English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය අයිතිය ද මුලික මානව අයිතියකි !
ජනතා සෞඛ්‍ය සංසදය විසින් ද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් එකතු කරන්නට සිය යෝජනා ඊයේ (20)අදහස් කමිටුව වෙත ඉදිරිපත් කළේය.

අදහස් කමිටුවට සිය යෝජනා ඉදිරිපත් කරන්නට පැමිණි සිටි ජනතා  සෞඛ්‍ය සංසදයේ සම කැඳවුම්කරු සිරිමල් පිීරිස් මහතා අදහස් දක්වමින් අයිතිය ඇසු ප‍්‍රශ්න කිහිපයකට මෙසේ පිළිතුරු ලබාදුණි.

ශ‍්‍රි ලාංකිය ජනතාවගේ "සෞඛ්‍ය" ප‍්‍රශ්නයක් ලෙසට ඔබ සංසදය දකින්නේ කෙසේද ?

ඔව් ඇත්තෙන් ම සෞඛ්‍ය කියන්නේ මිනිසාගේ මුලික අයිතියක්. ශ‍්‍රී ලංකාව තුළ රාජ්‍ය වගකීමක් විය යුතුව තිබෙන මේ සෞඛ්‍ය සේවාව අද පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙමින් පවතිනවා. ඒ නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පමණක් නෙවෙයි, සත්කාර සේවාවනුත් පිරිහෙමින් පවතිනවා. මේ හේතුව නිසා රජයේ රෝහල්වලින් ප‍්‍රථිකාර ලබාගන්නා රෝගීන් ඒ අයට අවශ්‍ය ඖෂධ සඳහා වගේම ඔවුන්ට කරන්නට සිදුවන විවිධ පරීක්‍ෂණ කටයුතුවලට පෞද්ගලීක ආයාතන වලට විශාල මුදලක් වැය කරන්න සිදුවෙනවා. මේ නිසා මොවුන් අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා.

අපේ රටේ බොහෝ සංවිධාන, පුද්ගලයෝ නොයෙකුත් අයිිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. උද්ඝෝෂණ පවත්වනවා ඒ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන්. නමුත් කියන්න කණගාටුයි, මේ කිසිම කෙනෙකු තමන්ගේ සෞඛ්‍ය අයිතිය කියන මූලික අයිතිවාසිකම දිනාගැනීම වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. සමාජය තුළ දැවැන්ත ප‍්‍රශ්නයක්ව පවතින ඒ අයිතිය ගැන දැනිලා නැහැ.
 
මේ සම්බන්ධයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන්නට කියා ඔබ සංසදය ඉල්ලා සිටියේ කුමක් ද ?

සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදි මේ පීඩාකාරි තත්ත්වයෙන් මිදීම සඳහා මිනිසාගේ සෞඛ්‍ය මුලික අයිතියක් ලෙසට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතින් තුළට ඇතුලත් කරන ලෙසට ජනතා සෞඛ්‍ය සංසදය ඉල්ලා සිටින්නේ. 

"සෑම පුරවැසියෙකුටම මුහුණදීමට සිදුවන රෝගයක්, ආබාධායක් හෝ අනතුරකදී රජයේ වියදමින් නොමිලේ ප‍්‍රථිකාර ලබාගැනීමට ද බෝවන හෝ බෝ නොවන රෝග සහ ආබාධ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නිවාරණ සහ උපදේශන සේවාවන් ගුණාත්මකව සහ සාධාරණව ලබාගැනීමට සෑම පුරවැසියෙකුටම මුලික අයිතියක් ඇත." යන මේ වගන්තිය ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලෙසට අපි ඉල්ලා සිටියා. 


ජනතා සෞඛ්‍ය සංසදය සර්වෝදය සංගමයේ සම්බන්ධීකරණය යටතේ ක‍්‍රියාත්මක වන අතර සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති, වෘත්තිකයින්ගේ සංවිධාන සහ පෞද්ගලීක ක‍්‍රියාකාරින්ගේ සහභාගිත්වය තුළ වසර 15ක කාලසීමාවක් ක‍්‍රියාත්මකව පවතිනු ලබන මහජන ව්‍යාපාරයක් බව එහි කැඳවුම්කරු සිරිමල් පීරිස් මහතා වැඩිදුරටත් අයිිතියට කියා සිටියේය.


ජායාරූප හා සංවාදය  -  මෙලනි මානෙල් පෙරේරා



2016-01-21
Advertisement

Find us on Facebook