English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දකුණේ ජනතාව නිහඬ ද ?

දීර්ඝකාලීන යුද්ධය හා ඉන් බාහිරව ශ‍්‍රි ලංකාව තුළ අතුරුදහන්වුවන් පිළිබඳව සාක්‍ෂි සෙවීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින විටදි, මෑතදි පැවති තෛයිපොන්ගල් උත්සවය අවස්ථාවේදි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අතුරුදහන්වුවන් පිළිබඳව කළ ප‍්‍රකාශය උතුරේ ඇතැම් ජනකොටස් පිළිකුලින් යුතුව හෙළා දැක්ක අතර එම ප‍්‍රකාශය උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන්ගේ පවුල් අතර දැඩි දෝශදර්ශනයට ලක් විය. ප‍්‍රසිද්ධියේ දැඩි ජනතා විරෝධතා ගොඩනැගුණු අතර තවමත් එම ජනතාව විරෝධාකල්ප වලින් සිටින බව අයිතිය සමඟ ඒ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළ මානව හිමිකම් ක‍්‍රියාධර ගරු මාරිමුත්තු සතිවේල් පියතුමා සඳහන් කළේය.

මේ පිළිබඳව ඔබතුමා මොනවද හිතන්නේ ?

අතුරුදහන්වුවන් පිළිබඳව අගමැතිතුමා සිදුකළ ප‍්‍රකාශය වගකීමෙන් තොර ප‍්‍රකාශයක්. ඒ ප‍්‍රකාශය අපි හෙළා දකිනවා. මොකද, අතුරුදහන්වුවන් වෙනුවෙන් පත්කර තිබෙන කොමිසම තවමත් තොරතුරු සොයමින් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන අවස්ථාවක අගමැතිතුමා කෙසේද ඒ ආකාරයෙන් තීන්දුවක් ප‍්‍රකාශකරන්නේ ? එහෙමනම් පත්කර තිබෙන කොමිසමේ වැඩකටයුතු නවතා දමන්න  ඕනේ ඒ ආකාරයෙන් ප‍්‍රකාශ කරන්න.  නමුත් තෛයිපොන්ගල් වැනි දමිළ ජාතිකයින්ගේ වැදගත්ම උත්සවයකදි මුලූ ලෝකෙටම ප‍්‍රකාශකරනවානම්, මීට කලින් ඒ ගොල්ල දන්නවා, ඒගොල්ල බලයට පත්වෙච්ච වෙලාවේ පටන් මේ අතුරුදහන් වෙච්ච අයට මොකද්ද වුණේ කියන කාරණාව. එහෙමනම් ඒ කාරණාව මෙතෙක් කල් වසන් කළේ ඇයි කියන ප‍්‍රශ්නය අහන්න  ඕනේ. දෙවනුව, තෛයිපොන්ගල් කියන්නෙ දමිළ ජනතාවට තමන්ගෙ භුමිය පිළිබඳව , තමන්ගේ ජීවිතය පිළිබඳව තිබෙන විශාල උත්සවයක දි මේ අතුරුදහන් වෙච්ච සියලූම දෙනා මැරුණා කියලා පිළිගන්න කියනවානම්, දෙමළ ජනතාව අලූත් උදාවක් බලාපොරොත්තු වෙච්ච දවසෙම ඒ මිනිස්සුන්ව වළ දැම්මා. මේ වගකීමෙන් තොර ප‍්‍රකාශය අපි හෙළා දකිනවා.
 

එහෙනම්, අගමැතිතුමාට පුළුවන් කමක් තිබෙනවාද ඒ වාර්තාව ජනතාවට හෙලිකරන්න? ඒ වගේම මෙතන් පටන් කිසිම පරීක්‍ෂණයක් තොරතුරු, සාක්‍ෂි සෙවීමක් සිදුකරන්නේ නැහැ කියා කියන්න පුළුවන්ද ? මේ අයගේ මරණ පිළිබඳව කවුද මැරුවේ කොහොමද මැරුවේ කියලා කියන්න පුළුවන්ද ? මොන නිල දැරු අයද මොවුන්ව මැරුවේ ? කවුද අණදුන්නේ ? කොහොද මේ සියලූ ඝාතන සිදුවුණේ ? අගමැතිතුමා කියනවානේ ඔක්කොම මැරිලා කියලා. එහෙමනම් විශේෂයෙන් අන්තිමෙට භාරවෙච්ච අයව කොහොද ගෙනිච්චේ ? මැරුවේ කොහොදිද ? වළදාලා තියෙන්නෙ කොහොද ? දහස් ගණනක් එසේ මැරි සිටිය ඒ තැනක ඔවුන්ව සිහිකරන්න ස්මාරකයක් හදන්න පුළුවන්ද එහෙමනම් ? මේ ප‍්‍රකාශය, අගමැතිතුමාගේ හෘදසාක්‍ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක්. රටේ හෘදයසාක්‍ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක්. මේ වෙලාවේ දකුණේ ජනතාව අගමැතිතුමාගෙන් ඇසිය යුතුයි ඒ ප‍්‍රකාශය පිළිබඳව යම්කිසි පිළිතුරක්. නමුත් දකුණත් නිහඬනම් ඒ කියන්නේ දකුණ ද අගමැතිතුමාගේ ප‍්‍රකාශය අනුමත කරනවා !

සටහන සහ ඡයාරූප මෙලනි




2016-01-31
Advertisement

Find us on Facebook