English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අප සිටින්නේ රජවරුන් රජකම් කරන යුගයක නොවේ - ජනපති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව මගින් ඉදිරිපත් ව ඇති යෝජනාවලියට ශ්‍රීලංකාව මුහුණ දෙන්නේ රටේ, ජනතාවගේ හා ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා බවත් මේ සියල්ල ඉටු කිරිමේදී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, භෞමික අඛණ්ඩතාව රැක ගනිමින් එයට මුහුණ දෙන බවටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජාතිය හමුවේ ප්‍රතිඥා දෙයි.

ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගාලු මුවදොර දී මේ බැව් සපථ කළේ ය.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් අප වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන්, බලය පිළිබඳ ක්ෂණික බලාපොරොත්තු තිබෙන අය මේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමේදී රජය අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත් පිළිබඳ ජනතාව නොමඟ යවන බොහෝ අර්ථකථන සපයනවා. මා ඉතා පැහැදිලිව කියනවා ඒ යෝජනාවලට මුහුණ දීලා ඉතාම ඉවසීමෙන්, සංයමයෙන්, හික්මීමෙන් අපි ඒ සඳහා කි‍්‍රයා කරනවා කියන එක’

මේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමෙන් ශ්‍රීලංකාවේ තහවුරු වන්නේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව බව ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අද දවසේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප‍්‍රශ්නවලදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ, සමාජ, ආර්ථික ප‍්‍රතිසංස්කරණ යන කරුණුවලට මූලිකත්වය දී කටයුතු කිරීම අතවශ්‍ය කරුණක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පශ්චාත් යුද සමයක ඉටු කළ යුතු කාර්යයන් ඉටු නොකිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ඒවා කි‍්‍රයාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා මාලාවක් ඉදිරිපත් වීමට හේතුව වූ බවයි ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේ.

පශ්චාත් යුද සමයක ඉටු කළ යුතු කාර්යයන් අප ඉටු කර තිබුණානම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් වූ යෝජනා එවන් ආකාරයෙන් ඉදිරිපත් නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

2009 මැයි 19, 20 දිනවලින් පසු පශ්චාත් යුද සමයක කළයුතු කාර්යයන් අප ඉටු කර තිබුණානම් විශේෂයෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට ඉදිරිපත් වූ යෝජනා එවන් ආකාරයෙන් ඉදිරිපත් නොවනු ඇතැයි මා විශ්වාස කරනවා.‘

2009 මැයි 19,20 න් පසු කාලය තුළ කළ යුතු කාර්යයන් වන ජාතීන් අතර සමගිය, සංහිඳියාව ගොඩනැඟීමේ කටයුත්ත මේ රටේ ජනතාව 2015 ජනවාරි 09 වනදායින් පසුව තමා ඇතුළු ආණ්ඩුවට භාර දුන් බවත් ඒ ප‍්‍රශ්න තමන් විසින් විසඳීම අත්‍යාවශ්‍යය යන මතය සෑම කෙනකු ම අවිවාදයෙන් පිළිගන්නා බව තමන් තරයේ විශ්වාස කරන බවත් ජනාධිපති සිරිසේන කියා සිටියේ ය.

“2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ තිබූ කරුණු කි‍්‍රයාත්මක කිරීම සඳහා වගේම, 1948 යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු අපට ඔවුන් භාරදී ගිය ප‍්‍රශ්න විසඳීම සඳහා අපට වසර 68 කට පසුවත් ඉතිරි වී ඇති බව සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යයි. අපට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් සිය රටවල ජාතීන්ගේ සමඟිය සංහිඳියාව ශක්තිමත් කරමින් දේශපාලන සහ සමාජ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ නිසා ඔවුන් අද ප‍්‍රබල ජාතීන් ලෙස දියුණුවෙමින් ඉදිරියට ගොස් තිබෙනවා. ඒ නිසා අපත් ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අපේ වගකීම් විශේෂයෙන් ඉටු කළ යුතුයි.‘

1948 දී ලබා ගත් නිදහස අර්ථකථනය කළ හොත් හා එය නිර්වචනය කළ හොත් 48 දී අපේ රටේ ජනතාව බලාපොරොත්තු වූ නිදහසත්, 68 වසරකට පසුව අද අප බලාපොරොත්තු වන නිදහසත් යන දෙක අතරේ පුළුල් වෙනස්කම් තිබෙන බව තමා විශ්වාස කරන්නේ යැයි ජනපතිවරයා කියා සිටියේ ය. 50 දශකයේ ඉපදුණු සංස්කෘතික දරුවාත් 21 වන සියවසේ මුල් භාගය තුළ උපදින තාක්ෂණික දරුවාත් එක් කරමින් රට ජාතිය ගොඩනැඟීමේ කාර්යයට අප සාමුහික ප‍්‍රයත්නයක් දැරිය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.



“විදේශීය ආක‍්‍රමණිකයන්ට අපේ රට යටත් ව පැවැති වසර හාරසියයකට අධික කාලයක දී අපේ බොහෝ දේ විනාශ වුණා. 1505 සිට සටන් කළ අපේ වීරවරයන් සිය සුසුම, දහදිය, කඳුළ ලේ පරිත්‍යාග කරමින් අවුරුදු ගණනක සටනකින් පසුව 1948 නිදහස ලබා ගත්තා. ආගම්, ජාති, කුලවාදයෙන් තොරව සියලු දෙනා එක්ව එකට කළ සටනින් ලැබූ ජයග‍්‍රහණයෙන් පසු අපේ රට ගොඩනැඟීමේ කාර්යයේදී අද වන විට වසර 68 ක් ගෙවී ගොස් හමාරයි. එවන් අවස්ථාවක අපේ රට ආක‍්‍රමණය කළ පිරිස් අපට භාරදී ගිය ප‍්‍රශ්න අප විසඳුවාද යන කාරණය අප සෑම කෙනකුම අපේ හෘදය සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා”

බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම භෞතික සම්පත් සංවර්ධනය හා ආර්ථිකය ගොඩනැඟීම සඳහා බොහෝවිට ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කළ බව පවසා සිටි ජනාධිපතිවරයා, ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව, සහෝදරත්වය, මිත‍්‍රශීලිභාවය ඇති කිරීම සඳහා කළ යුතු කාර්යයන් ඉටු කළා නම් 80 දශකයේ මුල් භාගයේ ආරම්භ වී 26 වසරක් ගෙවුණු ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී යුද්ධයට අපට මුහුණදීමට සිදුනොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.

“රටක සංවර්ධනය තුළ ආර්ථික සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය ඉතා ප‍්‍රමුඛ කාර්යයක් මෙන්ම රට තුළ ජීවත්වන ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ, ආගමික ලක්ෂණ, භාෂාමය ලක්ෂණයන් සියල්ල පාලකයන් විසින් තේරුම් ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් බව මා දැඩි ලෙස විශ්වාස කරනවා”



අද අප ජීවත්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වූ යුගයක බවත් අද අප සිටින්නේ රජවරුන් රජකම් කරන පාලනයක නොවන බවත් ජනපතිවරයා සිහිපත් කර සිටියේ ය. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ කාර්යය සැම විටම රජයත්, ජනතාවත් විසින් ඉටු කරනවා මෙන් ම රටක ති‍්‍රවිධ හමුදාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සැමවිටම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ කැප වී සිටින බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසර තුළ නව රජයට මේ රටේ ජනතාව ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නට සහ නිදහස ආරක්ෂා කරන්නට හැකිවීම මේ රටේ පොදු මහජනතාව මේ යුගය තුළ ලබා ගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බව ජනපතිවරයා කියා සිටියේ ය.

මේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ලබාදී ඇති සියලු අයිතීන් භුක්ති විඳීමේදී බුද්ධිමත්ව, ප‍්‍රඥාවන්තව, ඉවසීමෙන් සහ තම ඥානයෙන් ඒ කාර්යයන් සඳහා කැපවන ලෙස විශේෂයෙන්ම දේශපාලන ප‍්‍රතිවාදීන් ගෙන් ඉල්ලා සිටින්නට තමා කැමති යැයි ජනාධිපති සිරිසේන කියා සිටියේ ය.

හැට අටවන ජාතික නිදහස් උළෙල ගාලු මුවදොර පිටියේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් දේශපාලන හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.



‘එකම දැයක් මහ බලයක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උළෙල පැවැත්විණි.

ජාතීන් අතර එකමුතුව ශක්තිමත් කිරීමේ අරමුණෙන් දශක ගණනාවකට පසු ශ්‍රී ලංකා නිදහස් උත්සවයක දී කොළඹ පාසල් දහයක සිසුහු ජාතික ගීය දෙමළෙන් අද ගායනා කළහ.

නිදහස් උත්සවය ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීමෙන් ආරම්භවූ අතර උත්සවය අවසන් වුයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙනි.


උපුටා ගැනීම -  බීබීසි සංදේශය

- Melani





2016-02-04
Advertisement

Find us on Facebook