English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සැමදෙනාටම ඇහුම්කන් දීමට එක්සත් ජාතින්ගේ මහාකොමසාරිස් පොරොන්දු වෙයි

පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ දි ශ‍්‍රි ලංකා ආණ්ඩුව විසින් කරනු ලැබු ආරාධනාව පිළිගනිමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඞ් රාඞ් අල් හුසේන් අද එනම් පෙබරවාරි 06 වෙනිදා මෙරටට පැමිණියේය.

ශ‍්‍රි ලංකාව තුළ සිව් දින නිල සංචාරයක නිරතවන ඔහු, ශ‍්‍රි ලංකාවේ සියලූ ජන ප‍්‍රාජාවන්ට අයත් නියෝජිතයින් හමුවන බවත් ඔවුන්ට තමන් වෙත පැවසීමට ඇති කාරණා සියල්ලටම ඇහුම්කන් දෙන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මෙදින ප‍්‍රකාශ කළේය. 

මෙය තමන්ගේ පළමු ශ‍්‍රී ලංකා සංචාරය බවත් ශ‍්‍රි ලංකාවට පැමීණීමට ලැබීම ගැන තමන් සතුටුවන බවත් ප‍්‍රකාශ කළ කොමසාරිස්වරයා, "මම ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටියේ. රජයේ ඉහලම නිලධාරීන් සහ සියලුම ජනවර්ගවල නියෝජිතයන් මුණ ගැසීමට මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කීපය තුළ ඉතා සාධනීය සාකච්ඡාවල නිරත වීමට මම බලාපොරොත්තු වෙනවා. සංචාරය අවසානයේදී ජනමාධ්‍ය සමග පුළුල් සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.


මහ කොමසාරිස්වරයා හෙට එනම් ඉරිදා සහ සඳුදා දෙදින උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයේදි මානව හිමිකම් කඩවීම් වලට මුහුණදුන් පුද්ගලයින් මුණගැසීමට නියමිත බව සඳහන් වෙයි.

සිය සංචාරය අතරතුරදී හුසේන් කුමරු විසින් ජනාධිපති , අගමැති, විපක්‍ෂ නායක, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද සඳහන් වෙයි.

මේ අතර මහ කොමසාරිස්වරයාගේ ශ‍්‍රී ලංකා ගමනට විරෝධතාවය දක්වමින් ජාතිවාදි, බෙදුම්වාදි අදහස් ප‍්‍රතිපත්ති දරන ඇතැම් දේශපාලන පක්‍ෂ සහ විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී  උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද රඟ දැක්වීය.


-    මෙලනි




2016-02-06
Advertisement

Find us on Facebook