English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සමාන අයිතිවාසිකම් යන්නට ගරුකොට ඔවුන්ව ද නිදහස් කරන්න !

ශිවරාසා ජෙනීවන් නැමැති දේශපාලන සිරකරුවා නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළකර සිටින දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරය, ශිවරාසා ජෙනීවන් ලැබූ නිදහසම අනෙකුත් සියළුම නඩු කටයුතු පවත්වාගෙන යන , දඬුවම් විඳිින , දේශපාලන සිරකරුවන් වන රටේ පුරවැසියන්ට ද ලැබිය යුතු බව ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් භාරදෙමින් ප‍්‍රකාශ කළේය.

නීතිය ඉදිරියේ සියළුම පුරවැසියන් සමාන සැලකිල්ලකට භාජනය විය යුතු බව අවධාරණය කරමින්, රටේ සෑම පුරවැසියෙකුටම සමානව සැලකීම ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකමක් යැයි සඳහන්කරන එම ව්‍යාපාරය, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත කාලෝචිත නොවන බව රජය පිළිගෙන ඇති බවත්, එසේ කාලෝචිත නොවන පනතක් යටතේ නඩු කටයුතු පවත්වාගෙන යෑම නීතිවිරෝධී බවත් , ඒ යටතේ දඬුවම් ලබා ඇති අයට නිදහස ලැබිය යුතු බවත් සඳහන් කරයි.

දේශපාලන සිරකරුවන් වන සෑම පුරවැසියෙකුටම එකසේ සැලකීම ක‍්‍රියාත්මක කිරීමට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට අවස්ථාවක් ලබාදෙන ලෙසට උක්ත ලිපිය භාරදෙමින් ඔවුන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති.


මානව හිමිකම් කොමිසම වෙත සිය ඉල්ලීම රැගත් ලිපිය භාරදීමට පැමිණීමට පෙර දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජීකයින් කිහිප දෙනෙකු විසින් ම සිරකරුවන් හමුවී සාකච්ඡාකළ බව ද සඳහන් කළ එම ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වන ගරු මාරිමුත්තු සතිවේල් පියතුමා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.

"මෙපමණ කාලයක් තුළ විවිධ අවස්ථාවලදී නොයෙකුත් දේ කියමින් යහපාලන ආණ්ඩුව විසිනුත් මේ දේශපාලන සිරකරුවන් සියළුම දෙනාව රැවැට්ටුවා. මොවුන් සියලූම දෙනා මේ රටේ පුරවැසියන්. පාපෝච්චාරණ සහ පොදු චෝදනා යටතේ කිසිම තීන්දුවක් තීරණයක් නොමැතිව ඔවුන්ගේ ජීවිත නිරපරාදේ ගෙවිලා යනවා. දැන්වත් ඔවුන් නිදහස් කරන්න කියන ඉල්ලීම පෙරදැරිකරගෙන තමයි, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගන්නට මෙම ඉල්ලීම භාර දෙන්න සුදානම් කළේ.”


එමෙන්ම, බණ්ඩාරගම, දීයකඩුවේ පූජ්‍ය සෝමානන්ද හිමි ද මාධ්‍යට අදහස් දක්වමින් අවධාරණය කළේ මෙසේ මිනිස්සුන්ව හිරකරගෙන තබාගැනීම ඉතාම අසාධාරණ බවයි. මෙම සිද්ධිය කාගෙත් බරපතල කම්පනයකට ලක් වෙන්නට අවශ්‍ය කාරණාවක් බවත්  මෙය හදිසි කටයුත්තක් හැටියට සළකලා ඒ මිනිස්සුන්ට සාධාරණයක් කර ඔවුන්ගේ පවුල් , ඥාතීන් දෙමාපියෝ් එක්ක සහෝ්දරත්වයෙන් සමාජයේ ජීවත් වෙන්නට අවශ්‍යකරන පරිසරය හදා දෙන්න කියා සියලූම වගකිව යුතු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසීය.
 
"නිස්කාරණේ මිනිස්සුන්ව හිරකරගෙන තියාගැනීම ඉතාම වැරදි කාරණයක්. තමන්ට  ඕනෙ අයව නිදහස් කරන්නත්,  ඕනෙ නැති අයව හිරකරගෙන ඉන්නත් ඇති නීතිය මොකක්ද ? අපි අද ඔවුන් සමග කථා කළා, ඔවුන් වරදක් කළ අය නොවෙයි. බලෙන් කටඋත්තර අරගෙන බලෙන් වැරදි පටවලා මිනිස්සුන්ව හිරකරගෙන ඉන්නවා. වරදක් වුනත් අවුරුදු ගණන් මිනිස්සුන්ව හිරකරගෙන ඉන්න අයිතියක් නැහැ. එක්කෝ පුනරුත්ථාපනය කරලා එළියට දාන්න  ඕනේ. නැතිනම් නඩුවක් කැඳවලා දඬුවම් නියමකරලා නිශ්චිත කාලයකදී එළියට දාන්න  ඕනේ. එහෙම නැතිව බලෙන් නිස්කාරණේ මිනිස්සු රඳවාගෙන තියාගැනීම කාටද අනුමත කරන්න පුළුවන් ? මේක හරිම ප‍්‍රාතමික තත්ත්වයක්. මෙය වහා තේරුම් අරගෙන යහපත් මිනිස්සු හැටියට සමාජයේ ජිවත් වෙන්න සියලූ දෙනාටම තියෙන අයිතිය තහවුරු කරන්්න කියන එකයි අපි සියලූම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. මේ අසාධාරණ තත්ත්වය තමයි අද අපි මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන්නේ.” යනුවෙන් පූජ්‍ය සෝමානන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේය.


සටහන සහ ඡායාරූප මෙලනි



2016-01-30
Advertisement

Find us on Facebook