English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නායකයා සහ අනුගාමිකයා: මුළාවේ දේශපාලනය සහ දේශපාලනයේ මුළාව

මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ සීමාව නිසාත්, ස්වාර්ථවාදී දේශපාලනික න්‍යාය පත‍්‍රයකට කොටු වීම නිසාත්, දෙමළ ජනතාවගේ බිය සැක උත්සන්න කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ දරුණුතම සිවිල් යුද්ධයට මග එළිපෙහෙලි විය.

1956 දී ‘සිංහල පමණයි’ පනත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ, කොල්වින් ආර්. ද සිල්වා ඊට බලවත් විරෝධය ප‍්‍රකාශ කොට සිටියේ මෙලෙසිනි: ‘‘ඔබට අවශ්‍ය කරන්නේ භාෂා දෙකක් සහ එක ජාතියක්ද? නැත්නම් එක භාෂාවක් සහ ජාතීන් දෙකක්ද, කථානායකතුමනි? අපේ ජාතියේ නිදහසට වැටී ඇති මාර්ගය කෙරෙහි විශ්වාසය තබන අපි, එය සමන්විත වන සියලූ අංගවල එක්සත් භාවය අපේක්ෂා කරමු. එසේ නොවුණොත්, පුංචි රටක් ඇතුළේ, ලේ හලා ගන්නා තවත් පුංචි රටවල් දෙකක් බිහි විය හැකිය.’’ මොන තරම් ඉදිරිය දුටු ප‍්‍රකාශයක්ද?

එයින් වසර 16 ක් ගත විය. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් සේවය කරන අවස්ථාවේ 1972 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා ඔහුව පත්කෙරුණි. දැන් ඔහු සිටියේ විපක්ෂයේ නොව, ආණ්ඩුවේ ය. දේශපාලන තත්වයත් දැන් වෙනස්ව තිබුණි. එය නව අදියරක් විය. නව වටපිටාවක් විය. ඊට ගැළපෙන භූමිකාවක් ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු කෙළේ, ඉස්සර දැරූ ‘සමානාත්මතාවයේ හිටපු සෙන්පති’ කඩතුරාව ඉවත දමා, අලූත් තත්වයට ගැළපෙන නව රූපයක් ආරූඪ කර ගැනීමයි: ‘‘සිංහල-බෞද්ධ අන්තවාදයේ හොරණෑව’’

පසු කලෙක සිංහල බෞද්ධ ජාතිකවාදයේ නෛතික මූලාදර්ශය බවට පත්වන්නේ ඔහුගේ එකී යෝජනාවන් ය. බුද්ධාගම සිංහාරූඪ කැරැවුණු අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුණි. ජාතිවාදය, ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සංගෘහිත කෙරුණි. එඬෙරාගේ මුළාව සහ බැටළුවන්ගේ මුළාව ඔස්සේ මහ දවල් සමස්ත ජාතියක් මහා විනාශයකට දක්කන ලදි. මුළාව වෙනුවට ප‍්‍රඥාවෙන් වැඩ කෙළේ නම් එය අපට වළක්වාගත හැකිව තිබුණි.

රන් බිජු දමන කිකිළිය

අපේ දේශපාලඥයාට, ජාතිවාදී වර්ගවාදී සහ ආගම්වාදී භේදකාරීත්වය, රන් බිජු දමන කිකිළියකි. ඌ මැරීම ඔවුන්ට කළ නොහැක්කකි. ගැටුම්කාරී ප‍්‍රවාහය, ඔවුන්ට සිය දේශපාලන පැවැත්ම සඳහා අත්‍යන්තයෙන් අත්‍යාවශ්‍ය වන්නේය. මන්ද යත්, තමන්ව බලයට ගෙන එන මදන අශ්වයා පමණක් නොව, අවියත් ජනයා හැසිරවීම සඳහා අවශ්‍ය කරන රැහැනත් ඔවුන්ට අවශ්‍ය කරන බැවිනි.

බොදුබල සේනා, රාවණා බලය සහ සිංහ ලේ, ආරම්භයක්වත් අවසානයක්වත් නොවේ. ජාතිවාදය වැඩෙනු ඇත්තේ කෙමෙනි. ශක්තිමත් වනු ඇත්තේ කෙමෙනි. වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් සුදානමින් ස්වකීය ප‍්‍රතිමල්ලවයන්ට මුහුණදීමට ඔවුන් ලකලැහැස්ති වනු ඇත. ඒ සඳහා ඔවුන් පෝෂණය වන්නේ, සමාජය තුළ පවතින සාමූහික මුළාව සිය ප‍්‍රයෝජනයට ගනිමිනි. එබැවින් ජනතාව මුළාවේ සිටින තාක් කල් ඔවුන්ගේ වර්ධනය මැඩලීම පහසු නොවේ. බොදුබල සේනා සහ සිංහ ලේ වැනි සංවිධාන, විශේෂිත දේශපාලනික ව්‍යාපෘතියකින් පරිබාහිරව, ඕපපාතිකව බිහි නොවේ. ඇත්තෙන්ම ඔවුන්ට පැහැදිළි දේශපාලනික න්‍යාය පත‍්‍රයක් තිබේ. එම න්‍යාය පත‍්‍රය තුළ, මිනිසුන්ගේ සැබෑ ප‍්‍රශ්න වන, විරැකියාව සහ දරිද්‍රතාව වැනි කරුණුවලින් ජනතා අවධානය ඉවතට ගෙන, සංස්කෘතික ආක‍්‍රමණයක් වැනි ප‍්‍රබන්ධාත්මක හිතළුවලට, ජනතාවගේ නොදැනුම දඩමීමා කර ගනිමින් ආමන්ත‍්‍රණය කෙරේ. අනෙකා පිළිබඳ බියක් සැකක් ජනතා සිත්සතන් තුළ පැලපදියම් කරන්නේ එලෙසිනි.

සාමූහික මුළාව

අර්බුදයේ මූලය ඇත්තේ සාමූහික මුළාව තූළ ය. මූලික සතුරු ඒජන්තයා විරාජමානව සිටින තෙක් සහ දළු ලන තෙක් අපට සඵල විය නොහේ. මුළාව ඉවතලීමේ ප‍්‍රයත්නයකින් තොරව, ජාතිවාදී, වර්ගවාදී සහ ආගම්වාදී ප‍්‍රවණතා මැඩලීමට ගන්නා කිසි ප‍්‍රයත්නයක් සාර්ථක නොවේ. මන්ද යත්, හේතුව නිරන්තරයෙන් නිදහසේ පෝෂණය වන තෙක් ඵලය ලියලන බැවිනි.

මේ නිසා මුළාව දූරිභූත කොට, දැනුම වගා කිරීම අනිවාර්ය කෙරේ. අධ්‍යාපනයේ අවසාන එල්ලය විය යුත්තේ එයයි. සැබෑ අධ්‍යාපනයකින්, යහපත නැමැති නාමයට ගැළපෙන, ස්වාධීන, නිර්මාණාත්මක, අභියෝගාත්මක, විමර්ශනශීලී, ආදරණීය, සානුකම්පික, ඉවසිලිවන්ත, එඩිතර සහ අව්‍යාජ පුරවැසියන් බිහි කළ යුතුව තිබේ. එහෙත් අපේ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ සූදානම් කෙරෙන්නේ, තමන් පිළිබඳ පාලනය තමන් අතට ගත යුතු යැයි නොසිතන, කියන දෙයක් කරන, කියන දෙයක් පරිභෝජනය කරන, වෙලාවට වැඩ කරන, අධිකාරියට යටත් වන, ධූරාවලියට අනුගත වන, කීකරු, කාර්යශීලී සහ නිපුණ සේවක පරම්පරාවකි. සූරාකෑම සඳහා අත්‍යාවශ්‍ය කරන සිත්සතන් මේ අධ්‍යාපනය තුළ බෝ කෙරේ. ඒ මගින් බිහි කරන සිත්සතන් ඒකමානී ය. අර්බුදය ඉස්මත්තේම තිබෙන්නේ, විභාග මූලික කර ගත් සහ හුදෙක් ආර්ථික දිසානතියකට යොමු වූ අධ්‍යාපන ක‍්‍රමයකි. කොටින්ම කිවහොත්, එය, සැපපහසු දිවියක් අත්කර ගැනීමේ මෙවලමකි.

ක‍්‍රමය වෙනස් කිරීම

අර්බුදය බෝ කරන හේතුවට නොනවත්වා සප්පායම් කරන අතරේ, ක‍්‍රමය වෙනස් කිරීමක් ඇරඹිය නොහේ. එකිනෙකා සමග තරග වදින අධ්‍යාපන ක‍්‍රමයක් සහ පාසල් පද්ධතියක් පවත්වා ගනිමින්, සමාගම් සහ කර්මාන්තවලට සේවා සපයන පුහුණු ශ‍්‍රමයක් කෙරෙහි පමණක් එම අධ්‍යාපනය යොමුවන තාක්, අප අත්කර ගන්නා ඕනෑම වෙනසක් තාවකාලික වන්නේය. ව්‍යාජ වන්නේය. එය නැවතත්, මුල් අර්බුදයටම මග පාදන්නේය. මූලික වශයෙන් ගත් විට අපේ අධ්‍යාපනය, හුදෙක් ආර්ථිකවාදී වීම සියලූ ප‍්‍රශ්නවල මූලයයි.

අප කර තිබෙන්නේ අශ්වයාට කලින් කරත්තය ගැටගසා තිබීමයි. එසේ තිබියදීත්, කරත්තය ඉදිරියට නොයන්නේ මන්දැයි වටහා ගැනීමටත් අපි අපොහොසත්ව සිටිමු. ඉදිරියට යාමට නම් අශ්වයාව ඊට නියමිත ස්ථානයේ ගැටගැසිය යුතුය.

විදේශ හමුදාවක ආක‍්‍රමණයක් හා විනාශයක් අපට අවශ්‍ය නොකෙරේ. එය අප විසින්ම කර ගනු ඇත. සැබෑ යහපත් පාලකයන්ගේ පරම්පරාවක් අප බිහිකර ගන්නේ නැත්නම්, ජනතාවගේ නොදැනුම සහ දුර්වලත්වය මත යැපෙන අන්තවාදී කල්ලි විසින් එය පහසුවෙන්ම කර දෙනු ඇත. තමන්ගේ සිත්සතන් නිදහස් කරවන, තමන්ගේ ආත්මයන් පවිත‍්‍ර කරවන සහ තම සෞඛ්‍යය නගා සිටුවීමට පිටුවහලක් වන අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබිය යුතුය. ඔවුන්ට අශ්‍ය කරන්නේ සැබෑ නිදහස් අධ්‍යාපනයකි. යාන්ත‍්‍රික සහ දුෂ්කෘතික සිත් ඇති කරවන පාසල් පැක්ටේරි නොවේ.

ෆාර්විස් ඉමාමුදීන්

(2016 පෙබරවාරි 3 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ The Leader & The Led: Politics of Ignorance and Ignorance of Politics නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


- Melani



2016-02-07
Advertisement

Find us on Facebook