English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මට විසදන්න දස ලක්ෂ 21ක් ප්‍රශ්න තිබෙනවා !

අද අපි ජීවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. සෑම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්, සෑම කෙනෙකුටම නිදහසේ ලියන්න පු`ථවන්, සෑම කෙනකුටම නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් සෑම කෙනකුටම නිදහසේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් සමාජයක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිකෙරුණු හයිඩ්‍රාමනී නව ඇඟලුම් කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවය අමතමින් අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා

මුලතිව් ප්‍රදේශයේ තරුණ දරුවන් ඇතුළු ඔබ සියලුදෙනා හමුවීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙම ඇඟලුම් කම්හලේ සේවය කරන්නේ 90%ක්ම තරුණ පිරිස. තරුණයින්ගේ ලේවලින් තමයි රටක් ගොඩනගන්න පුළුවන්. ඒ තරුණ ලේවලට සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව සමාජයේ සාමුහිකත්වය, සහජීවනය පිළිබඳ අවබෝධය දීම ඉතා අවශ්‍යයි. ඒ නිසා ජාතියක අනාගතය වන්නේ සෑමවිටම තරුණ පරපුරයි. තරුණයින්ගේ ප්‍රශ්න විසඳීම කියන්නේ රටේ ප්‍රශ්න විසඳීමයි. මේ රටේ ජනගහනය දැනට දස ලක්ෂ 21ක් පමණ සිටිනවා.

ඉන්දියාවේ ඉතා කීර්තිමත් අග්‍රාමාත්‍යවරයකු වූ ජවහර්ලාල්නේරු මැතිතුමා ජාත්‍යන්තර සමුළුවකට ගිය අවස්ථාවේ සිදු කළ ප්‍රකාශයක් මගේ මතකයේ තිබෙනවා.ජවහර්ලාල්නේරු මැතිතුමා ඉන්දියාවේ අගමැති වන විට රටේ ජනගහනය හිටියා කෝටි 60ක්. රාජ්‍ය නායකයෙක් එතුමාගෙන් ඇහුවා ඔබ දැන් රටේ රාජ්‍ය නායකයා විදිහට පත්වෙලා සෑහෙන කාලයක් වෙනවා බොහෝදුරට රටේ ප්‍රශ්න විසඳලා ඇති නේද කියලා. ඒ අවස්ථාවේ ඉන්දීය අගමැති ජවහර්ලාල්නේරු මැතිතුමා ඉතා හොඳ උත්තරයක් දුන්නා. එතුමා දුන්න උත්තරය මටත් අද වලංගුයි කියලා මම විශ්වාස කරනවා. ජවහර්ලාල්නේරු මැතිතුමා කිව්වා මම රටේ අගමැතිවරයා වන විට රටේ ජනගහනය කෝටි 60ක් නිසා මට විසඳිය යුතු ප්‍රශ්න කෝටි 60ක් තියනවා කියලා. ඒ නිසා මමත් විශ්වාස කරනවා මම ජනාධිපතිවරයා විදිහට දස ලක්ෂ 21ක් ප්‍රශ්න මට විසඳිය යුතුව තිබෙනවා. ඒ ප්‍රශ්නවලින් කොටසක් මේ ප්‍රදේශයේ හයිඩ්‍රාමනී ආයතනය විසඳලා තිබෙනවා. රජය විසින් කළ යුතු දෙයක් පෞද්ගලික අංශයේ කීර්තිමත් ආයතනයක් විදිහට හයිඩ්‍රාමනී ආයතනය කරලා තිබෙනවා. එම ආයතනයට රජය විදියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

උතුරේ තිබෙන ප්‍රශ්න දෙස බලන විට මගේ ඔළුවේ තිබුණු ප්‍රශ්නවලින් යම් ප්‍රමාණයක් මේ තුළ අඩුවුණා කියලා මට විශ්වාස කරන්න පුළුවන්. ඔබ අප සෑම කෙනෙක්ම මේ සංවර්ධනය සඳහා එකට එක් විය යුතුයි. මෙතැන සිටිනව බෞද්ධ, කතෝලික, හින්දු පූජකතුමාලා, විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය ගැන කියන විට මිනිසාගේ යහපත සඳහා බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටකය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි හින්දු ආගමික දර්ශනය ගැන කතා කරන විට භගවත් ගීතාව හින්දු දර්ශනය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි කතෝලික ආගම පිළිබඳ අපි කථා කරන විට බයිබලයේ ඉතා පැහැදිලිව ක්‍රිස්තු ධර්මය සඳහන් වෙනවා. ඉස්ලාමීය ධර්මය ගැන කතා කරන විට කුරානයේ ඒ පිළිබඳව පැහැදිලිව දර්ශනය වෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා ත්‍රිපිටකයත්, කුරානයත්, බයිබලයත්, භගවත් ගීතාවත් අනුව මේ මානව සමාජය ශිෂ්ට කරන්න, යහපත් කරන්න තමයි ප්‍රමුඛත්වය ගත යුත්තේ කියලා.

යුද්ධය පැවති කාලයේ මේ ප්‍රදේශයේ තිබුණේ මහා භීෂණයක්. ඔබ සෑම කෙනකුටම යුද්ධයේ ඉතාම කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය පිළිබඳ කටුක අත්දැකීම් මටත් තිබෙනවා. යුද්ධය කියලා කියන්නේ කිසි කෙනකුට හොඳ දෙයක් නෙවෙයි.

මගේ මතකයේ තිබෙනවා මම ගිය මාසේ ඉතාලියට ගොස් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේ උන්වහන්සේ කළ ප්‍රකාශයක්. පාප් වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ තිබෙන ත්‍රස්තවාදය සහ යුද්ධය පිළිබඳ ඔබේ අදහස කුමක්ද කියලා. මම ඒ වෙලාවේ උන්වහන්සේට කිව්වා යුද්ධය කියන්නේ මුළු මානව සමාජයටම ඉතාම ඛේදවාචකයක්. එය කිසිසේත් මිනිසුන්ට අයිති දෙයක් නොවෙයි කියලා. ලෝකයේ යුද්ධ කරන සෑම කෙනෙක් අතේම ආයුධ තිබෙනවා බව ඔබ දන්නවා නේද කියලා පාප් වහන්සේ මගෙන් ඇහුවා. නමුත් ඒ යුද්ධ කරන එක්කෙනෙක්වත් ආයුධ හදන්නේ නැහැ නේද කියලා ඇහුවා.

ආයුධයක් අරගෙන කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න හදන කෙනාටත්, ඒ අයුධය අතේ තිබෙන කෙනාටත් ඒ ඉරණම අත්වෙනවා නේද කියලා මගෙන් ඇහුවා. ඒ නිසා උන්වහන්සේ කිව්වා ආයුධ අතේ තියාගෙන යුද්ධ කරන, තුවක්කු පත්තු කරන අය නෙවෙයි වැරදිකාරයෝ කියලා. ඒ ආයුධ හදන, ආයුධ නිෂ්පාදන කරන අයයි වැරදිකාරයෝ කියලා කිව්වා. ඒ වගේම උන්වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ ආයුධ හදන්නේ කවුද කියලා දන්නවා නේද කියලා. ඒ නිසා ආයුධ, තුවක්කු, වෙඩි උණ්ඩ කියන දේවල් මේ සමාජයේ මිනිසුන්ට අයිති දේවල් නෙවෙයි.

ඒ නිසා අපි හැම කෙනෙක්ම ආගමික දර්ශනයන්, න්‍යායන් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ සිත් දිනා ගැනීම තුළ තමයි යහපත් සමාජයක් ගොඩ නැගිය හැකිවන්නේ. එහිදී මිනිසුන්ට හොඳ ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්ගේ ජීවත්වීමේ ප්‍රශ්න විසඳිය යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ දුප්පත්කමකට විසඳුම් අවශ්‍ය වෙනවා.

මම මේ කර්මාන්තශාලාවේ ඇවිදලා බලන විට මේ තරුණ දරුවෝ එක්ක කතා කළා. ඒගොල්ලන්ගෙන් මම ඇහුවා මොනවද ඔබට තිබෙන ප්‍රශ්න කියලා. මේ කර්මාන්තශාලාවේ රැකියා ලැබීම ගැන ඒ හැම කෙනෙක්ම සතුටුවෙනවා කියලා කිව්වා. හුඟදෙනෙක් කිව්වා අපි ඉතාම සතුටින් ඉන්නේ කියලා. ඊට පස්සෙ මම ඇහුවා ඔබට ගමේ තිබෙන ප්‍රශ්න මොනවද කියලා. සමහර අය කිව්වා අපේ ගමේ යන්න පාරවල් නැහැ. පාරවල් ටික හදලා දෙන්න කියලා. සමහර අය කිව්වා අපේ ගමට විදුලිය නැහැ. විදුලිය ලබා දෙන්න කියලා. සමහර අය කිව්වා අපේ ළමයින්ට ඉගෙන ගන්න පාසලේ අඩුපාඩු හදලා දෙන්න කියලා.

ඒ වගේම තවත් කිහිපදෙනෙක් ප්‍රශ්න දෙකක් මට කිව්වා. යුද්ධය කාලේ අපේ අතුරුදන්වූ අය තවම හමුවුණේ නැහැ, ඒ අය සොයලා දෙන්න කියලා. ඒ වගේම කිව්වා යුද්ධය නිසා සිරභාරයේ සිටින අය අපිට නිදහස් කරලා දෙන්න කියලා. මම ඒ සෑම ප්‍රශ්නයක්ම මගේ මනසට ගත්තා. ඒ සෑම ප්‍රශ්නයකම අපි විසඳගෙන ඉදිරියට යන්නේ කියන එක මම මේ වෙලාවේ මේ දරුවන්ට කියන්න ඕන. අපි මේ ඉදිරි කාලය තුළ මේ ප්‍රශ්න සියල්ල විසඳනවා. මේ වගේ ස්ථානයකට ඇවිල්ලා ඔබ හමුවීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ ප්‍රශ්න ලෝකයේ අපිට විතරක් තිබෙන ප්‍රශ්න නෙවේ. ලෝකයේ බොහෝ රටවලට මීට වඩා ප්‍රශ්න තිබෙනවා.

මේ දරුවෝ දැක්කහම මට ඉතා සතුටක් ඇති වුණා. උතුරේ සහ දකුණේ මේ රටේ සිටින සියලු තරුණ පිරිස, සියලු ජනතාව සහෝදරත්වයෙන්, විශ්වාසයෙන් සහ සතුටින් ජීවත්වනු දැකීම තමයි අපිට අවශ්‍ය. යුද්ධයක් නැවත මේ රටේ ඇතිවීම වැළැක්වීම සඳහායි ප්‍රධාන වශයෙන් අපේ රජය ක්‍රියා කරන්නේ. යුද්ධය ඇතිවීමට හේතු මොනවද කියලා අපි හොදින් සොයා බැලුවා. ඊට අවශ්‍ය විසඳුම් සහ පිළියම් තමයි අපි රජයක් විදිහට කරගෙන යන්නේ. ඒ තුළ ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ රටේ ජීවත්වන සියලු ජනතාව අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැගීමයි. අද අපි ජීවත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. සෑම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්, සෑම කෙනෙකුටම නිදහසේ ලියන්න පු`ථවන්, සෑම කෙනකුටම නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් සෑම කෙනකුටම නිදහසේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්.

රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අංශ කිහිපයක් කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය අවසන් කරලා මේ රට සාමකාමී කරන්න මේ රටේ සෑම ජන කොටසකටම වුවමනාව තිබුණා. ඒ නිසා යුද්ධය අවසන් කරලා සාමය ඇති කරන්න මේ රටේ සියලු දේශපාලඥයින් සහ සියලු පොදු ජනතාව එක්වුණා. නිදහසක් නැති සතුටක් නැති, ප්‍රජාතන්ත්‍රවාදය නැති ත්‍රස්තවාදී සමාජය සම්පූර්ණයෙන් වෙනස් කරලා රටට සාමය ලබාදෙන්න අපේ රටේ ආරක්ෂක හමුදාව ඇතුළු පොලිසිය විශාල කැපකිරීමක් කළා. ඒ ආරක්ෂක හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් මේ රටට සාමය ලබාදීමට කටයුතු කිරීම අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

මේ වැඩ කරන පිරිස් අතරේ යුද්ධයේදී තමන්ගේ ස්වාමියා අහිමිවූ වැන්දඹු කාන්තාවන් සිටිනවා. එම යුද්ධය නිසා ස්වාමියා අහිමි වූ වැන්දඹු කාන්තාවන් උතුරේ සහ දකුණේ මුළු රටේම ඉන්නවා. ඒ සියලුදෙනා දෙස ඉතා කාරුණිකව බලලා රජයක් විදියට ඒ අයගේ පෞද්ගලික ජීවිත සාර්ථක කිරීමට අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම මේ කර්මාන්තශාලාවේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස් වැඩ කරනවා. ඔවුන් මට හමුවුණා. මෙවැනි පිරිස් උතුරේ වගේම දකුණේත් රට පුරාමත් සිටිනවා. ඒ අයගේ සුබසාධනය සඳහා අපි රජයක් ලෙස කටයුතු කරනවා. අපේ රජයේ වගකීම ඒ සියලුදෙනා වෙනුවෙන් ඉෂ්ට කරනවා.

යුද්ධය පැවති උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. මේ සෑම කෙනෙක්ම සතුටින්, නිදහසේ ඉන්නවා දැකීම තමයි අපිට අවශ්‍ය වන්නේ. මේ මිනිසුන්ගේ ජීවිත සතුටින් තබන්න වැලි, ගඩොල්, සිමෙන්ති, යකඩවලට පුළුවන්කමක් නැහැ. අපේ රජය සෑමවිටම කටයුතු කරන්නේ මිනිසුන්ගේ හිත් එකතු කිරීම සඳහායි. ජනතාවගේ හදවත් එකතු කිරිම සඳහායි. කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමකට අයත් වුණත් ඒ සෑම කෙනෙක්ටම සහෝදරත්වයෙන්, සතුටින්, විශ්වාසයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීමයි අපේ අරමුණ.

අපේ අලුත් රජයට විදේශ ආයෝජන විශාල වශයෙන් ලැබෙනවා විදේශ රටවලින්. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයින් විශාල වශයෙන් අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනවා. ඒ දේශීය, විදේශීය ආයෝජකයින්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සෑම කෙනෙක්ම කියන්නේ මේ රටේ දැන් සාමය තිබෙනවා, නිදහස තිබෙනවා හොඳින් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියලා.

උතුරු ප්‍රදේශයේ රැකියා නැති විශාල තරුණ පිරිසක් සිටිනවා. හයිඩ්‍රාමනී සභාපතිතුමා මේ කර්මාන්තශාලාව දැම්මා වගේම උතුරට තවත් කර්මාන්තශාලා හැකි පමණ එවීමට අපි පෞද්ගලික අංශය සමග, ආයෝජකයින් සමග කතා කරලා ඒ කටයුතු කඩිනම් කරනවා.

විශේෂයෙන්ම මට උතුරේ දරුවන්ට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වන බව පේනවා. මත්ද්‍රව්‍ය කියන්නේ ආයුධවලට වඩා නරක දෙයක්. ඔබ සෑම කෙනකුගේම ජීවිත මත්ද්‍රව්‍යවලින් විනාශ කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතය අතහරින්න කියලා ඔබ සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලීමක් කරනවා. මේ තරුණ සිත් වේගයෙන් නොයෙකුත් දිශාවන්ට ගමන් කරන බව අපි දන්නවා. නමුත් මේ ප්‍රශ්නවලට විසඳුම මත්ද්‍රව්‍ය නොවෙයි කියන එක අපි කවුරුත් හිතාගන්න ඕන. මේ උතුරේ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වන එක වැළැක්වීම සඳහා අපේ රජය ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරලා තිබෙනවා. මීට වඩා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.


උපුටා ගැනීම - LankaNewsAlert
- Melani



2016-01-26
Advertisement

Find us on Facebook