English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘‘ජනතාව වන අපි’’ සහ ‘‘මහා සංඝ රත්නය වන ඔවුන්’’

‘‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’-
තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය)

කහ සිවුර, දාමරිකවාදයේ සුභාවිත ප‍්‍රකාශනයක් සේ නැගෙමින් තිබෙන කල්ලි-තාන්ත‍්‍රික අභිමතයේ මෙවලම බවට පත්වෙමින් තිබෙන බව, මෑතක ඇති වු සිදුවීම් මගින් පෙන්නුම් කෙරේ. වෙනත් කිසි රටක නැති ආකාරයෙන් මෙරටේ වීදි දේශපාලනය තුළ යහපත් මිනිසුන් පරයා සංඛ්‍යාත්මකව නැගී සිටින්නේ, අවිනීත සහ දඩබ්බර කල්ලියකි. නූතන ඩිජිටල් සන්නිවේදන තාක්ෂණ යුගය තුළ, අන් අයට ඉඩක් නොතබා, පාරේ දේශපාලනය තුළ ගණන්කාරයන් වන්නේ මෙකී පිරිසයි.

තමන් දන්නා ආකාරයේ ‘ථෙරවාද නීති සංග‍්‍රහයක්’ ගැන ධර්ම දේශනාවක් කළ අන්තවාදී භික්ෂුවක්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත, හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරුණි. ඉන් දින තුනකට පසු අපේ ජනාධිපතිවරයා, මහා සංඝ රත්නයේ මග පෙන්වීම මත කවදත් මේ රට පාලනය කෙරෙන බවට ගෞරව පූර්වකව සහතික කොට සිටියේය.

බිම වැටීමෙන් බරපතල තුවාල ලැබ චින්තාපර මනෝ භාවයක සිටි මේ ලියුම්කරුට ජෝන් ලෙනන්ගේ, ‘‘ජීවිතය යනු, වෙනත් සැලසුම් සිදුකරන අතරේ සිදුවන දෑ’’ යැයි කියැවෙන ගීය මෙනෙහි විය. හෝමාගම කලහකාරී භික්ෂූන්ගේ නෙයියාඩගම් සහ ජනවාරි 29 වැනි දා කෝට්ටේ රජමහා විහාරයේදී ජනාධිපතිවරයා මහා සංඝ රත්නයට දෙන ලද ප‍්‍රතිඥාව අසා දැක බලා ගැනීමට ලැබුණේ ඒ චින්තාපර මනෝ භාවයේ සිටියදී ය.

හෝමාගම විගඩම ජුගුප්සාජනක ය. කෝට්ටේදී දුන් ජනපති ප‍්‍රතිඥාව සිත කළඹන සුළු ය. උපතින් බෞද්ධයෙකු වන මා තැතිගන්වන සුළු ය. එහි අන්තර්ගතය වන්නේ, ‘අප නැමැති ජනතාවගේ’ ස්වෛරීත්වය, ‘ඔවුන් නැමැති මහා සංඝයාගේ’ ආඥාවන්ට යටත් වන බව ය.

රාජ්‍යයක්, විශේෂිත වූ ආගමකට නිශ්චිත පක්ෂපාතීත්වයක් දක්වන බව කියැපෑමේදී සිදුවන්නේ, කැමැත්තක් ඇතුව හෝ නැතිව, වෙනත් ආගමිකයන් බැහැර කිරීමේ සංඥාවක් නිකුත් කරනු ලැබීමයි. යම් පිරිසකගේ හෝ පුරවැසියන් බහුතරයකගේ ඇදහීමක් කෙරෙහි විශේෂ ලැදියාවක් ආණ්ඩුවක් පැහැදිළිව ප‍්‍රකාශයට පත්කර සිටින අවස්ථාවක, සියලූ පුරවැසියන්ගේ සමානාත්මතාව ආරක්ෂා කර දීමට ආණ්ඩුවකට හැකි වන්නේ කෙසේද? ආණ්ඩුවක් විසින් නිවනට යන මග තෝරාගන්නා විට, ස්වර්ගයට යාමෙන් සෑහීමකට පත්වීමට කැමැත්තක් දක්වන හෝ හුදෙක් මරණය තෙක් නිදහසේ හිත හදාගෙන බලා සිටින අයවළුන්ට ආණ්ඩුවක් යෝජනා කරන්නේ කුමක්ද?

ජනාධිපතිවරයා සංඝ රත්නය කෙරෙහි ගෞරව පූර්වක භක්තියක් දක්වන බවට සැකයක් නැත. එය ඔහුගේ පෞද්ගලික කාර්යයකි. සිවුර තවදුරටත්, නිෂ්ක‍්‍රමණයේ හෙවත් ගිහිගෙය අතහැරීමේ සංකේතයක් නොවේ. එය අද, අනන්‍යතා ලාංඡනයකි. හෝමාගමදී එය, කඩාපැන පහරදෙන සේනාවක නිල ඇඳුම බවට පත්විය. 2015 ජනවාරි මුල හරියේ, මැදගොඩ අභයතිස්ස නැමැති භික්ෂුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්නුවේ, ජාතිය පාවා දීමක් වශයෙනි. ලංකාවේ පවතින මහා සංඝ සාසනය, සමජාතීය ආයතනයක් නොවන බව පෙන්වීමට තවත් සාක්ෂි අවශ්‍යද?

ශ‍්‍රී ලංකාව යනු, පූජක-තන්ත‍්‍රයක් නොවේ. එය, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය දිය යුතු බවට ව්‍යවස්ථාවෙන් පනවා ඇති, ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. මේ ප‍්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ කාගේ බුද්ධාගමටද? මේ ප‍්‍රශ්නය මතු කෙරෙන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සඳහා වන තරගයක්, ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන සන්දර්භයක් තුළයි.

මාර්ටින් වික‍්‍රමසිංහ ලියූ ‘භව තරණය’ ජනාධිපතිවරයා කියැවිය යුතුය. එම කෘතියේ, අපේ මහා සිංහල සාහිත්‍යධරයා සිද්ධාර්ථගේ සත්‍ය ගවේෂණය අගේට විස්තර කරයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දේශනාව සැබෑ අගැයීමකට ලක්කළ හැක්කේ, සමාජයෙන් මිනිසුන් පිටමං කෙරෙන සහ තිරශ්චීන විද්‍යා හෙවත් තිරිසන් විශ්වාස පද්ධති අරක්ගත් බ‍්‍රහ්මණ ව්‍යවහාර තුළ සිරවී සිටි මිනිසුන්ගේ විමුක්තිය ගවේශනයට ලක්කෙරුණු සමාජ පරිසරය අවබෝධ කර ගැනීමෙන් පමණක් බව, එම කෘතියට පසුවදනක් ලියමින් මාර්ටින් වික‍්‍රමසිංහ කියා සිටී. සරළ ස්වාභාවික හේතුකාරක මත පදනම්ව, විදග්ධ සංස්කෘතයෙන් වෙනුවට, මගධ දේශයේ සාමාන්‍ය මිනිසුන්ගේ බැවහර සම්ප‍්‍රදායයෙන් දේශනා කළ ධර්මය තුළට, පසු කාලයක, බ‍්‍රාහ්මණ අධිතාත්වික විශ්වාස පද්ධති කෙමෙන් කෙමෙන් මුත් නිශ්චිතවම රිංගා ගැනීම ගැන එහිදී ඔහු තවදුරටත් විස්තර කරයි.

මෙය, නොබෙල් සම්මානලාභී අමාර්ත්‍යා සෙන්, ශාන්ති නිකේතනයේ පැවති, ‘‘බුදුන් වහන්සේගේ සමකාලීන අදාළත්වය’’ මැයෙන් වන දේශනයකදී වාක්‍ය දෙකකින් අගේට කියා දෙයි: ‘‘අවුරුදු දෙදහස් පන්සීයකට කලින් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම සංකල්ප සහ තර්ක විතර්ත තුළින්, අදටත් අපට උගත හැකි දේ බොහෝ ය. බුදුන් ජීවත් වූ කි‍්‍රස්තු පූර්ව 6 වැනි සියවසට වඩා අපේ සමාජය බෙහෙවින් වෙනස් වුවත්, මිනිස් ඥානයට උන්වහන්සේ දායාද කළ උරුමය තුළින්, ආචාර ධර්ම, දේශපාලනය සහ සමාජ සම්බන්ධතා අරභයා උන්වහන්සේ දැක්වූ තාර්කික එළැඹුම අදටත් අපට මහඟු ආලෝකයකි.’’

මෙහිදී අප ඉදිරියේ ප‍්‍රශ්නයක් මතු වෙයි. මාර්ටින් වික‍්‍රමසිංහවත්, අමාත්‍යා සෙන්වත්, මේ වටිනාකියන චීවරධාරීන් නොවේ. ආගමික මෙන්ම වාර්ගික සෑම සුළුතරයකම සහාය ජනාධිපතිවරයාට සහතික වශයෙන් ලබා ගත හැකි ක‍්‍රමය වන්නේ කාලාම සූත‍්‍රයට අනුගත වීමයි. බුදුන් වහන්සේගේ නිදහස් චින්තනයේ මූලාශ‍්‍රය වන්නේ එයයි. එහෙත් සංඝයා වහන්සේලා වසංගන්නේද එයමැයි. හේතුව, භක්තිවන්ත සැදැහැතියන් කෙරෙහි ඔවුන් අභ්‍යාස කරන ආචීර්ණ කල්පික අධිකාරිය ඒ මගින් දුර්වල කෙරෙන බැවිනි.

නූතන මිනිස් සංවර්ධනයේ අරමුණු වශයෙන් පවතින දීර්ඝායුෂ, අධ්‍යාපනය සහ දරිද්‍රතාව දුරලීම වැනි අපේක්ෂාවන්, අවුරුදු දෙදහස් පන්සීයකට කලින් විසූ තරුණ බුදු හිමියන්ගේ අවධානයට ලක්වූ ප‍්‍රශ්නවලට ගුප්ත සමීපත්වයක් දරණ බව අමාත්‍යා සෙන් පෙන්වා දෙයි. අසූ තුන් වියැතිව සිටි මාර්ටින් වික‍්‍රමසිංහ 1973 දී කියා සිටියේද එයමයි. එසේ කීම ගැන, කිහිප දෙනෙකු හැරුණු විට මුළු සංඝ සාසනයම පාහේ, එදා ඔහුට විරුද්ධව අවලාද නැගූහ.

වර්තමාන සංඝ සාසනයේ ග‍්‍රහණයෙන් ගිලිහී යන බුදුන් දෙසූ දහම කුමක්ද? මාදුළුවාවේ සෝභිත හිමියෝ ඒවා කියා දුන්හ. හේතු බුද්ධිය සහ මහජන සන්නිවේදනයේ වැදගත්කම, ජීවිතයේ වැදගත්කම, දේශපාලනයේ සංවරත්වය සහ ශිෂ්ට සම්පන්න ආණ්ඩුකරණය ආදිය ඊට අයත් ය. ග‍්‍රාම්‍යත්වය ප‍්‍රතික්ෂේප කළ උන්වහන්සේ, යුක්තියේ සහ සාධාරණත්වයේ විශ්ව ධර්මයක් අනුදත්හ.

අපරිමිත දේශපාලන ඥානයක් පිළිබඳ විශේෂ අයිතියක් සංඝ සාසනයට ඇත්තේ නැත. හිසට වහලක් නැති ජනතාව වෙනුවෙන්, හඬක් නැති ජනතාව වෙනුවෙන් ඔවුන් හඬ නගන්නේ නැත. දිළින්දන් වෙනුවෙන් සහ පීඩිතයන් වෙනුවෙන් ඔවුන් නැගී සිටින්නේ නැත.

සිංහල බෞද්ධ භික්ෂු වේශයෙන් පෙනී සිටින සංඝයා වහන්සේලාට ඇත්තේ, තමන්ගේ සින්නක්කර උරුමයකැයි කියාගන්නා ක්ෂේත‍්‍රයක විනාශකාරී උද්වේගයන් ඇවිස්සීමේ අතීත කැරැට්ටුවකි. අපේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ, මධ්‍යස්ථ දේශපාලන අනුශාසනා සැපයීමේ හැකියාවක් වර්තමාන සංඝ සාසනයට නැත. දේශපාලනය යනු, ජනතාව සිතන පතන ආකාරය කෙරෙහි බලපෑම් කිරීමේ කලාවයි.

මෛත‍්‍රී-රනිල් සන්ධානය විසින් ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණ ප‍්‍රමිතීන් යළි ස්ථාපිත කරලීම කිසිවෙකු විසින් අවතක්සේරු කළ යුතු නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රහේළිකාව වන්නේ, ජනතාව පාලනය කිරීම සහ ජනතාව විසින් පාලනය කිරීම පිළිබඳ ආකෘතීන්ට අදාළ ප‍්‍රශ්න විසඳා ගැනීමයි. ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුවක් සැබෑ ආණ්ඩුවක් වශයෙන් පැවතීමට නම්, ප‍්‍රජාතන්ත‍්‍රීය පුද්ගලවාදී අන්තවාදයන් මැඩලිය යුතුව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය හොඳින් දනී. හිටපු ජනාධිපතිවරයා කෙරෙහි තමන් තුළ ඇති කැමැත්ත නොසඟවන එක් දේශපාලන විචාරකයෙකු, වර්තමාන ආණ්ඩුවේ උභතෝකෝටිකය අගේට විස්තර කෙළේය:

‘‘සිංහල ජාතිකත්වයේ සුජාත සහ ඓතිහාසික නායකයා වන්නේ මහින්ද රාජපක්ෂයි. තිරසාර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සඳහා දකුණේ ජාතිකවාදී ධාරාවේ අනුමැතිය ලබා ගත හැක්කේ, ඔහුගේ සහාය තිබුණොත් හෝ ඔහු මධ්‍යස්ථව සිටියොත් පමණි. බිම් මට්ටමෙන් ගත් විට ඔහුට ඇත්තේ, නිෂේධ බලයකි.’’

එතැන කතාවක් තිබේ. මාර්ටින් වික‍්‍රමසිංහගේ භව තරණය ලියැවුණේ සිංහල සිද්ධාර්ථ කෙනෙකු ගැන නොවේ.


සරත් ද අල්විස්

(2016 පෙබරවාරි 01 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ”We the People” & “They the Maha Sanga” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-Melani





2016-02-03
Advertisement

Find us on Facebook