English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉඩම් අයිතිය සඳහා ජනතා සමුළුවක් !


දශක තුනක කුරිරු යුද්ධය පැවති කාලයේදි සහ ඉන් අනතුරුවත් ආරක්‍ෂක හේතුන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි පවසමින් පැවති ආණ්ඩුව, සිවිල් වැසියන්ගේ ගම් බිම් ඉඩම් සහ නිවාස ද උදුරා ගත්තේය. ආණ්ඩුවේ එම කොල්ලකෑම විසින් ජනතාව, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව අවතැන් ජනතාවක් බවට පත්කළෝය. ඔවුන්ගේ ග‍්‍රාමය, නිවාස, රැකියා කළ භූමිය, වගාකළ ඉඩම් අක්කර ගණනින් පැවති ආණ්ඩුවේ බලධාරීන් , රජයේ ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්, ඒ ආරක්‍ෂ අංශ විසින් එම ජනතා දේපොල ඔවුන් සතුකර ගැනීමේදි එහි සැබෑ අයිතිකරුවන්ට සිදුවු දැඩි චිත්ත කම්පනය, ආත්ම සෝදාපාළුව මෙතෙකැයි කියා කා හට කිව හැකිද ? 2009 මැයි මාසයේදි යුද්ධය නිම වී දැනට වසර හයක් ගෙවී ගොස් ඇතිමුත් යුද්ධයෙන් පීඩාවට පත්වු දමිළ මෙන්ම ඇතැම් සිංහල පුරවැසියන් ද වර්තමානයේදිත් අපේක්‍ෂිත විසදුම් නොමැතිව පීඩාවට පත්වී සිටිති.

එහෙත් ජනතාවගෙන් උදුරාගත් ඉඩම් නැවත ඔවුන්ට ලබාදීම ද, වතු ජනතාව සදහා ඉඩම් කැබැල්ලක අයිිතිය ලබාදීම ද, වර්තමාන රජයේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වු බව ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය (පාර්ල්) සඳහන් කරයි.


පවත්වන ලද ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වලදී ඉදිරිපත් කල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුල ද එම පොරොන්දු පිළිබඳව පැහැදිලිව ඇතුලත් වි තිබු බව ද ඔවුන් පවසයි.

"තවමත් බොහෝ ස්ථානවල ජනතාවට තමන්ගේ ඉඩම්වලට යාමට හිමිකම තවම ලැබී නැත. 2015 ජනවාරි 11 වන දින කැබිනට් තීන්දුවක් අනුව ලබා දීමට එකග වූ ඉඩම් පවා තවමත් ජනතාවට ලැබී නැත. විශේෂයෙන් පානම වැනි ස්ථානවල ජනතාව තවමත් අවතැන් ය." යනුවෙන් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජනතාවට ඉඩම් අයිතිය තහවුරු කෙරෙන නිසි ප‍්‍රතිපත්තියක් හා නීති රාමුවක් මත පිහිටුවා කටයුතු නොකලහොත් වර්තමාන රජය විසින් ඉදිරිපත් කොට ඇති මධ්‍යකාලීන ආර්ථික ප‍්‍රතිපත්ති තුල ද ගොවීන්, ධීවරයින්, වතුකම්කරුවන්, උතුරු නැගෙනහිර ජීවත්වන කුඩා පරිමාන නිෂ්පාදකයන් ඇතූලු ජනතාවගේ ඉඩම් අයිතිය තර්ජනයට ලක්වනු ඇතැයි පවසන ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය , මෙම තත්ත්වය රටටත්, බලධාරින්ටත් අවධාරණය කරවීම සඳහා එළඹෙන හෙට දිනයේදි එනම් පෙබරවාරි 11 වනදා, ඔවුන් විසින් කොළඹදී ජනතා සමුළුවක් කැඳවා ඇතැයි පවසයි.


කොල්ලූපිටිය වෙළෙඳ සේවක සංගම් ශාලාවේ දි (සීඑම්යු ශාලාවේදි) හෙට පෙරවරු 10.30 සිට 12.30 දක්වා පැවැත්වීමට නියමිත මෙම ජනතා සමුළුවේදි , ඉඩම් අර්බුදයෙන් තවමත් පීඩා විදින පානම, සාම්පූර්, වලිකාමම්, මුල්ලිකුලම් හා කල්පිටිය ඇතුළු විවිධ ප‍්‍රජාවන්ගේ ගැටලූව අදාල බලධාරීන්ගේ අවධානය පිණිස යොමු කිරීමත්, ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත ලබාදීමත් , ඉඩම් ප‍්‍රතිපත්තියක් සඳහා වන ජනතා යෝජනා ඉදිරිපත් කිරීමත් සිදුකෙරන බව පවසයි.

ඉන් අනතුරුව පස්වරු 2.00 සිට 4.00 දක්වා උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක්  සීඑම්යු ශාලාවේ සිට ගෝල්ෆේස් පිටිය දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි සඳහන් කරයි.

-මෙලනි



2016-02-10
Advertisement

Find us on Facebook