English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතියට අභියෝග කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය
අධිකරණයකට කඩා වැදී අධිකරණ කටයුතු කඩාකප්පල් කිරීම මොනයම්ම රාජ්‍ය ක්‍රමයක් තුල වුවද වහාම දඬුවම් ලබාදෙන වරදකි. එය ඒකාධිපති රාජ්‍යකල රාජාණ්ඩුවක හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන රාජ්‍යයක කියා වෙනසක් නොමැත. එම රට තුල පවතින අධිකරණ ක්‍රමයට අවහිර කරමින් අධිකරණයකට පැන නාඩගම් නැටීමට කිසියම්ම රාජ්‍ය ක්‍රමයක් ඉඩ නොදෙන අතර එසේ ඉඩ හරිනවානම් එහි ඇත්තේ අරාජික බවකි.

රාජාණ්ඩුවක් හෝ ඒකාධිපති රටක් තුල නම් මෙවැනි අවස්ථාවකදී එවෙලේම මරණ දඬුවම පවා හිමිවීමට ඉඩ ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් කරනුයේ ඔවුන් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව සිරදඬුවම් නියම කිරීමයි. රටක අධිකරණයකට පැන ඒ ක්‍රියාදාමය කඩා කප්පල් කළ අයෙකුට, අයවළුන්ට සමාවක් නොදෙන අතර නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් ඔවුනට දඬුවම් දීම එම රාජ්‍ය යේ පැවැත්මට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කාරණයකි.

එසේ නොවන්නේ නම් එතුල රාජ්‍ය පාලකයින්ගේ සැඟවුන වුවමනාවක් වෙස් වලාගත් ආකාරයකින් ක්‍රියාත්මක වනවා විය යුතුය. මහින්ද රාජපක්ෂ පාලනය තුල ඒ පිළිබඳව වුමනවාටත් වඩා උදාහරණ ඇත. (ශිරාණි බණ්ඩාරනායක නඩුවේදී රස්තියාදු කාරයන් උසාවි භූමි අභිබවීම වැනි දේ)

දැන් ප්‍රශ්නය වී ඇත්තේ ගලගොඩඅත්ත මහණා ඇතුළු චීවරධාරී මැරයින් ඇතුළු මැර කණ්ඩායමක් උසාවියකට කඩා පැනීමයි. මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙකු අතුරුදහන් කිරීම ගැන චෝදනා ලැබ ඇති අයට එරෙහිව විභාග වන නඩුවකට එරෙහිව කරන මැදිහත්වීමයි. මෙම නඩුව පසුගිය අත්තනෝමතික රාජ්‍ය කාලයේ කළ අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම පිළිබඳ සංකේතාත්මක අගයක් ඇති නඩුවකි. පසුගිය රාජපක්ෂලාගේ ආණ්ඩුව රාජ්‍ය තම අත්අඩංගුවට ගෙන නීතිය මත පාලනයල නීතියේ ආධිපත්‍ය බාල්දු කර පවුලක ආධිපත්‍ය රාජ්‍ය තුල පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම නිසා බාල්දු කර දමා තිබූ අධිකරණ පද්ධතිය එයින් මුදවා ගැනීමට, නැවත රට තුල නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට කරන උත්සාහයක පලමු අදියරය ලෙසටත් මෙම එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අධිකරණ ක්‍රියාදාමයට සංකේතාත්මක වැදගත්කමක් දරයි.

දශකයක් පමණ පවුලක අත්තනෝමතික පාලනයට යටත්ව පැවති රටක රාජ්‍ය පද්ධතිය ඉන් මුදවා ගැනීමේ දීර්ඝ වැඩපිලිවෙලක ආරම්භක ක්‍රියාවක් ලෙස ගැනෙන මෙම නඩු විභාග (එක්ණැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතන) හරියාකාරව නීතියේ ක්‍රියාදාමයට අනුකූලව කරගෙන යාමට ඉඩ නොදෙන බලවේ, බොදු බල හෝ වෙනත් කණ්ඩායම් මේ සියල්ලටම අවශ්‍ය වන්නේ නැවත රටේ කැලෑ නීතිය රජකරවීමයි. උසාවිවලට පැන පහරදීම, නිළධරයන් ගස් බැඳීම්, රූපවාහිනිය වැනි ආයතනවලට පැන මාධ්‍යවේදීන්ට පහර දීම, පාලකයින්ට එරෙහිව මුව විවරකළහොත් මරණ තර්ජනයට යටත් කරවීම, සුදුවෑන්වලින් පැහැරගෙන අතුරුදහන් කිරීම් වැනි ක්‍රියා තුලින් පැරණි පුරුදු ආකාරයෙන් නැවත සමාජය බිය ගන්වා පවත්වාගැනීම මොවුන්ගේ අරමුණයි. යහපාලනයක් වෙනුවට අත්තනෝමතික පාලනයකට රට යටත් කරවීම මෙහි අරමුණයි.

නීතිය වල්වද්දවා තිබූ රටක නැවත නීතිය ක්‍රියාත්මක කිරීමට, නීතියේ ආධිපත්‍ය ස්ථාපති කිරීමට තනන ආරම්භක අවස්ථාවේම මෙසේ අධිකරණයට කඩා පැනීම එනිසා සුළු කොට තැකිය නොයුතුයි. එය නීතිය මත පාලනය සුණු විසුණු කිරීමට සැලසුම්කළ ක්‍රියාමාර්ගයක ආරම්භයක් පමණක් බව අප මතක තබා ගත යුතු වෙමු. එම ක්‍රියාව මේ මොහොතේම නීතිමය ක්‍රියාදාමයකට යටත්කර දඬුවම් දී නතර නොකළ හොත් ඉදිරි කාලය තුලදී පසුගිය වකවානුවේ වැරදි කළ කිසිවෙකුට එරෙහිව නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට ඔවුන් ඉඩ නොදෙනු ඇත. නීතියේ ආධිපත්‍ය ඇති කිරීම එතුලම ඇණ හිටිණු ඇත. නීතියේ ආධිපත්‍ය නැති තැන යහපාලනයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනු නොලැබේ. එසේනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගා ගැනීම සඳහා නීතියට අභියෝග කරන සියල්ලන්ම නීතියේ ආධිපත්‍යට වහාම යටත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙසේ අලුතින් දළු දමා ඇත්තේ පැරණි ඒකාධිපති වැඩවසම් වෘක්ෂයක අංකුරයකිග එය වැඩීමට පෙර කපා දැමීම යහපාලනයක වගකීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම පහසු කරුණක් නොවන බව අප දනිමු. වැඩ වසම් හෝ ඒකාධිපති පාලනයන්ට යටත්ව වසර සිය ගණනක් ජීවත්වීමට හුරුව ඇති සමාජයක් නිදහස් මනසක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට පරිවර්ථනය කිරීම දීර්ඝ ක්‍රියාදාමයකි. යටපත්වීම තම ජීවිත හුරුව කරගත්ල තමා වෙනුවෙන් උතුමන්ලා’ විසින් තීරණ ගැනීම ඇබ්බැහි කර ඇති මිනිස් කණ්ඩායමකට තනි තනි පුරවැසියන් ලෙස වර්ධනය වීම පහසු කරුණක් නොවේ. තමන් ගැන තමන් වගකීම, තමන් තමන්ම තීරණ ගැනීම ඔවුනට ආගන්තුකය. ඒකාධිපති හෝ වැඩවසම් පාලනයකදී ඔවුනට සිතන්නට දෙයක් නැත. කළ යුත්තේ අණට කීකරු වීමයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී තමන්ම සිතිය යුතුය. තම ජීවිත සිදුවීම්වලට තමන්ම වගකිවයුතුය. එනිසා සමාජමය තීරණයන් ගැනීමට ඔවුන්ද කොටස්කරුවන් විය යුතුයි. (තම ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වන විවාහයේදී පවා තම සහකරුවා තනිව තීරණය කර ගැනීමට නොහැකි සමාජයක) එය පහසු නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල සියල්ල සිදුවන්නේ ඉතා හෙමින් වන අතර යම් කිසි සමාජමය තීරණයක් ගැනීමේදී විවිධ පැති වලින් ඒ ගැන සිතා බැලිය යුතු නිසා තීරණ ගැනීම් සහ ක්‍රියාවන් සිදුවන්නේ ඉතා හෙමිනිග ඒ සැමගේම උවමනාවන් සහ සැමකෙනෙකුගේම අදහස්වලට ඉඩ දී සැමට පොදු ක්‍රියාදාමයක් සොයා ගැනීමට සිදුවන බැවිනි. ඒකාධිපති හෝ රාජාණ්ඩුවක නම් මෙසේ නොවන අතර එකෙකුගේ හෝ අධිපතීන්ගේ උවමනාව අනුව මුළු සමාජයම හැඩ ගැසිය යුතුය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල සැම කෙනෙකුගේම උවමානවන් වල කොටසක් වත් ක්‍රියාත්මක වනු ඇත. දීර්ඝ කාලීන වහල්බවට හුරු වී ඇති දුර්වල මිනිසුනට ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති මේ ගුණාංගය ඉවසා ගැනීම අසීරුයි. එනිසාම ඔවුන් නැවත නැවත තම වහල්බවම හොයන්නේ එයට ප්‍රේම කරන විලසිනි.

2015 ජනවාරි 08 ලංකාවේ සදාචාර සම්පන්න ජනයාගේ එකතුවීම තුලින් එතෙක් රටතුල පවත්වාගෙන ගිය දූෂිත දුර්ධාන්ත පාලනය පෙරලා දමනු ලැබීය. එය විවිධ පැතිවලින් නැවත හිස ඔසවමින් පවතීග ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනයාගේ අද යුතුකම පාලකයන්ට මෙය නැවත මතක් කර දීමයි. ඒ මෙම පාලකයන්ටද බලය තුල හිස් තෝන්තු වී අමතක වීමේ රෝගය වැලදීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

නීතිය මත පාලනය ඇති කිරීමට රජය කරන උත්සායට අනුබල දෙමින් එය හරියාකාරව කිරීමට බලපෑම් කිරීම වැදගත්ය. නිදහස යනු අනෙකාගේ නිදහස නැති කිරීමට වැඩ කිරීමට නිදහස දීම නොවන බව රටේ රාජ්‍ය කරවන්නන්ට කියා සිටිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසිණු කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට ඉඩ තැබීම නොවන බව රට කරවන්නන් මෙන්ම අප සැම තරයේ මතක තබා ගත යුතු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදය තුල පූජකයන්ට වෙනම නීතියක්ල පාලකයින්ට වෙනම නීතියක්, ඔවුනගේ හෙංචයියලාට වෙනම නීතියක් සහ රට වැසියාට වෙනම නීතියක් නොමැතග නීතිය ඉදිරියේ සැමකා සමාන විය යුතුයි.

තම ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම පිළිබඳ වේදනාවෙන් පෙලෙන කාන්තාවකට නීතිය පිළිබඳව උසස්ම ආයතනය තුලදී තර්ජනය කිරීම පහත්ල වනචර ක්‍රියාවකි. නීතිය බාල්දු කිරීම එක අතකිනුත් මනුෂ්‍ය ශිෂ්ඨ සම්පන්න බව බාල්දු කිරීම තව අතකිනුත් ලෙස මෙම මැරයින්ගේ ඒ ක්‍රියාදාමය පහත්ල නින්දිත සහ නීති විරෝදී ක්‍රියාවකිග මොවුනට නීතිය මගින් දිය හැකි උපරිම දඬුවම් ලබාදීම යහපාලනයක් ඇති කිරීම සඳහා අද රටට ඇති අත්‍යවශ්‍ය කාරණයකි.

   ranjith_hennayake රංජිත් හේනායකආරච්චි
උපුටා ගැනීම - Vikalpa
මෙලනි



2016-01-31
Advertisement

Find us on Facebook