English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාවට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම ජනතාවගේම වගකීමක් ! මීගමුව සිවිල් සමාජ කතිකාව

ජනතාවගේ මෙතෙක් පැවැති ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට පසුබිම සකස්කර ගතහැකි ජනතාවට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම සඳහා මහජනතාව විසින් ම පෙරමුණ ගෙන සිය අදහස් යෝජනා අදාළ කමිටුවට ඉදිරිපත් කිරිමට පෙරමුණ ගතයුතු යැයි මීගමුවේ කාදිනල් කුරේ ශ‍්‍රවණාගාරයේදි ඊයේ (28දා) පස්වරුවේ පැවති සිවිල් සමාජ කතිකාවේදි අවධාරණය කෙරිණි.

 
තමන්ට අවශ්‍යකරන ව්‍යවස්ථාවක් සකසා ගැනීමට, මේ දිනවල සිදුකරමින් පවතින මහජන අදහස් ලබාගැනීමේ නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේදි සිවිල් ජනතාවගේ දායකත්වය කෙබඳු ආකාරයෙන් ලබාදිය යුතුද යන්න සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම සඳහා වීදියේ විරෝධය සහ නිදහසේ වේදිකාව විසින් දියත් කරගෙන යන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා සංවිධානය කරතිබුණු දැනුවත් කිරීම ඊයේ පස්වරුවේදි පැවති අතර, එහිදි වර්ගවාදයට හා වෙනස්කොට සැළකීම් වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනිය මෙන් ම නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහ රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක මෙන්ම නිදහසේ වේදිකාවේ සමකැඳවුම්කරුවකු වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන ප‍්‍රධාන දෙසුම් පැවැත්වුහ.

මීට අමතරව සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජනාවබෝධ කේන්ද්‍රයේ ජාතික සම්බන්ධිකාරක නීතිඥ වින්සන් බුලත්සිංහල , රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ‍්‍රිටෝ ප‍්‍රනාන්දු ය න අය ද දෙසුම් පැවැත්වුහ.


නීතිඥ වින්සන් බුලත්සිංහල  -    ජීවත් වීමේ අයිතිය පිළිගන්නා ව්‍යවස්ථාවක්

එදා මේ රට බොහෝ විනාශයන්ට ගොදුරුවුණු ව්‍යවස්ථාවක් තිබුණේ. රටට ජනතාවට බොහෝ අහිතකර දේවල් අන්තර්ගතවෙලා තිබුණේ. මිනිස්සුන්ට අහිතකර වු නිසා එදා සමාජයෙන්ම හඩක් ආවා මේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි කියලා. ඊට ප‍්‍රතිචාර දක්වන්නට එදා පාලකයෝ එකඟ වුණා. ඒ සඳහා ගිවිසුම් පවා ඇතිකරගත්තා. නමුත් බලය ලබාගත්තට පස්සේ ඒ අවශ්‍යතාවය අමතක කරදැමුවා. මොකද ලෝකයේ කොහේවත් නැතිවිදියේ් විධායක බලතල තිබෙන බලයක් ලිහිල් කරගන්න ඒ අය කැමති වුණේ නැහැ. ඒ නිසා තිබුණු ව්‍යවස්ථා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියා. ඒ ආකාරයෙන්ම තමා රටේ අනෙකුත් පරිපාලනමය කටයුතුත් දියත් වුණේ. රටේ ජනතාවට හිතකර ආර්ථීක ප‍්‍රතිපත්තියක් තිබුණොත් තමයි සාධාරණ මිළකට ජනතාවට භාණ්ඩ මිළදී ගන්න පුළුවන් වෙන්නෙ. වර්ථමානය ගත්තම විශාල වශයෙන් බදු අරගනිමින් තමයි මේ ආර්ථීකය පවත්වාගෙන යන්නෙ. සියයට අසූවක් පමණ අපි බදු ගෙවනවා. ජනතාවගෙන් අයකරගන්න වක‍්‍ර බදු තමයි අද ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබෙන්නෙ. අපි කන පාන් පෙත්තට අපි කන බත්කටට මේ බදු බලපානවා. අපි අනවශ්‍යලෙසට බදු ගෙවිය යුතු ද ? දැනට පවතින ව්‍යවස්ථාව තුළින් යහපත් සෞඛ්‍යයක් සඳහා අපිට අයිතියක් තිබෙනවා කියා පිළිඅරගෙන නැහැ. අපිට ගෙයක් දොරක් තියෙන්න  ඕනෙ කියන අයිතිය , හොඳ පරිසරයක අපි ජීවත්විය යුතුයි කියන අයිතිය, ජීවනෝපායක් තිබිය යුතුයි කියන අයිතිය පිළිඅරගෙන නැහැ. මෙි මුලික අවශ්‍යතා ටික අපේ ව්‍යවස්ථාවේ අඩංගු වී තිබෙනවානම් අපිට තිබුණා මීට වඩා හොඳ සමාජයක ජීවත්වන්නට. රටේ ව්‍යවස්ථාව අපි හැමදෙනාගේම ජීවිතවලට සෘජුව බලපාන දෙයක් නිසා අපි හැමදෙනාම මැදිහත්වෙලා වඩාත් හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණයකර ගන්නට හොඳින් දායකවෙමු කියා ඉල්ලා සිටිනවා.
 
නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු  -  වෛර්ණවත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

ව්‍යවස්ථාවක් කියන්නේ අපි හුස්ම ගන්නවාද නැද්ද අපේ ජිවිතයට අයිතියක් තියෙනවාද නැද්ද අපි කන්නේ බොන්නේ කොහොමද කියන කාරණාව තීන්දු කරන ලියවිල්ලක්. නමුත් මේ ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එදා ධනපතියා විසින්  සැදු ව්‍යවස්ථාවක් කෙසේද ජනසම්මතවාදි ව්‍යවස්ථාවක් බවට අද අප පත්කර ගතයුත්තේ කියා සැළකිල්ලට ගෙන අද ඒ සඳහා කටයුතු කළ යුතුයි. 1978 සිට මේතාක් වසර ගණනාවක් සිට වෙන කවුරුත් හෝ එදා හිටිය ධනපති පන්තිය විසින් රටේ අයිතිය නිර්වචනය කරන්න ගොඩනැගු ව්‍යවස්ථාව මේ යහපාලන ආණ්ඩුව තුළ අප බලාපොරොත්තු වෙන්නේ ජනතා හිතකාමි ජනතාවාදි ජනතාසම්මුතිවාදි ව්‍යවස්ථාවක් බවට පත්කරන්නේ කොහොම කියා. ඒ ඇයි ?  ඊට හේතුව තමයි ව්‍යවස්ථාව තමයි රටේ තිබෙන උත්තරීතරම නීතිය. සාමාන්‍ය වශයෙන් රටේ අපරාධ නීතිය ඉඩකඩම් පිළිබඳ නීතිය ස්ත‍්‍රි දූෂණ සම්බන්ධයෙන් වන දණ්ඩ නීති සංග‍්‍රහය යනාදි මේ සියලූ ම නීති සාමාන්‍යයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වෙන්නට  ඕනෙ. ඒ නිසාම තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය මේ තුළ තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, රටේ මානව හිමිකම්, පිළිබඳව පුරවැසියාගේ අයිතිය පිළිබඳ කාරණාවේ තේරුම අඩංගුවෙලා තිබෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිති රීති අණපනත් හරහා රටේ පුරවැසියාට භුක්තිවිඳීමට හැකි සමාජ දේශපාලන හා සිවිල් සංස්කෘතිකමය අයිතිවාසිකම් පිළිබඳ කාරණාව සම්බන්ධයෙන් ඇතිකරගන්නාවු ගිවිසුම. පුරවැසියා හා පාලකයා අතර රටේ පාලනය සම්බන්ධයෙන් ඇතිකර ගන්නාවු ගිවිසුමයි. ඒ නිසාම තමයි ව්‍යවස්ථා සම්පාදනයේදි ජනතාව දැනුවත් කිරීමත් ජනසහභාගිත්වයත් අත්‍යවශ්‍ය වෙන්නෙ. ඒ නිසාම තමයි ඔබේ අදහස් අවශ්‍යම වන්නේ. ඒ නිසාම තමයි යහපාලන ආණ්ඩුව විසින් ව්‍යවස්ථාව සම්පාදනයේදි මෙවැනි ක‍්‍රියාදාමයක් ආරම්භකර තිබෙන්නෙ.

එවකට 1990 අග භාගයේදි චන්ද්‍රිකා මැතිනිය විසින් ද ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට කටයුතු කළා. නමුත් එදා මෙවැනි සිවිල් ජනතාවගේ සහභාගිත්වයක් ලබාගත්තේ නැහැ,  විද්වතුන් බුද්ධිමතුන් නීතිඥයින් සහ සිවිල් සමාජ ක‍්‍රියාධරයින් ගේ දායකත්වය ලබාගෙන තමයි සාකච්ඡා පවත්වමින් විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ගොඩනැගුව ඒ ව්‍යවස්ථාව ඔබ දන්නවා පාර්ලිමේන්තුවේදි එදා ප‍්‍රතික්‍ෂේප වුණා.
 

මෑතකාලීන අත්දැකිමක් ලෙසට, වර්ගවාදයක් පැවති දකුණු අපි‍්‍රකාව සහ නේපාලයේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් ද කරුණු මඳක් පැහැදිළි කළ නිමල්කා මහත්මිය තවදුරටත් කියා සිටියේ අපගේ ව්‍යවස්ථා සම්පාදනයේ්දි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මුලික අයිතිවාසිකම් ජනතාවට නිසි විදියට භුක්තිවිඳින්නට හැකි ආකාරයෙන් ව්‍යවස්ථාව තුළ අඩංගු කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ජනතාව ක‍්‍රියාත්මක විය යුතු බවයි.  රටේ ජීවත්වීමේදි පුරවැසියා පාලනයට හවුල්කර ගැනීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් නීතිය තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ යම් විධියකට අඩංගු වෙන්නේ. ඊට අමතරව ජනතාවගේ භාෂාව ආගම හා මුලික අයිතිවාසිකම් පළිබඳවත් පාලකයා කෙසේද පාලනය කළ යුත්තේ කියා තමයි මෙහි අඩංගු වෙන්නේ.

දේදුන්නක් වැනි දකුණු අපි‍්‍රකාවේ ව්‍යවස්ථාකරණය අපිට තිබෙන ප‍්‍රධානම ජනසම්මුතිවාදි ක‍්‍රියාධාමයයි. වෛර්ණවත් ව්‍යවස්ථාවක්. සාමාන්‍යයෙන් අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රවාදය දේදුන්නක් ආකාරයෙන් ගලා යා යුතුයි කියන ප‍්‍රවාදය තමයි දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාව තුළ ගැබ් වි තිබෙන්නේ. ඒ කියන්නේ ද අප‍්‍රිකානු ව්‍යවස්ථාව එක ජාතියකට එක ආගමකට එක කුලයකට හෝ එක වර්ගයකට අයත් වුණු ව්‍යවස්ථාවක් නොවෙයි. මේක මගේ ව්‍යවස්ථාව මේක මගේ රටේ ව්‍යවස්ථාව කියා සියලූම පුරවැසියන්ට කියන්න පුළුවන් ආකාරයකින් තමයි ඒ ව්‍යවස්ථාව සැකසී තිබෙන්නේ. කෙටියෙන් කිවහොත්, තමන් විසින් මර්ධනය කරන ලද සුදු ජාතික නායකයන්ටත් උප ජනාධිපතිකමක් හෝ උප අගමැතිකමක් දීමට තරමට ම නෙල්සන් මැන්ඩෙලා දේශපාලන වශයෙන් පරිනත භාවයක එම ව්‍යවස්ථාව ගොඩනැගුවා. ඒ නිසා අපේ ව්‍යවස්ථාව සැකසීමෙදිත් විවිධත්වයන්ගෙන් යුතු මිනිසුන් වෙනුවෙන් ඒ අයගේ අයිතිවාසිකම් ගැන සිතමින් හැදෙන ව්‍යවස්ථාවක් වෙන්නට අවශ්‍යයි.    

ජාතිකත්වය පිළබඳව කථාකිරීමේදිත් බහු ආගමීක බහු වාර්ගික රටක රාජ්‍යය අයත් කාහටද ? රාජ්‍ය කියන්නේ විධායකය හමුදාව යන සියලූම දේ පාලනය කරන මහා යන්ත‍්‍රය. රාජ්‍ය පසුගිය කාලයදි මර්ධනකාරී වුණේ ඇයි ? මේ ප‍්‍රශ්නය අසමින් තමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රාජ්‍ය මර්ධනකාරි නොවන ආකාරයට අලූත් ව්‍යුහයක් අලූත් ආකාරයකට අපි නිර්මාණය කරගත යුතුයි. නීතිය තිබුණට මඳි එය භුක්ති විඳින්නට හැකි සමාජයක් , ජනතාවට භුක්ති විඳින්නට හැකි ආකාරයේ දේශයේ පාලනයක් ඇති කිරීම සාක්ෂාත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා සිදුවිය යුතුයි. මෙය ඉටුකර ගැනීම සඳහා සිවිල් වැසියන් වන ඔබ ඔබේ වටිනා අදහස් යෝජනා සමඟ ඊට හවුල් වන්නට අවශ්‍යයි.

සටහන සහ ඡායාරූප මෙලනි



2016-01-29
Advertisement

Find us on Facebook