද්ධියට බොහෝ කලකට පෙර, පසුගිය ආණ්ඩු කාලයේ, පාලක පවුලෙන් ලද අපමණ අනුග‍්‍රහ යටතේ, සිංහල-බෞද්ධ සාර්ධර්ම ආරක්ෂකයා වශයෙන් මොහු අවිනීතව හැසිරෙමින් වාගාලාප දොඩවන විට, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා නොයෙක් විට මේ තීරුවේ මම කරුණු ගෙනහැර දක්වා ඇත්තෙමි. කෙසේ වෙතත්, අපේ ප‍්‍රධාන මාධ්‍ය ජාලය තුළ එදා මොහුට ප‍්‍රමුඛස්ථානයක් දුන්නේ, බටහිර ලෝකයේ තවත් මෙවැනිම තක්කඩියෙකු වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව ඔසවා තැබූ ආකාරයෙනි.

උද්වේගය දනවන ආන්දෝලනාත්මක සිදුවීම්වල එල්ලීමට මාධ්‍ය දක්වන්නේ මහත් කෑදරකමකි. පුවත්පත් වශයෙන් පෙනී සිටින ඇතැම් කුඩා පුවත්පත් යැපෙන්නේ එවැනි ප‍්‍රවෘත්තිවලිනි. එසේ කිරීමේදී, ගොතන ලද ප‍්‍රවෘත්තිවලටත් විශාල වැදගත්කමක් ලැබේ. ඇතැම්හු, පදනමක් නැති දූෂමාන ආරංචි සත්‍ය වශයෙන් හුවාදක්වති. තවත් අය අතේ පැලවෙන බොරු ගොතති. අතිශයෝක්තියට සහ අලංකාරික මෝස්තරවලට සීමාවක් තිබිය යුතුය. එය මාධ්‍යයේ සීමාවන් ඉක්මවා යන විට සිදුවන්නේ, පාඨකයන් සහ පේ‍්‍රක්ෂකයන් තුළ ඇති විශ්වාසය බිඳී යාමයි. අදාළ ප‍්‍රවෘත්තියේ සත්‍යාසත්‍යතාව පමණක් නොව, එය ලියන්නා හෝ ඉදිරිපත් කරන්නා කෙරෙහි වන විශ්වාසයත් එහිදි පලූදු වෙයි.

‘‘මේ පටන් ගත්තා විතරයි. අපේ අරගලය අපි පාවා දීලා නැහැ. මට තව දවසක් දෙකක් දෙන්න.’’ අත්අඩංගුවට ගැනීමට මත්තෙන්. හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිටි විරෝධතාකරුවන් අමතමින් මේ භික්ෂුව කියා සිටියේය. ඒ වන විට ඔහුගේ නොදැමුණු ක්‍රෝධය සීමාව ඉක්මවා යමින් තිබුණි. එවැනි කටහැකර කතා කිව හැක්කේ, මොහු වැනිම උන්මත්තකයෙකුට පමණි.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ මේ ගැන කිසිවක් නොකීහ. එසේ නිශ්ශබ්දව සිටීම නිවැරදි ය.

බලයෙන් මත් වූ විට ඇතැම් පුජකයන් ප‍්‍රදර්ශනය කරන අසීමිත උද්ධච්ච භාවය, නැතිබැරි එකා වෙනුවෙන් ඔවුන් තුළ ඇති නොතැකීම සහ ඔවුන් වෙසෙන පන්සල් පල්ලිවල ප‍්‍රාකාරවලටත් ඉහළින් ඉගිලෙන කුහකකම විසින් ප‍්‍රදර්ශනය කරනු ලබන්නේ, නූතන ලෝකයේ ගරා වැටීමේ එක් පැතිමානයකි.

කෙසේ වෙතත්, බියගුළු දේශපාලඥයන් විසින් ඔවුන් වෙත ප‍්‍රදානය කරන අනවශේෂ බලය සහ ධනයත්, ‘ලෞකික’ රාජ්‍යයක් පිළිබඳ සංකල්පය බැහැර කොට, තෝරා ගත් ආගම්වලට විශේෂ බලයක් සපයන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනත් විසින් ජාතියේ හෘද සාක්ෂිය අයුතු අඩියකට පිරිහෙලා තිබේ. සදාචාරයේ සහ ආචාර ධර්ම පද්ධතියේ දිරාපත් වීම සිදුවන්නේම, ඒවා උපත ලැබිය යුතු පන්සල් පල්ලි සහ හින්දු මුස්ලිම් කෝවිල්වලමයි.

සරළ සහ චාම් වාසස්ථාන වෙනුවට, භික්ෂූන්, පූජකයන් සහ ඉමාම්වරුන් සඳහා ඉදි වූ මාළිගා රටේ හැම අස්සක් මුල්ලකම අද දකින්ට ලැබේ. නිකාය භේදය උඩ සංඝ සාසනය තුළට සසුන්ගත කරගන්නේ කුලය මුල් කර ගනිමිනි. යෝධ ඉදි කිරීම් සහ ඉපැරණි රජවරුන්ගේ විශිෂ්ඨ නිර්මාණ තාක්ෂණයෙන් අපේ ඉතිහාසය පොහොසත් ය. බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා මෙන්ම, අතීත යෝධ වාරි සංස්කෘතියක් සාක්ෂි දරන්නේ, කලාව සහ විද්‍යාව පිළිබඳ අද්වීතිය අතීත උරුමයකටයි. ඒ සියල්ලටත් වඩා, සාමයෙන් ජීවත් වූ ජනතාවකගේ සාමූහික චින්තනයකටයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් ග‍්‍රන්ථකරණයේ යෙදුණු, ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙකු වන, පෝලන්ත ජාතික ජෝසප් කොන්රඞ් වරක් කී පරිදි, ‘‘සත්‍යයේ ශරීරයක් මත්තේ බහුරු කෝලම් මුහුණක් ආරූඪ වීමේ විගඩමක්’’ බවට එය පත්ව ඇත. එහෙත් විශ්වාසය අතහැර ගත යුතු නැත. එසේම, යහපත් හෙට දවසක් සඳහා වන අපේ අභිලාෂයද අතහැර ගත යුතු නැත.

කෙසේ වෙතත්, විශ්වාසය දරා ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඉතිහාසයේ බොහෝ ජාතීන් වැටී තිබේ. නැගී සිට තිබේ. නූතන ලෝකය මනුෂ්‍යයා වෙත ප‍්‍රදානය කොට ඇති මහාර්ඝ ධනයත්, තාක්ෂණික දියුණුවත් පස්සෙන් පන්නන යම් නරකකුත් තිබේ. එහෙත් එඩිතර ඥානවන්තයා, සදාචාරය සහ දුරාචාරය අතර බෙදුම් රේඛාව හඳුනා ගැනීමට සමත් වෙයි. එවැන්නෝ, ටිකකට නතර වී මොහොතක් කල්පනා කිරීමට මැළි නොවෙති. විශ්වයේ ඇති විශිෂ්ඨතම හාස්කම වන්නේ මිනිස් සන්තානය වන බැවින් එවැනි නුවණැත්තෝ නොනැවතී පිරික්සති. මේ යුගය වූ කලී, ‘නිර්මාණයක’ අවසානයක් නොව, දීර්ඝ පරිණාමීය කතාන්තරයක බුද්ධිමය කුහුලේ ආරම්භයකි.

ගලගොඩඅත්තේ ඥානසාර යනු, අවසාන දූෂිත භික්ෂුව නොවේ. රාජපක්ෂගේ අවසාන පස් වසර තුළ ප‍්‍රදර්ශනය කෙරුණු තත්වය අද දකින්ට නැත. මෙවැනි සමාජ නාශක බලවේගවලට අනුග‍්‍රහය පෑමෙන් වර්තමාන නායකත්වය වැළකී සිටීම වාසනාවකි.

‘ඩිවයින් කොමඩි’ නම් වූ වීර කාව්‍යයේ කර්තෘ, දාන්තේ අලිගියෙරි මෙසේ ලියා තිබේ: ‘‘සදාචාර පරිහානියකදී නිශ්ශබ්දව ඉන්නා අයවළුන්ට අපායේ අඳුරුතම ස්ථානය වෙන්ව තිබේ.’’ ඩිවයින් කොමඩි යනු, ඉතාලි භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම කෘතිය වශයෙන් සැළකෙන අතර, ලෝක සාහිත්‍යයේ අග‍්‍රකෘතියක් වශයෙන්ද ගැනේ. භික්ෂු වේශයෙන් පෙනී සිටින මේ පිස්සන්ගේ දේශපේ‍්‍රමී විගඩම ඉදිරියේ අහක බලාගෙන සිටීමට කෙනෙකුට පුලූවන්කමක් නැත. එසේ වුණොත් එය, එසේ සිටින්නාගේ විනාශයටම හේතු වනු ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගය නොවේ. වෛරසයත් නොවේ. ඔහු වනාහී, වෛරසය රැුගෙන යන වාහකයයි. එය, නීතියේ උදාර සීමාව සහ ප‍්‍රඥාවේ උත්කෘෂ්ට වපසරිය තුළ නතර කළ යුතුව තිබේ.

විශ්වමිත‍්‍ර 1984

(2016 පෙබරවාරි 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ ‘රෙයාගාඞ්’ තීරු ලිපියේ පළවූ Mayhem in Yellow Robes or True Patriotism? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

- Melani



2016-02-13
Advertisement

Find us on Facebook