English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රභාකරන්ගෙන් පසු ලංකාව තුළ මහින්ද රාජපක්ෂ අහෝසි වී යාම

- සිංහල ජාතිවාදීන්ගේ ගැටලුව බාලචන්ද්‍රන් ළමයකු යයි සිතන්නට බැරිකමයි - 

යුද ජයග්‍රහණය නැවත නැවත විකුණමින් සිය පවුලේ සොරකම් සඟවා ගැනීමට උත්සාහ දරන රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ ඇම්බැට්ටයන්ට කිව යුතු දෙයක් තිබේ. 


යුද්ධය යනු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබුණු එකම විසඳම නො වේ. ඒ වනාහි ජාතිවාදීන් සතු වූ විසඳුමයි. එ් වනාහි රජයට මෙන් ම කොටි සංවිධානයටත් තිබුණු විසඳුමයි. ඔවුන් යුද්ධය තෝරා ගත්තේ මහත් කැමැත්තෙනි. 

ඒ වනාහි සෙසු විසඳුම් අත්හදා නො බලන ලද සංදර්භයකි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ අවංක ප්‍රයත්නයක් සිංහල, දෙමළ දෙපාර්ශ්වයේ ම ජාතිවාදී නො වන කොටස් අතර තිබිණි. 

එහෙත්, එයට බාධාකාරී වූ ප්‍රධාන බලවේග දෙක වූයේ ආණ්ඩුව හා කොටි සංවිධානයයි. 2002දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බටහිර රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව ජාතික ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුම් මගකට එළඹියේ ය. 

සටන් විරාම ගිවිසුම අවුල් කිරීම ඇත්තෙන් ම මුල පිරුවේ කොටි සංවිධානය බව එම ක්‍රියාවලි සමීපව නිරීක්ෂණය කළ මගේ අදහසයි. කොටි සංවිධානය සටන් විරාමය භාවිතා කරන්නට උත්සාහ කළේ මිලිටරි හා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීමටයි. 

ආණ්ඩුවේ පාර්ශ්වයෙන් උත්සාහ කළේ කොටි සංවිධානය සාකච්ඡා ක්‍රියාවලිය තුළ සීමා කර තබමින් දුර්වල කිරීමට බව තර්කයක් සිවරාම් ඇතුළු දෙමළ ජාතිවාදී මාධ්‍යකරුවන් විසින් නිර්මානය කරන ලදී. ඒ පදනමේ සිට කොටි සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කරන්නට පටන් ගත්තේ ය. එය කෙතරම් දුර දිග ගියා ද යත්, හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මරා දමන ලද අතර ඩග්ලස් දේවානන්දාට බෝම්බ ගසන ලදී. කොටි සංවිධානය සටන් විරාමය සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉතා වගකීම් විරහිත ස්ථාවරයකි. 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පමණක් නොව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවා නැවත යුද්ධයට තල්ලු වුණේ මහත් මැලිකමකිනි. ඔවුන් එතැනට තල්ලු කළ ප්‍රධාන බලවේගය වුණේ බලය ගොඩනගා ගැනීමට සිංහල ජාතිවාදය වැළඳගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණයි. දැන් මහා ප්‍රගතිශීලීන් වන්නට උත්සාහ කරන කුමාර් ගුනරත්නම්ලා, පුබුදු ජයගොඩලා ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එහි වගකීම ගත යුතු ය. 

මහින්ද රාජපක්ෂ නම් භාජනයට දමන වතුර වැනි නිශ්චිත හැඩයක් නැති බල දේශපාලන සාධකයට මිලිටරි හැඩය නිර්මානය කර දුන්නේ ජවිපෙ ය. ගෝඨාභය රාජපක්ෂ නම් මිලිටරි අන්තවාදියකු හා බැසිල් රාජපක්ෂ වැනි අන්ත දූෂිතයකු මහින්ද රාජපක්ෂ සමග එක බඩවැල කඩාගෙන ඉපදීම එක්තරා කර්ම පලදීමක් විය. 

යුද්ධය අතිශය කුරිරු එකක් විය. එහි දෙපාර්ශ්වය ම යුද නීති අනුගමනය කළ අය නො වේ. එය තනිකර ම ත්‍රස්තවාදී සංවිධාන දෙකක් අතර යුද්ධයක් විය. දෙමළ මෙන් ම සිංහල සාමාන්‍ය ජනතාව කෙළවරක් නැතිව මරා දමන ලදී. යුද විරෝධී බලවේගවලට දේශපාලන අවකාශයක් ඉතිරි කළේ ම නැත. 

අවසාන ප්‍රතිඵලය විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වීමයි. යුද්ධයෙන් කවුරු දිනුවත් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්නේ නැත. යටත් වූවන්, භාර වූවන් පවා මරා දමන ලදී. යුද්ධය යනු දැවැන්ත යුද අපරාධ මාලාවකි. ඇත්ත එයයි. එය දකින්නට බැරි මේ මිය ගිය දෙමළ මිනිසුන් ද අපේ ම මිනිසුන් යයි සිතන්නට බැරි තරමට ජාතිවාදයෙන් අන්ධ වූවන්ට පමණි. 

යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පමණක් වගකිව යුතු නැති ය යන ස්ථාවරයේ අපි මුල සිට ම සිටියෙමු. ඔවුන් පමණක් වැරදිකරුවන් බවට පත් කිරීමේ අරමුණින් යුද අපරාධ පරීක්ෂණ පවත්වනවාට අප විරුද්ධ වූයේ එහෙයිනි. මෑතකදී එක් වාමාංශිකයෙක් නිර්නාමික ලෙස සිටිමින් මෙය ප්‍රශ්න කළේ ය. අපට කීමට තිබෙන්නේ අපගේ ස්ථාවරය තවමත් වෙනස් වී නැති බවයි. යුද අපරාධ සම්බන්ධයෙන් ජවිපෙ ඇතුළු ජාතිවාදී බලවේග හා ජාතිවාදී මාධ්‍ය ද වරදකරුවන් කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ යනු ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් නිර්මානය කළ නායකයෙකි. එය දැඩි ප්රචණ්ඩත්වයක් තුළ සිදු වූවකි. එහෙත්, එම සුසමාදර්ශීය වෙනස ලංකාවේ සිංහල, දෙමළ සමාජයන් පමණක් නොව මුළු ලෝකය ම විඳින තත්වයකි. 

සිංහල, දෙමළ ජාතිවාදයන් තුළ සිර වී තිබුණු ලංකාවේ ජාතික ප්‍රශ්නය තුළ කවුරුන් විසින් හෝ මෙම සුසමාදර්ශීය වෙනස කළ යුතුව තිබිණි. එය ඉතාම හොඳින් දැන සිටි පුද්ගලයා අන් කවරෙක් හෝ නොව ප්‍රභාකරන් ය. මුල්ලිවයික්කාල්හිදී සිය අවසන් සටන කරමින් අරගලය වෙනුවෙන් ජීවිතය දෙමින් ඔහු වේදිකාවෙන් බැස ගියේ එම යථාර්ථය තුළ ඔහුගේ වගකීම එඩිතර ලෙස භාර ගනිමිනි. 

මහින්ද රාජපක්ෂ දේශපාලන මුල්ලිවයික්කාල් දකිමින් සිටින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ප්‍රභාකරන්ගෙන් පසු ලංකාව තේරුම් ගන්නට අසමත් වීම නිසා ය. 

කොටි සංවිධානයෙන් පසු ජාතික ප්‍රශ්නය දැන් තිබෙන්නේ අලුත් තලයක ය. එය අලුතින් විග්‍රහ කර ගත යුතු ය. මහින්ද රාජපක්ෂ විසින් අත්පත් කර ගන්නා ලද සිංහල ජාතිවාදයට මෙන් ම රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා සිංහලෙන් නැවත ලියන දෙමළ ජාතිවාදයට ද අලුත් තත්වයන් ග්‍රහණය කර ගන්නට බැරි ය.

අජිත් පැරකුම් ජයසිංහ
උපුටා ගැනීම - http://www.w3lanka.com



2016-02-02
Advertisement

Find us on Facebook