English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියන මේ කථාව ගැන ඔබට මොකද හිතෙන්නේ ?

අපරාධකරුවන් නිදැල්ලේ - පරීක්ෂණ අවසන්-ක්‍රියාමාර්ග නෑ

රාජපක්ෂ පාලනය බලය පාවිච්චි කරමින් අපරාධ සිදුකළ බවත්, මේ ආණ්ඩුව බලය රැකගැනීම සඳහා අපරාධකරුවන් ආරක්ෂා කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ (18) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.


මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසරක් ගෙවෙන මොහොතේ ආණ්ඩුවට බලපෑම් කරන්න සිද්ධ වුණා, ජනවරමට අනුව කටයුතු කරන්න කියලා. එහෙම කරන්න සිද්ධ වුණේ මේ ආණ්ඩුව බලයට පත්වෙලා ජනතාවගේ අපේක්‍ෂාවන්ට පිටුපාලා කටයුතු කරන නිසයි. 2015 ජනවාරි 08වැනිදා මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම මොකක්ද? පසුගිය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම සඳහා ඊට එරෙහිව මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට ලක්‍ෂ 62ක ඡන්ද ප‍්‍රමාණයක් ලැබුණා. ඒ වෙලාවේ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, බුද්ධිමතුන් මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමේ සටනට එකතු වුණා. ඒ, මෛතී‍්‍රපාල මහත්තයාට ආණ්ඩුවක් හදල දෙන්න නෙවෙයි ප‍්‍රධාන අරමුණ වුණේ දූෂිත රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමයි.

පසුගිය පාලනය පරාජය කරපු ජනතාව රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය බලාපොරොත්තු වුණා. මොකද, පසුගිය රාජපක්‍ෂ පාලනය තුළ විශාල අපරාධ රැල්ලක් සහ රාජ්‍ය දේපොළ ගසාකන නාස්තිකරන, කල්ලියක් බිහිවෙලා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යහපාලනයත් අහිමි වෙලා තිබුණ නිසා. එවැනි පාලනයක් පරාජය කරලා බිහිවුණු ආණ්ඩුව වසරක් ගතවෙලත් ජනතාවට දුන්නු පොරොන්දු, ජනතාවගේ අපේක්‍ෂා ඉටුකරන්න සමත් වෙලා නැහැ. පසුගිය පාලන කාලය තුළ මිනිස් ඝාතන සිදුවුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගත්තා. පුද්ගලයින් අතුරුදහන් කළා. කී‍්‍රඩකයින් මහමග මරා දැමුවා. ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාලන කාලය තුළ පරීක්‍ෂණ සිදුකළේ නැහැ. ඒ නිසාම රටේ ජනතාවට අවශ්‍ය වුණා, එම අපරාධයන්ට  එරෙහිව අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම මේ ආණ්ඩුවෙන් සිදුවෙයි කියලා.

 ඒ වගේම බරපතළ මූල්‍ය වංචා සිදුවුණා. ඒවාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න  ඕන කියලා මෛත‍්‍රීපාල මහත්තයා මහින්දට එරෙහිව ඡන්දය ඉල්ලූවා. ඒ වෙලාවේ මෛතී‍්‍රපාල මහත්තයා ඔහුට සහාය ලබාදුන්න එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික‍්‍රමසිංහත් වේදිකාවල කිව්වා, වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් ලබාදෙනවා කියලා. නමුත් ඔවුන් බලය ගත්තාට පස්සේ ඒ සියලූ පොරොන්දු අමතක කර දමා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහත් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයත් වංචා-දූෂණ පිළිබඳ සටන් පාඨය අතට ගත්තේ බලය ලබාගන්න පමණයි කියලා දැන් ඔප්පු වෙමින් තිබෙනවා. බලය ලබාගත්තට පස්සේ ඒ සටන් පාඨ සියල්ල අත්හැරලා තිබෙනවා.

2015 ජනාධිපතිවරණයෙන් පස්සේ හදපු දින 100 ආණ්ඩුව කාලය තුළත් වංචා-දූෂණ සම්බන්ධයෙන් මොකුත් සිදුවුණේ නැහැ. බැසිල් රාජපක්‍ෂ පමණක් අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළා, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව කිසිවෙකු අත්අඩංගුවට ගන්න එපා කියලා. එම නියෝගයෙන් පස්සේ පොලීසියට දූෂිතයින් අත්අඩංගුවට ගැනීමේ බලය අහිමි වුණා. පරීක්‍ෂණ පවත්වලා වාර්තාවක් බාරදීලා බලාගෙන ඉන්න තත්වයට පොලීසිය පත්වුණා. නීතිපති කියන්නේ රජයේ නියෝජිතයා. ඒ කියන්නේ ආණ්ඩුවේ මැදිහත්කරුවා. නමුත් පොලීසිය විසින් පරීක්‍ෂණ සිදුකළත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුවිය යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සිදුවුණේ නැහැ. ඒ වෙලාවේ කිව්වා, අගෝස්තු මැතිවරණයෙන් පස්සේ අලූත් ආණ්ඩුවක් හදලා දූෂිතයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්නවා කියලා. නමුත් සිදුවුණේ හවුල් ආණ්ඩුවක් හදලා වංචා-දූෂණවලට එරෙහි කි‍්‍රයාමාර්ග සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමයි. රාජපක්‍ෂ පාලනය පරාජයට පත්කරලා වසරක් ගතවී තිබුණත් එම පාලන කාලයේදී සිදුවූ වංචා-දූෂණවලට, ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුට එරෙහිව අත්අඩංගුවට ගැනීමක්, නඩු ඇසීමක්, සිරගත කිරීමක් සිදුවුණේ නැහැ.

මීට වගකිව යුත්තේ ආණ්ඩුවයි. මේ සම්බන්ධයෙන් කටයුතු කරන කිසිදු ආයතනයක් මීට වගකිව යුතු නැහැ. මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්‍ෂණ පවත්වලා වාර්තා නීතිපතිවරයාට යවලා තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක වෙලා අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය යටතේ ඇයගේ සීමාව තුළ පරීක්‍ෂණ සිදුකරමින් තිබෙනවා. එම ආයතන නීතිපතිවරයාට වාර්තා යවලා තිබුණත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගන්නේ නැහැ. අපරාධකරුවන් නිදැල්ලේ ඉන්නවා. පොදු දේපළ පනත යටතේ ජනතා මුදල් සොරා කෑ පුද්ගලයින්ට ඇප ලබාදෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ වනවිට මහා පරිමාණ ආකාරයෙන් ජනතා මුදල් ගසාකෑ අපරාධකරුවන් නිදැල්ලේ ඉන්නවා. පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක්වුණු මිලියන ගණනක සිල්රෙදි බෙදාදීම් සම්බන්ධනේ චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. පසුගිය ආණ්ඩුව වගේම වර්තමාන ආණ්ඩුවත් පොඩි මිනිහට නීතිය කි‍්‍රයාත්මක කරන අතර දේශපාලන බලවතුන්ට නීතිය කි‍්‍රයාත්මක කරන්නේ නැහැ.

මේ වනවිටත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් හෙජින් ගනුදෙනුවේ සිට මේ දක්වා සිදුවූ දූෂිත ගනුදෙනු 198ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරනවා. පැමිණිලි 30ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා යවා තිබෙනවා. එසේ තිබියදී ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කි‍්‍රයාමාර්ග ගන්නේ නැහැ. අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරලා නැහැ. ආණ්ඩුව ජනතාවට බොරු ප‍්‍රකාශ කරමින් ඉන්නවා. මංගල සමරවීර ඇමතිවරයා පසුගියදා මාතරදී කියා සිටියා, ‘වංචා-දූෂණවලට එරෙහිව කි‍්‍රයාමාර්ග නොගන්න එක ගැන කලබල වෙන්න එපා, අපි ඒ සම්බන්ධයෙන් ජනතාව පුදුම කරවන කි‍්‍රයාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා’ කියලා. නමුත් තවමත් කිසිදු දෙයක් සිදුවෙලා නැහැ. කි‍්‍රයාමාර්ග ගන්න පාටකුත් නැහැ. අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යනවිට විවිධ දේශපාලන කාරණා පටලවනවා. 2016 සඳහා අයවැය ඉදිරිපත් කළ පසුව ඒ සම්බන්ධයෙන් සංවාදයක් හදා ගනිමින් වංචා-දූෂණවලට එරෙහි කි‍්‍රයාමාර්ග පස්සට දැම්මා. මේ වෙලාවේ අලූත් ව්‍යවස්ථාවක් හදනවා කියලා වංචා-දූෂණ පිළිබඳ අවධානය වෙනත් පැත්තකට යොමුකර තිබෙනවා. දේශපාලන කාරණා සමඟ මෙම පරීක්‍ෂණ පටලවා ගන්න ගියොත් අපරාධකරුවන් කවදාවත් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ.

උපුටා ගැනීම- අද දෙරන
- මෙලනි




2016-01-19
Advertisement

Find us on Facebook