English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"ශ‍්‍රි ලංකා තාහේ" සංහිදියාවට නැවුම් බවක් - අන්තවාදීන්ට මරු පහරක්

පසුගිය කාලය පුරාවට ම ගොඩනැගෙමින් ආ විවිධ ආකාරයේ මත මතින්තාර බලපෑම් විරෝධතා සියල්ලක්ම බිඳහෙළමින්, ඊයේ එනම් පෙබරවාරි 04 වෙනිදා ශ‍්‍රි ලංකාවේ 68 වෙනි ජාතික නිදහස් සැමරුම් දිනයේ දී සිංහල දමිළ සංහිඳියාවට බාහිර වශයෙන් අරුතක් එක්කරමින් රාජ්‍ය උළෙල අවසන් කළේ දෙමළ බසින් රටේ ජාතික ගීය ගායනා කරමිනි. රටේ නායකත්වයන් විසින් එවැනි හොඳ පියවරක් ගනිමින් ඉදිරිය සඳහා හොඳ ආදර්ශයක් ද ලබාදෙමින් ගත් ඒ උත්සාහය සාමය හා සංහිදියාවේ අගය දන්නා, එය කාලීන අවශ්‍යතාවයක්ව පවතින බව දන්නා කවුරුත් අගය කළහ. එහෙත් ජාතිවාදි ආගම්වාදි දේශයේ විවිධ පාලන උමතුවලින් පෙලෙන රෝගීන් පිරිස් විසින් එම සංහිිදියාවේ උතුම් පියවර නිර්දය ලෙස විවේචනය කළෝය. ඒ අතර හිටපු ජනාධිපතිවරයා විසින් ද ඒ සංහිදියාව අවතක්සේරුවට ලක්කිරීම ඉතාම හාසය්‍ය ජනකය. ඔහුගේ දේශපාලන පරිණත භාවය ඉන් මනාව කියා පෑවේය.

1948 දි ශ‍්‍රි ලංකාව නිදහස ලබාගැනීමේ ප‍්‍රථම සංවත්සරය, 1949 පෙබරවාරි 04 වෙනිදා කොළඹ ටොරිංටන් චතුරශ‍්‍රයේදි මේ ආකාරයෙන් ම ශ‍්‍රී ලංකා ජාතික සිංහල හා දමිළ භාෂාවලින් ගායන කළ බව ඉතිහාසය සටහන් කර ඇත. ඒ බවට ලිඛිත සාක්‍ෂි තිබී ඇති අතර පහත දැක්වෙන්නේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළකර තිබුණු එක් සාක්‍ෂි සටහනකි. එය පළමු නිදහස් සංවත්සරය වෙනුවෙන් ශ‍්‍රි ලංකා රජයෙන් නිකුත් කරනු ලැබු ආරාධනා පත‍්‍රයක් වු අතර භාෂා තුනෙන්ම එය මුද්‍රණය කර තිබෙනු දක්නට හැකිය.

සුපුරුදු වාදනයට වෙනසක් එක්කරමින් "ශ‍්‍රි ලංකා තාහේ" යනුවෙන් ඇසුණු ඒ අවස්ථාව ඉතාමත් ම හැගුම්බර විය. මෙතෙක් කල් සිංහල බසින් ජාතික ගීය ගායනා කරන විට රාජ්‍ය උත්සව වලදීත් අනෙකුත් උත්සව වලදීත් ඊට සහභාගි වු දමිළ නායකයින් ද දමිළ ජනතාව ද නිශ්ශබ්දව සිටියහ. ඒ තමන්ට එය උච්චාරණය කරන්නට නොහැකි නිසාය. එහෙත් මෙදින උත්වයේදි දමිළ බසින් ජාතික ගීය ගායනා කරන විට සියලූම දමිළ දේශපාලනඥයින් ඇතුළු සියලූ දෙනා ජාතික ගීය ගායනා කරනු දැකිය හැකි විය.

ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම ශ‍්‍රවණය කිරීමට මෙතනින් පිවිසෙන්න -

http://sinhala.asianmirror.lk/si-portal/item/19003-tamil-national-anthem#v

 
1949 නිදහස් උත්සව සැමරුමෙන් පසුව මෙවර පවත්වනු ලැබු නිදහස් උත්සවයේ දි  ජාතික ගීය දමිළ බසින් ගායනා කරනු ලැබුව ද, මීට පෙර කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ප‍්‍රසිද්ධියේ විවෘත වේදිකාවේ දමිළ බසින් ජාතික ගීය ගායනා කරනු ලැබුවේ මහින්ද රෙජීමය අතුගා දමන්නට මරණීය තර්ජන ඝර්ජන වලට පවා මුහුණ දෙමින් රට වටේ ගොස් ජනතාව පෙළගැස්වීමේ කාර්යයේ නියැලූණු සිවිල් සංවිධාන කිහිපයක එකතුවක් වු "වියරුවට එරෙහිව-විදියේ විරෝධය" කණ්ඩායමටය. ඒ 2015 අප‍්‍රියෙල් මාසේ් 06 වෙනිදා පස්වරුවේදීය. නව ආණ්ඩුවට එරෙහිව ජාතිවාදීන් කඩු අමෝරා සිටි එම අවස්ථාවේදි දිණු ජය සුරකිමු යන තේමාව ඔස්සේ පැවති මහජන හමුවක් අවසානයේදි ජාතික ගීය මෙසේ දමිළ බසින් ගයන ලදී.

ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාට අරුත් සුන් වැඩකි. මාධ්‍යවේදිකේ ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන ඔහු කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එසේ ගායනා කළ යුතුයැයි සඳහන් වන්නේ නැති බවයි. "කොහෙද තියෙන්නේ ? මම නම් දැකලා නැහැ." යනුවෙන් පිළිතුරු දෙන්නේ "ඉන්දියාවේ කොච්චර ඉන්නවාද දෙමළ ජනතාව? ඉන්දියාවේත් ගායනා කරන්නේ නැහැ. මුලින්ම තමිල් නාඩුවේ ගායනා කරන්නට ඉඩ සැලැස්සිය යුතු බව සඳහන් කළ ඔහු ඉදිරියේ දි ජාතික ගීය ඉංග‍්‍රිසියෙනුත් ආරාබි භාෂාවෙනුත් ගායනා කරන්නට ඉල්ලයි" කියා සඳහන් කළේය. මෙවැනි තුට්ටු දෙකේ කිසිම වැදගත්කමක් නැති අදහස්වලින් ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ යුද්ධයෙන් පසුව ඔහු විසින්ම ඉදිරිපත් කළ එල් එල් ආර් සී වාර්තාවේ නිර්දේශ පිළිබඳවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් මෙපමණ කාලයක් ( ඉදිරියටත් මෙසේම යි) කිසිදු අවබෝධයකින් තොරව ජීවත් වී ඇති බවයි. මේ පිළිබඳව ඔහු විසින් ඉදිරිපත් කළ අදහස්, ඔහු කොතෙක් පරිනත දේශපාලනඥයෙක් ද නැද්ද යන වගත් බලයට ඇති අධික තණ්හාව මිස සැබෑ සාමයක් සංහිදියාවක් ඔහුගේ දේශය පාලනය කරන්නට ඇති සිතේ කොනකවත් නැති ආකාරය මනාව කියා පාන්නේය.  

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොම්මඞ් මුසාම්මිල් කියා සිටියේ මෙහි කිසිම සංහිදියාවක් නොමැති බවත් යහපාලනයෙන් කොටියට අපමණ අගයක් ලැබී ඇති බවත් ජාතික ගීය දුන්නා සේ ජාතික කොඩියත් දෙනු ඇතැයි යන මුග්ධ අදහසයි.

එහෙත් බොහෝ දෙනෙකුගේ අදහස නම් එනම් සාමයට, ජාතීන් අතර සංහිදියාවට එකමුතුවට රිසි ඒ අවශ්‍යතාවය තුළ රට සංවර්ධනය වීම අවශ්‍ය කරන පිරිස්වලට මෙම අවස්ථාව ඉතාම උතුම් අවස්ථාවක් බවයි. වැදගත් පියවරක් බවයි.

ජාතික සංවාද අමාත්‍ය මනෝ ගණේෂන් අමාත්‍යවරයාට අනුව ”මෙය ඉතාම සුළු උත්සාහයක් වුවත් එය දිගුකාලින ගමනක් සඳහායි. එය අපගේ දිගුකල් සහජීවන ගමනේ ජයග‍්‍රහණයක්.”   

කෙසේවෙතත්, දමිළ ජාතිකයින් තවමත් පෙලී සිටින පීඩාවන් එනම්, විසදා නිම නැති ඉඩම් ගැටළු, අතුරුදහන්වුවන්ගේ ප‍්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, යුධ වැන්දඹුවන්ගේ ප‍්‍රශ්නය නැමැති ප‍්‍රශ්න ගණනාවක් වර්තමාන රජයට විසඳීමට පෙළගැසී තිබෙන අතර ජාතික ගීය ගායනා කිරීමෙන් පමණක් සංහිදීයාව යැයි සෑහිමකට පත්වී සතුටට පත්වන්නට නොහැකි බව බලධාරීන් සියලූමදෙනා අවබෝධ කරගත යුතුය. ඒ සඳහා පියවර ද ගත යුතුය.

-    මෙලනි




2016-02-06
Advertisement

Find us on Facebook