English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතීතයෙන් සැපයෙන ව්‍යවස්ථාමය පාඩම්

සෑම මිනිස් ජීවියෙකුම මැවෙන්නේ, ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යාමට ඇති අයිතිය සහිත සමානයන් වශයෙනි. ඉන්දීය විනිසුරු බග්වතීගේ වචනවලින් කිවහොත්: ‘‘ජීවිතයට ඇති අයිතිය යන්නට, මානව අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතියත්, ඒ සමග ගැනෙන අනිත් සෑම අයිතියක් හෙවත්, ප‍්‍රමාණවත් පෝෂණය, ඇඳුම් පැළදුම් සහ හිසට නිවහනක් මෙන්ම, කියැවීමට සහ ලිවීමට අවශ්‍ය පහසුකම් ඇතුළු විවිධාකාරයෙන් තම අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියත් අන්තර්ගත වන බව අපි සිතමු.’’

පාලනය කරන කිසිවෙකුවත්, පාලනය කරනු ලබන කිසිවෙකුවත් වෙන් කොට තකනු නොලැබේ. රාජකීය වරයක් කිසිවෙකුට හිමි නොවේ. අයිතීන් යනු, කිසිවෙකුගේ වරප‍්‍රසාදයක්වත්, පාලක පංතියක පරමාධිකාරයක්වත් නොවේ. ආණ්ඩුවලට ස්වකීය බලය ලැබන්නේ, පාලිතයන්ගේ අනුමැතියෙනි. සමානාත්මතාව දේශපාලනිකව ප‍්‍රායෝගික කරවන්නේත්, ඒ හරහා අත්තනෝමතික බලය මැඩලනු ලබන්නේත්, අනුමැතිය මාර්ගයෙනි. පාලිතයන්ගේ අනුමැතියෙන් ව්‍යුත්පන්න නොවන ඕනෑම බලයක්, අවජාතක ය. අයුක්ති සහගත ය.

පාලිතයන්ගේ අනුමැතිය

‘පාලිතයන්ගේ අනුමැතිය’ යනු ‘බහුතරයේ කැමැත්තට’ වෙනස්ව පිහිටන දෙයකි. යුරෝපීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල එම මතය පෘථුලව පිළිගැනේ. ‘පාලිතයන්ගේ අනුමැතිය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ, තම තමන්ගේ ප‍්‍රජා කණ්ඩායම් තුළ, ආගම් තුළ සහ ආයතන තුළ ජනතාව විසින් ස්වයං-පාලනයක් අභ්‍යාස කරන තත්වයකි. මේවාට ආණ්ඩුවකට අතපෙවිය හැක්කේ ජනතා අනුමැතියෙන්ම පමණි. ජනතාව සහ සීමිත ආණ්ඩුකරණය අතරේ, දැවැන්ත සමාජ අවකාශයක් පවතී. එම අවකාශය තුළ, ගැහැනුන්ට සහ පිරිමින්ට, පුද්ගලයන් වශයෙන් සහ සමූහ වශයෙන් ස්වකීය ස්වයං-පාලන නිදහස භුක්ති විඳිය හැක. ‘බහුතරයේ කැමැත්ත’ යනුවෙන් බටහිර යුරෝපයේදි අඟවනු ලබන්නේ, සෑම තීරණයක්ම අවසානයේදී දේශපාලනික වන බවත්, ආණ්ඩුවක් හරහා ක‍්‍රියාත්මක කැරැවෙන බවත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රජාපීඩනය සහ ප‍්‍රජාතාන්ත‍්‍රීය අදක්ෂතාව

‘පංගුකාර සහ උඩඟු’ බහුතරයක් විසින් සුළුතර හෝ පුද්ගල අයිතීන් අවභාවිත කිරීම ප‍්‍රජාපීඩනයකි. ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩු මාදිලියක් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රීය අදක්ෂතාව වළක්වා ගත හැකිය. අපට අවශ්‍ය කරන්නේ, ‘ක‍්‍රියා කිරීමේ බලය සහිත ආණ්ඩු මාදිලියක් සහ එම ක‍්‍රියාකාරීත්වය ඥානාන්විතව සහ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ ව්‍යුහයක්’ ය. බලයට ඇති කෑදරකම සඳහා වන සැලසුම් ව්‍යර්ථ කළ හැක්කේ බල විභේදනයෙනි. එයම, සහයෝගයෙන් සහ එකමුතුව වැඩ කිරීමට උත්තේජනය ඇති කරවන අතර, ගැටුම් ලිහිල් කරමින්, දේශපාලනික නායකයන් අතරේ වන ප‍්‍රායෝගික බැඳියාවන්හි සාමූහිකත්වයක් ගොඩනගනු ඇත.

යහපාලනය සඳහා ව්‍යවස්ථාවක් සැකසීම

යහපාලනය යනු, පාලිතයන්ගේ අනුමැතිය මත පමණක් නොව, ජනතා අදහස් උදහස් සහ ඔවුන්ගේ පුරවැසි සංවිධානවල මතිමතාන්තර ප‍්‍රකාශයට පත්කළ හැකි සහ ව්‍යවස්ථාවේ සීමාවන්ට යටත්ව, ඒවා රටේ නීති බවටත්, රටේ ප‍්‍රතිපත්ති බවටත් පත්කළ හැකි ආණ්ඩු ව්‍යුහයකි. මහජන යහපත කවරේදැයි තීරණය කෙරෙන්නේ, කතිකාවෙන්, සංවාදයෙන් සහ සම්මුතියෙනි. පුද්ගලයන්ව පුරවැසි ප‍්‍රජාවක් වශයෙන් බැඳ තබන්නේ, එකී මූලික ප‍්‍රතිපත්ති පිළිබඳ සම්මුතියෙනි.

ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියක් ගැන අගමැතිතුමා කතා කොට තිබේ. විවිධ තරාතිරමේ මිනිසුන්ගේ අදහස් උදහස් ඒ සඳහා ලබා ගනු ලැබේ. පාර්ලිමේන්තුවේදී ඒ කාර්යය කරන්නේ කෙසේද යන්න ගැන නිමක් නැති තර්ක විතර්ක කෙරේ. 2009 ජුලි 7 වැනි දා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එම්. එම්. නවුෂාඞ් එක් සැසි වාරයක් අමතමින් මෙසේ කීය: ‘‘අපව බලයට පත්කරන මිනිසුන්ව බලගන්වන්නේ කෙසේද යන්න අපි කතා කරමින් සිටිමු. අප එසේ බලගන්වන්නේ ඉන්දියානුවන් හෝ පාකිස්තානුවන් හෝ චීන්නුන් නොවේ. අප බලගන්වන්නේ අපේම මිනිසුන්වයි. එසේ නම් අපේම මිනිසුන්ව බල ගැන්වීම ගැන අප ගහමරා ගන්නේ ඇයි?’’

ජනතාවගේ අදහස් විමසීමට අප බිය වන්නේ ඇයිද යන ප‍්‍රශ්නය මටද තිබේ. ව්‍යවස්ථාවකින් බොහෝ ප‍්‍රතිඥා දෙන පුරවැසි පිරිසත් ඔවුන්ම නොවේද? අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැඩරුව සහ අන්තර්ගතය සකසන ආකාරය තීන්දු කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය සහ නිදහස සීමා කිරීමට එක රාජ්‍ය අංශයකට අයිතිය තිබේද? අවසානයේ ගත් විට, ව්‍යවස්ථාවකින් ස්ථාපිත කරන්නේ ‘එක්සත් භාවය’ සහ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි’. ‘සමාජ විප්ලවය’ සිදුවන්නේ ඒ මගිනි. රාජ්‍ය යන්ත‍්‍රයට එරෙහිව ව්‍යවස්ථාවකි පුද්ගල අයිතීන් සහ නිදහස ආරක්ෂා කර දෙනවා පමණක් නොව, සමාජයේ දුර්වල සහ අවවරප‍්‍රසාදිත කොටස්වල උවමනා එපාකම්ද ඒ මගින් ඔසවා තබනු ලැබේ.

රාජ්‍යය යන යාන්ත‍්‍රණය කෙරෙහි වන අයිතියක්, ගොවීන්ට, ධීවරයන්ට, කම්හල් සේවකයන්ට, ළමයින්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, සමෘද්ධිලාභීන්ට, වැන්දඹුවන්ට, අනාථ දරුවන්ට, අඳ ගොළු බිහිරන්ට, සිරකරුවන්ට සහ සතා සීපාවාට මෙන්ම ගහකොළටත් තිබේ.

අගමැතිවරයා සඳහන් කළ උපදේශන ක‍්‍රියාවලිය තුළ හැමගේම අදහස් උදහස්වලට තැනක් තිබිය යුතුය. එවැනි උපදේශන යාන්ත‍්‍රණයක් යනු කුමන්ත‍්‍ර‍්‍රණයකැයි ඇතැම්හු කියති. එය රට බෙදීමට ඉවහල් වෙතැයි තවත් සමහරු කියති.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ ප‍්‍රයත්නයන් ව්‍යර්ථ වූ අවස්ථා තිබේ. ඒ අතරින් වඩාත් පුළුල් වූ ක‍්‍රියාවලිය වුණේ මංගල මුණසිංහ තේරීම් කාරක සභාවයි. පේ‍්‍රමදාස සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් වසරකට පසු 1991 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කෙරුණි. එහි අරමුණ වුණේ, ලංකාවේ සාමය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමේ මං සෙවීමයි. මෙවැනි කමිටුවක් පත් කරගත යුතු බවට යෝජනා කළ මංගල මුණසිංහව එම කමිටුවේ සභාපති වශයෙන් පත්කර ගැනුණි. සාමාජිකයන් 45 දෙනෙකුගෙන් සැදුම්ලත් එය, ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම තේරීම් කාරක සභාව විය. එය 49 වාරයක් රැස්වූ අතර, සුළු පක්ෂවල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේද, සිවිල් කණ්ඩායම්වලද සහාය ඊට හිමි විය. ඔවුහූ, මේ කමිටුවේ සැලකිල්ලට යොමු කිරීම සඳහා යෝජනා 253 ක් ඉදිරිපත් කළහ. ප‍්‍රධාන පක්ෂ දෙක කිසි යෝජනාවක් ඉදිරිපත් නොකළ අතර, එල්ටීටීඊ සංවිධානයත් යෝජනා ඉදිරිපත් කෙළේ නැත.

විශ්වසනීය දේශපාලන සම්මුතිය

විශ්වසනීය දේශපාලන සම්මුතියකට එළැඹීමට තේරීම් කාරක සභාව අසමත් වුවත්, එහි සාකච්ඡා වාර හරහා වැදගත් සාධනීය කරුණු ඉදිරිපත් විය. එල්ටීටීඊ සංවිධානය හැරුණු විට දෙමළ පක්ෂ ඒකාබද්ධ සන්දේශයක් ඉදිරිපත් කෙළේය. ඒ වන විට එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රහාරයන්ට බිළි වී සිටි උතුරු නැගෙනහිර වෙසෙන මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාව සහ ආරක්ෂාව රැක දෙන ක‍්‍රමවේදයන් ගැන මෙම තේරීම් කාරක සභාව මුස්ලිම් කොන්ග‍්‍රසය සමගත් සාකච්ඡා පැවැත්වීය. අන්තර්-පක්ෂ සහයෝගීතාව සහ මංගල මුණසිංහගේ කැපවීම නිසා, උතුරු නැගෙනහිර දෙපළාත එක් කිරීමේ/වෙන් කිරීමේ ප‍්‍රශ්නයට අදාළ අදහස් උදහස්ද ලබා ගැනීමට හැකි විය.

සභාපතිවරයා විසින් තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන ලද ‘විකල්ප පත‍්‍රිකාව’ තුළින්, සුවිශේෂි බලතල සහිත සහ තනි ආණ්ඩුකාරයෙකු සහිත උතුරු-නැගෙනහිර ප‍්‍රාදේශීය මණ්ඩලයක් ඇති කිරීමට යෝජනා කෙරුණි. මේ මණ්ඩලයට උතුරු පළාත් සභාවේ සහ නැගෙනහිර පළාත් සභාවේ සියලූ මන්ත‍්‍රීවරුන් ඇතුළත් වන අතර, ආණ්ඩුකරණයේ වෙනත් කාරණා ගැන ඔවුන් වෙන වෙනම සාකච්ඡා පවත්වනු ඇත. පළාත් දෙකේ මහ ඇමතිවරුන් මාරුවෙන් මාරුවට මේ මණ්ඩලයේ සභාපතිත්වය දරනු ඇත.

දෙමළ පක්ෂ විසින් මේ ‘විකල්ප පත‍්‍රිකාව’ ප‍්‍රතිකේෂ්ප කරනු ලැබුවත්, අඩු වශයෙන් ශ‍්‍රී ලංකාවේ මට්ටමෙන් ගත් කල, ඒ වූ කලී, පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ අතරේ පැවති පරතරය අවම කෙරෙන නිර්මාණාත්මක ප‍්‍රයත්නයක් විය.

2016 ක‍්‍රියාවලිය, සිවිල් යුද්ධය ඇවිලවූ හේතුවලින් එහාට යා යුතුව තිබේ. 2015 දී ජනාධිපතිවරයාත්, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධානත්, වැඩියත්ම සැළකිලිමත් වුණේ විධායක බලතල ගැන ය. ඒ හා සමානම වැදගත්කමකින් යුත් තවත් කරුණු තිබේ. ජීවිතයට ඇති අයිතිය, පරිසරයට ඇති අයිතිය සහ නිවහනකට ඇති අයිතිය වැනි අංග ඊට ඇතුළත් ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෞෂාඞ් 2009 දී මෙසේ ද කීය: ‘‘අප සියල්ලන්ම මේ ලෝකය බෙදාහදා ගන්නේ ඉතා කෙටි කාලයකටයි. ප‍්‍රශ්නය වන්නේ, ඒ කෙටි කාලය අප එකිනෙකාගෙන් ඈත් කරවීම සඳහා පාවිච්චි කරන්නේද, නැත්නම්, අපේ දරුවන් සඳහා අනාගතය ගොඩනැගීමට සහ සෑම මිනිස් ජීවියෙකුගේම අභිමානයට ගරු කිරීම සඳහා පාවිච්චි කරන්නේද යන්නයි. යුද්ධ අවසන් කරනවාට වඩා ඒවා පටන් ගැනීම පහසු ය. තමන්ව විවේචනය කරගන්නවාට වඩා අනුන්ව විවේචනය කිරීම පහසු ය. අප අතර ඇති පොදු දේවල් හඳුනා ගන්නවාට වඩා වෙනස්කම්වල එල්ලීම පහසු ය. කෙසේ වෙතත්, අප තෝරා ගත යුත්තේ නිවැරදි මාවත මිස පහසු මාවත නොවේ.’’

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන පොදු පදනමක් සොයා ගැනීම සඳහා මේ වදන් මහෝපකාරී වෙයි.

නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක‍්‍රියාවලිය ගැන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින්, පසුගිය දා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප‍්‍රකාශ කොට සිටියේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයක අනුමැතිය සහිතව, ‘ජාතික ප‍්‍රශ්නය විසඳන ව්‍යවස්ථාමය ක‍්‍රියාවලියක් සඳහා ජනතාවගෙන් බහුතරයක කැමැත්ත දිනාගත යුතු’’ බවයි.

ජීවන් ත්‍යාගරාජා

2016 ජනවාරි 22 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Constitutional Lessons Offered from the Past නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

- Melani



2016-01-26
Advertisement

Find us on Facebook