English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබවින් ම උත්තරීතර විය යුතු ය ii

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය යි. එහෙත්, ශ‍්‍රී ලංකාවේ (ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කළ අය, මෙම මූලික වූත් බොහෝ දෙනෙකු විසින් පැහැදිලිව ම පළමු වැන්න ලෙස සැලකෙන්නා වූත් මූලධර්මය ප‍්‍රතික්ෂේප කර ඇත. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, ව්‍යවස්ථාවේ උත්තරීතර භාවයට හානිකර වූ ද, පමණක් නොව ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්ට අසමාන්තර වූ ද, විධිවිධාන 3ක් අඩංගු වේ. එනම්, එම ව්‍යවස්ථාවේ 16, 80(3) සහ 84 වගන්ති ය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වගන්තිය, මූලික වශයෙන් ගත් කල ප‍්‍රකාශ කරන්නේ, දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2 වගන්තියෙන් ප‍්‍රකාශ වන දෙයෙහි ප‍්‍රතිවිරුද්ධය යි. උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි වුව ද පවත්නා සියලූ ලිඛිත හා අලිඛිත නීති වලංගු බව එය ප‍්‍රකාශ කර සිටී.

80(3) වගන්තිය, ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලැබ ඇති නීතිවල ඇතුළත් විධිවිධානවලට, ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථානුකූල නොවන නීතියක් පනවා ඇත යන පදනම මත අභියෝග කිරීමෙන් මහජනතාව වළක්වයි. මෙසේ අභියෝග කිරීම, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, දකුණු අප‍්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සියලූ ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් තුළ ජනතාව සතු අයිතියකි. එමෙන් ම, තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ දී සහ තම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය තහවුරු කිරීමේ දී, ජනතාව උදෙසා පවත්නා ඉතා වැදගත් සුරැකිතාවකි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති මෙම අයිතිය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළවුන් විසින් අහෝසි කරන ලද අතර, වර්තමාන ව්‍යවස්ථාව යටතේ ද එම අහෝසිය අඛණ්ඩව පැවතී ගෙන යයි.

ඔබ විශ්වාස කළ හැකි ය, නොකළ හැකි ය; ඒ කෙසේ වෙතත්, 84 වගන්තිය, ව්‍යවස්ථානුකූල නොවන නීති හඳුන්වා දිය හැකි ආකාරය ගැන පාර්ලිමේන්තුවට උපදෙස් දෙයි!

ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදකයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය පිළිබඳ මූලධර්මයට බැඳී (නැති) බව ප‍්‍රදර්ශනය කිරීමේ දී මෙම විධිවිධාන 3 උපකාර වේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ජාත්‍යන්තර යහපරිචයන්ට හා මූලික මූලධර්මවලට අනුකූල වීමට සහ යහපාලනය හා වගවීම ප‍්‍රවර්ධනය කිරීමට නම්, මෙම විධිවිධාන 3 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංග බවට පත් නො විය යුතු වේ.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ, ඉහත ඉස්මතු කර දක්වා ඇති කාරණාවල වැදගත්කම ගැන යම් උනන්දුවක් දක්වා ඇත් නම්, ඒ සුළු වශයෙන් වීම පුදුමයට කරුණක් නොවේ. එම කාරණා, දේශපාලනඥයන්ට හානිකර වන අයුරින් ජනතා බලය ශක්තිමත් කරන අතර, ආණ්ඩු බලය පාවිච්චි කළ යුතු ආකාරය කෙරෙහි බලපාන පරිදි ව්‍යවස්ථානුකූලව බලය ලැබෙන සීමාවන් පනවයි. 2015 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කළ ආකාරය, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ජනතාව අඛණ්ඩව නියැලී ගැනීමේ වැදගත්කම අපට මතක් කර දෙයි. 19 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය, 17 වන සංශෝධනය යටතේ නිර්මාණය වූ සංයුතියටත් වඩා නරක ය; දේශපාලනික චේතනාවන්ගෙන් මෙහෙයවී, ජනතාවගෙන් කිසිදු අදහස් විමසීමක් නො කර, ද්විත්ව පුරවැසි භාවය වැනි විවිධ වගන්ති ඇතුළත් කරන ලදි. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය යන දෙපාර්ශ්වයේ ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, තමන් ව්‍යවස්ථා සම්පාදනයේ ප‍්‍රමුඛතම මූලධර්ම උල්ලංඝනය කරන්නේ ය යන ලජ්ජාවක හෝ වරදකාරිත්වයක කිසි හැඟීමකින් තොරව, හොර රහසේ ”කූට දේශපාලන ගනුදෙනු” ක‍්‍රියාවලියක නියැලී ගත්හ. තුන් වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියේ දී, එම පාර්ලිමේන්තුවට ම නායකත්ව කර්තව්‍යය භාර දිය හැකි ද?


වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැටලූ පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

1. විධායකය

දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලද අත්දැකීමෙන් උගත හැකි වැදගත් පාඩමක් ඇත. එනම්, පුද්ගලයෙකු සමස්ත රට විසින් ම තෝරා පත් කෙරුණු විට, තමන්ගේ වැදගත්කම, නීත්‍යනුකූල භාවය හා අධිකාරය ගැන පමණට වැඩි හැඟීමක් ඇති කර ගැනීමට නැඹුරු වේ. 1970 ගණන් මුල දී සාකච්ඡාවට ලක් කෙරුණු අවස්ථාවේ ජනාධිපතිත්වය පිළිබඳ අදහසට විරුද්ධ වූ ඩඞ්ලි සේනානායක, මෙම තත්ත්වය පෙරදුටුවේ ය:

”ජනාධිපති ක‍්‍රමය එක්සත් ජනපදය තුළ දී සාර්ථක වී තිබෙනවා. එහි දී එය සුවිශේෂ ඓතිහාසික තත්ත්වයක ප‍්‍රතිඵලයක් වුණා. එම හේතු නිසා ම ප‍්‍රංශය තුළ දීත් එය සාර්ථක වෙනවා. ඒත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් එය විනාශකාරී වේවි. එය සීසර්වාදී සම්ප‍්‍රදායක් බිහි කරාවි. එය නායකයෙකු අත බලය ඒකරාශි කොට, පාර්ලිමේන්තුව හා දේශපාලන පක්ෂ ව්‍යූහය දුර්වල කරාවි.”

පෙරදුටු පරිදි ම, විධායක ජනාධිපතිත්වය, එය හඳුන්වා දුන් තැන් සිට ම, ඒකාධිපතිවාදය පෝෂණය කර ඇත, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව හා අධිකරණය වැනි අනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට හානි කර ඇත, 1982 දී පෙනී ගිය පරිදි, ජනමත විචාරණය නමැති උපක‍්‍රමය හරහා මැතිවරණවලට හා බහුපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පවා හානි කර ඇත. බලයේ කේන්ද්‍රය, කොතරම් අඩුලූහුඬුකම් පැවතියත් යටත් පිරිසෙයින් සංසන්දනාත්මකව වත් විවෘත භාවය හා විනිවිද භාවය තිබූ පාර්ලිමේන්තුවේ සිට, තෝරා පත් නොකරන ලද හා බලසම්පන්න ජනාධිපති උපදේශකවරුන් හා නිලධාරීන් සහිත සංවෘත ජනාධිපති ලේකම් කාර්යාලයකට මාරු විය. (විශේෂයෙන් ම පේ‍්‍රමදාස ජනාධිපති තනතුර දැරූ කාලයේ දී) බොහෝ විට කැබිනට් අමාත්‍යවරුන්ට වඩා බලසම්පන්න වූ ජනාධිපති උපදේශකවරු, ජනතාවට වග වීමට බැඳී නොසිටියහ.

ජාතික මට්ටමින් තෝරා පත් කර ගැනෙන ”පමණට වඩා බලසම්පන්න” ජනාධිපතිවරයෙක් සන්ධාන ආණ්ඩුව හා බලය බෙදා හැරීම ද දුර්වල කරයි. චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ එකට බලයේ සිටි කෙටි කාලය තුළ මේ තත්ත්වය දක්නට ලැබිණ. ජේ.ආර්. ජයවර්ධන හා ඔහු අගය කරන්නෝ, ස්ථාවරත්වය ප‍්‍රවර්ධනය කරන්නේ යැයි පවසමින් බොහෝ විට ජනාධිපති ක‍්‍රමයට සහාය දුන්හ. ශ‍්‍රී ලංකාව තුළ දී, ස්ථාවරත්වය යන්නෙහි අදහස විය හැක්කේ, බලය තනි පුද්ගලයෙකු අත ඒකරාශි කිරීම නො ව, විවිධ මතවාද දරන හා විවිධ ජනවර්ගවලට අයත් දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත වූ ආණ්ඩුවකි. ස්ථාවරත්වය හා ඒකාධිපතිත්වය ගැන කෙරෙන පමණට වඩා සරල නිර්වචන දෙකක් අතර ඇත්තේ තුනී රේඛාවකි. එම නිසා, 1982 පටන් දැක තිබෙන පරිදි ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතික වාතාවරණය තුළ දී, ස්ථාවරත්වයේ අර්ථය ගැන මීට වඩා සියුම් අවබෝධයක් ඇති කර ගත යුතු වේ.

ආණ්ඩුව තුළ සිටින සමහර කොටස්, පාර්ලිමේන්තුව තුළ අසුන් ගන්නා ජාතික මට්ටමින් තෝරා පත් කරන ලද අගමැතිවරයෙකු පිළිබඳ අදහස ප‍්‍රවර්ධනය කරන්නේ ය යන්න, සැලකිල්ලට ලක්ව තිබෙන කරුණකි. පාර්ලිමේන්තුව තුළ දී දෙන විශ්වාසය පළ කිරීමේ ඡන්දයක දී අගමැතිවරයා පරාජය කළ හැකි නමුත්, එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද හේතු වේ. තනි පුද්ගලයෙකු අත නො පිළිගත හැකි තරමේ බලයක් ඒකරාශි කිරීමෙන් ඇති වන මූලික දෝෂ බැහැර නොකරන්නා වූ මෙම දුබල අදහස, 1990 ගණන් මැද ඊස්රායලය තුළ අත්හදා බලා අසාර්ථක වූයෙන් පසුව අත් හැර දමන ලදි.

2. මැතිවරණ ක‍්‍රමය

ශ‍්‍රී ලංකාව ජර්මනිය, ස්කොට්ලන්තය හා නවසීලන්තය තුළ භාවිත වන ක‍්‍රමයට සමාන වූ සැබවින් ම මිශ‍්‍ර ක‍්‍රමයක් (MMP) තෝරා ගත යුතු බවට 1994 මැතිවරණයේ දී ඒකමතිකත්වයක් පැවතිණ. එවැනි ක‍්‍රමයක්, සරල බහුත්ව ක‍්‍රමයේ (”පළවෙනියා ජය ගැනීම”) හොඳ ම අංග සහ සමානුපාතික නියෝජනයේ ඉතා වැදගත් මූලධර්මය එකට එක් කරයි. එනම්, පාර්ලිමේන්තුව තුළ කෙරෙන නියෝජනය තීරණය විය යුත්තේ, පක්ෂවලට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය හා පාර්ලිමේන්තුව තුළ වෙන් කෙරෙන ආසන ප‍්‍රමාණය අතර නුසුදුසු ගැළපීමක් ඇති කරන ”සියල්ල ම ජයග‍්‍රාහකයාට” යන මූලධර්මය මත නො ව, පක්ෂවලට ලැබෙන ඡන්ද ප‍්‍රමාණයට සමානුපාතිකව බව යි.

මිශ‍්‍ර ක‍්‍රමය ජනතාවට වටහා ගැනීමට ද පහසු ය, පරිපාලනය කිරීමට ද පහසු ය; සියල්ලන් ඇතුළත් කර ගන්නා බව සහ කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා යන්ත‍්‍රණයන් ඇතුළත් කිරීමට ද ඊට හැකියාව ඇත; පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තම පක්ෂ නායකත්වයෙන් යම් තරමකට ස්වාධීන බව සහතික කරන අතර ම, පැති මාරු කිරීම වැළකෙන අයුරින් එය සැලසුම් කළ හැකි ය.

යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ සියලූ පැතිකඩවල දී දෝෂ සහගත වූ අතර, සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු ය. එය නීතිඥයන්ට පවා අවබෝධ කර ගත නොහැකි විය. එය සැලසුම් කරන ලද්දේ වඩා විශාල දේශපාලන පක්ෂවලට අනුග‍්‍රහ දැක්වීමට බැවින් සහ සරල බහුත්ව ක‍්‍රමයට අනුග‍්‍රහ දක්වා සමානුපාතික නියෝජනයට හානි කළ බැවින්, ඒ දෙක අතර නිසි මිශ‍්‍රණයක් සම්පාදනය කිරීමට එය අසමත් විය.

3. අයිතිවාසිකම් පණත

ශ‍්‍රී ලංකාවේ අයිතිවාසිකම් පණත ජාත්‍යන්තර මිනුම් දඬු හා ප‍්‍රමිතීන් නො සපුරයි. මූලික දෝෂ පවතින්නේ එකින් එකට සඳහන් කෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙනි, දේශපාලන ශාඛාවලට එවැනි අයිතිවාසිකම් සීමා කිරීම ඉතා පහසු කරන පාලනකාරී/සීමාකාරී වගන්තිය සම්බන්ධයෙනි, අයිතිවාසිකම්වල විෂය පථය හා අයිතිවාසිකම් බලාත්මක කිරීම සම්බන්ධයෙනි.

a) අයිතිවාසිකම් හා ඒවායේ විෂය පථය, යටත් පිරිසෙයින් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට වත් අනුකූල විය යුතු ය.

b) පාලනය කිරීමේ හෝ සීමා කිරීමේ වගන්තිය (15 වගන්තිය) කෙටුම්පත් කෙරෙන්නේ, වාස්තවිකත්වය හා සමානුපාතිකත්වය පිළිබඳ කිසිදු නිර්ණායකයකින් තොරව සීමාවන් පැනවීමට, විධායකයට හා ව්‍යවස්ථාදායකයට හැකියාව ලැබෙන ආකාරයෙනි. 1990 ගණන් මුල ජනාධිපති පේ‍්‍රමදාස විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේ සාකච්ඡා අතරතුර දී ද ඇතුළුව වසර ගණනාවක් තිස්සේ ම, මෙම දුබලතාව ඉස්මතු කර දක්වනු ලැබ ඇත.

c) පළමු හා දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙක තුළ ම, අයිතිවාසිකම් පණතට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන නීති පවා වලංගු කළ විධිවිධාන අඩංගු විය – වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වගන්තිය මීට උදාහරණයකි. ව්‍යවස්ථානුකූල ආණ්ඩුව පිළිබඳ ප‍්‍රමුඛතම මූලධර්මවලට අනුකූල නොවන මෙම අයථා ලක්ෂණය ඉවත් කළ යුතු ය.

d) විධායක හා පරිපාලන ක‍්‍රියාවන් විසින් කෙරෙන උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු යැයි නියම කරන විධිවිධානය (126 වගන්තිය), යුක්තිය හා නීතියේ පාලනය වෙත පැවතිය යුතු ප‍්‍රවේශය පිළිබඳ මූලධර්මවලට අනුකූල නො වේ. කොළඹින් පිටත ජීවත් වන පුද්ගලයන්ට අධිකරණ පාත‍්‍රතාව ඉල්ලා සිටීම දුෂ්කර ය; මෙම විධිවිධානය රට තුළ පවතින, කරුණු කෙරෙහි නො ව නීතිය පිළිබඳ ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි අපේක්ෂිත, අවසන් අභියාචනාධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉටු කරන කාර්ය භාරයට හානි කරයි; එමෙන් ම එය, නීතියේ පාලනය උල්ලංඝනය කිරීමකට සමාන විය හැකි ආකාරයකින්, නීති පද්ධතියට අයත් වැදගත් ක්ෂේත‍්‍රයක් තුළ දී, කිසිදු අභියාචනයක් කිරීමට ඉඩ නොදීමේ අයථාව ද නිර්මාණය කරයි. පළාත් මහාධිකරණවල දී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඉඩ දෙන්නේ නම්, එවැනි දුබලතාවන්ට පිළියමක් වනවා පමණක් නො ව, අධිකරණ පද්ධතිය තුළ දී සහ වඩා පුළුල් නීතිමය ප‍්‍රජාව අතරෙහි දී, මානව හිමිකම් ප‍්‍රධාන ප‍්‍රවාහයට එක් කිරීමට ද උදව් වනු ඇත.

4. අධිකරණ පද්ධතියේ සහ අනෙක් නීතිමය ආයතනවල ස්වාධීනත්වය

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන, විශේෂයෙන් ම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් විනයානුකූලව පාලනය කිරීමට හා ඉවත් කිරීමට අදාළ විධිවිධාන, ශක්තිමත් කළ යුතු ය. කෙසේ වුව ද, විශේෂයෙන් ම පසු ගිය විසි වසර තුළ දී මෙම වැදගත් ආයතනයට කර තිබෙන හානියෙන් අදහස් වන්නේ, එම ආයතනයේ අවංක භාවය හා විශ්වසනීයත්වය යළි ඇති කිරීමට නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකට වැඩි දෙයක් අවශ්‍ය වන බව යි.

විශ්වසනීයත්වය හීන වී ගොස් තිබෙන තවත් ආයතනයක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව යි. විශේෂයෙන් ම, නීති කෙටුම්පතක ව්‍යවස්ථානුකූල භාවය සමාලෝචනය කරන්නෙකු ලෙස සිය කාර්ය භාරය ඉටු කිරීමේ දී සහ රාජ්‍යය කරන ක‍්‍රියාවන්හි ව්‍යවස්ථානුකූල නිරවද්‍යතාව ගැන රාජ්‍යයට උපදෙස් දීමේ දී, එය අදක්ෂ බව ඔප්පු කර ඇත. ඇත්ත වශයෙන් ම එය, ව්‍යවස්ථා විරෝධී නීති හා ක‍්‍රියාවන් ආරක්ෂා කරන්නා වූත් යුක්ති සහගත කිරීමට උත්සාහ දරන්නා වූත් ආයතනයක් ලෙස දැක ගනු ලැබේ. ජනතාවගේ මුල පිරීම හරහා අධිකරණයන් විසින් නීති පද්ධතිය ව්‍යවස්ථානුකූලව සමාලෝචනය කිරීමේ සම්ප‍්‍රදාය යළි හඳුන්වා දීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීමක් පමණක් නො ව, මෙම ක්ෂේත‍්‍රය තුළ සිය ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට දිරි දීමක් ද වනු ඇත.

5. බලය විමධ්‍යගත කිරීම

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත්වලට බලය විමධ්‍යගත කෙරුණු ආකාරය දුර්වල ද දුබල ද වේ. එම නිසා, මධ්‍යම ආණ්ඩුව විසින් ඊට හානි කරනු ලැබිය හැකි ය. සංශෝධනය හඳුන්වා දී වසර 28ක් ගත වුව ද, එහි ඇතුළත් වැදගත් විධිවිධාන තව මත් ක‍්‍රියාත්මක කර නොමැති අතර, අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර ද යන ප‍්‍රශ්නය නැවතත් මතු වේ. මෙම දුර්වලකම, රට පුරා පළාත් සභා විසින් ද ප‍්‍රධාන අමාත්‍යවරුන් විසින් ද අමාත්‍ය මණ්ඩල විසින් ද අත්දකිනු ලැබ ඇත. විමධ්‍යගත කිරීමට නියමිත විෂයයන් සම්බන්ධයෙන් ගත් කල, පළාත් සභාවලට, 1987 පටන් බොහෝ විට සිදු වූවාක් මෙන් මධ්‍යම ආණ්ඩුව විසින් දුර්වල කරනු ලැබීමකින් හෝ ආපසු අත් කර ගනු ලැබීමකින් තොරව, එවැනි බලතල පාවිච්චි කිරීමේ බලය තිබීම ඉතා වැදගත් වේ. රටේ ඒකීය භාවයට හා භෞමික අඛණ්ඩතාවට යම් තර්ජනයක් එල්ල වන්නේ නම්, ඊට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය බලතල, දැනට මත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පවතින අතර, එම බලතල අත් නො හැර තබා ගත යුතු ය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව, ගැටුමේ මූල හේතුවලට විසඳුම් සෙවීම සහ බලය බෙදාහදා ගැනීම සහ අව්‍යාජ ලෙස බලය විමධ්‍යගත කිරීම, එවැනි ප‍්‍රතිචාරයක වැදගත් අංග බවට පත් වීම ඉතා වැදගත් වේ. දෙමළ ජනතාව, ජනවාරි හා අගෝස්තු මැතිවරණවල දී මධ්‍යස්ථතාව උදෙසා ඡන්දය දුන් බවත්, දෙමළ ජාතිකවාදී පක්ෂ හා කණ්ඩායම් ප‍්‍රතික්ෂේප කළ බවත්, බලය විමධ්‍යගත කිරීම හා සමානාත්මතාව උදෙසා කෙරෙන සාධාරණ ඉල්ලීම්වලට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිචාර දැක්වීමට අසමත් වුව හොත් දෙමළ අන්තවාදී බලවේග ශක්තිමත් වන බවත්, පිළිගැනීම වැදගත් වේ.

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවත්නා දුර්වලකම් ජය ගනිමින් අව්‍යාජව හා සුරක්ෂිතව පළාත්වලට බලය විමධ්‍යගත කරන ලෙස කෙරෙන ඉල්ලීම්වලට විසඳුම් සෙවීම යනු, රට තුළ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ප‍්‍රජාවන් අතර, විශ්වාසය සහ හොඳ හිත ඇති කිරීමට තිබෙන හොඳ ම ක‍්‍රමය වේ. අව්‍යාජ බලය බෙදා හැරීමක් හරහා එවැනි හොඳ හිතක් ඇති කිරීම යනු, රටේ ඒකීය භාවයට හා භෞමික අඛණ්ඩතාවට එල්ල වන තර්ජනයන්ට එරෙහිව පවත්නා හොඳ ම සහතිකය වේ.

මෙහි ඉතිරි කොටස ඉදිරියේදී පළකරමු.

Rohan Edhirisingheරොහාන් එදිරිසිංහ | Rohan Edirisinghe

උපුටා ගැනීම - Vikalpa
-Melani



2016-02-03
Advertisement

Find us on Facebook