English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව

ශ‍්‍රි ලංකාවේ නව නීතිපති එසේ නැතහොත් 29 වෙනි නීතිපතිවරයා ලෙසට ජේ්‍යශ්ඨ අතිරේක සොළිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවේ 11 දා දිවුරුම් දුන්නේය. ඔහුගේ මෙම නිල පත්වීම පිළිබඳව, ඔහුගේ ක‍්‍රියාකළාපය ගැන දන්නා නීතිඥවරු සතුට පළකරති.

නව නීතිපති ජයන්ත ජයසූරිය, 1982 දී නීතිඥවරයෙකු ලෙසට සමත් වී, 1983 වසර සිට වසර 33ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිර්දේශයක් වන, නව නීතිපති ජයන්ත ජයසූරිය මහතා, අදාළ රාජකාරිය "හරියට ඉටුකරන" ස්වාධිනව තීන්දු තීරණ ගන්නා පරිණත රාජ්‍ය නිළධාරියෙක් බවත් ඔහුගේ රාජකාරිය සම්බන්ධයෙන් ජනතාවට බලාපොරොත්තු තැබිය හැකි බවත්, එම පත්වීම සම්බන්ධයෙන් සතුට පළකර සිටින නීතිඥ මිගාර දෝස් අයිතිය වෙබ් අඩවියට පැවසීය.

එහෙත් වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ මිගාර පැවසුවේ එවැනි ස්වාධිනව සෘජුව වැඩකරන රාජ්‍ය නිළධාරියෙකුට සිය නිලයේ ක‍්‍රියාකාරිත්වය නිසි ලෙස ඉටුකරන්නට නම් නීතිපති දෙපාර්තමේන්තුවට පිටස්තරින් පැමිණෙන අනවශ්‍ය බලපෑම් සියල්ලක්ම ඉවත්විය යුතු බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව අයිතිය වෙබ්අඩවිය නැඟු ප‍්‍රශ්න කිහිපයකට නීතිවේදි මිගාර මෙසේ සිය අදහස් ප‍්‍රකාශ කළේයඃ


නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අපි වගේ රටක ජනතාවට වඩාත් සමිප මෙන්ම ජනතාවට වැඩියෙන්ම සේවයක් කරන්නාවු ආයාථනයක්. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ දුර්මත ද විශාල ප‍්‍රමාණයක් වර්තමානයේදි  සමාජ ගතවෙලා තිබෙනවා. එසේ වන්නත් හේතු තමයි අපේ රටේ පැවති රජයයන් හා වර්තමාන රජය වුවත් නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැසීම් හා දේ්ශපාලනීකරණ කරන්නට දරන්නාවු උත්සාහයන් නිසා. ඊට අමතරව, නීතිපති දෙපාර්තමේන්තුව ආයතනයක් ලෙසට ගත්තාම, ජනතාවට වැඩිම සේවාවක් කරන්නාවු රාජ්‍ය අයාතනයක් ලෙසට තමයි මම දකින්නේ. හැබැයී නීතිපති දෙපාර්තුවම මීට වඩා කාර්යක්‍ෂම කරනවානම් ,තිබෙන්නාවු දේශපාලණිකරනය මුදවනවානම් ඉන් ගන්නට හැකි සේවය තවත් වැඩිවර්ධනය වෙනවා.

ප‍්‍රායෝගකිව බැලූවහම නිතිපති දෙපාර්තමේන්තුව යටත් වෙන්නේ අධිකරණ අමාත්‍යංශයටයි. අධිකරණ ඇමතිවරයෙකුටයි. ඒ ඇමතිවරයා යටතේ ක‍්‍ර‍්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් විධියට ඇගිලිගැසීම්, වාරණ වගේ දේවල් නිරන්තරයෙන්ම ඉතිහාසය පුරාවටම එදා වගේම අදත් දකින්නට ලැබෙනවා. නමුත් එසේ නැතිව නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීන ආයාතනයක් විධියට, ස්වාධීන කොමිසමක් යටතේ ක‍්‍රියාත්මක වීමට අවකාශයක් ලබාදෙනවානම්, ඒ ස්වාධීනත්වය තහවුරු කරනවානම් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මීට වඩා ප‍්‍රයෝජන ලබාගන්න පුළුවන් වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව ගත්තම, අතීතයේ දී අපි දැක්ක මැල්ප‍්‍රක්ටිස් එකක්/අවකල්ක‍්‍රියාවක් තමයි පිටින් පුද්ගලයින්ව නීතිපති හැටියට පත්කිරීම. එසේත් නැතිනම් යම්කිසි රජයකට පක්‍ෂපාති පුද්ගලයින් නීතිපති හැටියට පත්කිරීම. ඒ ක‍්‍රියාවලිය නවත්වලා, ජේ්‍යශ්ඨත්වය මත නීතිපති දෙපාර්තමේන්තුවේ ම සිටින ඉහළ නිළධාරීන් මේ නීතිපති තනතුරට පත්කරනවා නම්  ඒක ඉතාම සාධනීය ලක්‍ෂණයක් වෙනවා.

තවත් කරුණක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින්ව කෙළින්ම ශ්‍රේෂ්ඨාධීකරණයට පත්කිරීමේ ක‍්‍රියාවලියකුත් දකින්නට ලැබුණා. නීතිඥවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ඒක එතරම් සාර්ථක ක‍්‍රියාවක් නෙවෙයි. මොකද රටේ අධිකරණ පද්ධතියක් තිබෙනවා නේ. එහි නිළධාරීන් ඉන්නවා නේ. විනිසුරුවරුන් ඉන්නවා නේ. සාමාන්‍යයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයකින් පත්වෙන විනිසුරුවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමට තිබෙන අවකාශය මේ විධියට නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින්ව කෙළින්ම ශ්‍රේෂ්ඨාධීකරණයට පත්කිරීමේ ක‍්‍රියාවලිය තුළ නැතිවෙනවා. මේ ක‍්‍රියාවලියත් නියමා ආකාරයෙන් සිදුකරනවා නම් , පත්කිරීමේ නිසි ක‍්‍රමවේදයක් භාවිතා කරනවානම් එය නීතිපති දෙපාර්තමේන්තුවට වගේම අධිකරණ පද්ධතියටත් සාධනීය වර්ධනයක් විධියට අපි දකිනවා.

නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ ජනතාවට ඉතාමත් කිට්ටු, වැඩියෙන් ම සෙතක් කාර්යයක් ඉටුකරන ආයාතනයක්. ඒකෙ නිර්දේශ පාලනය කරලා , ස්වාධීන කරලා, සුදුස්සන්ට සුදුසු තැන දීලා ඒ ආයතනය ප‍්‍රවර්ධනය කරනවානම් රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වු අවස්ථාවලදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් හැකිවන පරිදි විශාල සේවයක් කිරීමට හැකියාවක් ඇති ආයතනයක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව.

නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය යම්කිසි දේශපාලන අධිකාරියක් බැඳතබනවානම් රටේ ඇතිවන නොයෙකුත් තත්ත්ව වලදි, හදිසි අවශ්‍යතාවලදි නීතිපතිට සිය නිලයේ බලය පාවිච්චි කරමින් රිසි ආකාරයෙන් කටයුතු කරන්න නොහැකි වෙනවා. ඒ නිසා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නියම රාජකාරියක් ලබාගන්නට නම් නීතිපති තනතුරවත්, නීතිපති දෙපාර්තමේන්තුවවත් කිසිදු දේශපාලන හස්තයකින් හෝ වෙනත් බලයකින් පාලනය නොකළ යුතුයි.

සංවාදය සහ ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා




2016-02-13
Advertisement

Find us on Facebook