English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සිංහ ලේ නොව, ‘වඳුරු ලේ’

මේ ලිපිය, ජාතිවාදී උන්මාදයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන විශේෂිත කණ්ඩායමක් සම්බන්ධයෙන් මිස, කිසි ආගමක් හෝ ජාතියක් විවේචනය කිරීමේ අභිප‍්‍රායෙන් ලියැවෙන්නක් නොවේ. කෙසේ වෙතත්, මේ ලිපියේ අදහස වැරදියට ගැනීමට පාඨකයෙකුට ඇති මූලික අයිතියත්, ඒ ආශ‍්‍රයෙන්, ‘අදහස් දැක්වීමේ’ තීරුවේ ඔවුන්ගේ අදහස් පළ කිරීමට ඇති අයිතියත් මේ ලියුම්කරු පිළිගනී.

මේ සිද්ධිය වුණේ, මා කුඩා කාලයේ ය. අපේ ගමේ මහළු හුදෙකලා මිනිහෙක් සිටියේය. ඔහුගේ එකම සගයා වුණේ ඔහුගේ බල්ලා ය. ඒ එකම සගයාද දවසක මියගියේය. ඉන් කලකට පසු, මේ මහළු මිනිහාගෙන් බල්ලෙකුගේ වන් අසාමාන්‍ය ස්වභාවයක් ප‍්‍රදර්ශනය වන්ට විය. බල්ලාගේ ආත්මය ඔහුට වැසී ඇතැයි සමහරු කීහ. බල්ලෙකු ඔහුව හපා කන්ට ඇතැයි තවත් සමහරු කීහ. මේ අතර වෛද්‍යවරුන් කීවේ, තමා බල්ලෙකු මිස මනුෂ්‍යයෙකු නොවන වගට ඔහු තුළ ඇති යම් විශ්වාසයක් ඔහුගේ හැසිරීමේ වෙනසට හේතුව බවයි.

සත්තකින්ම, ඔබ බවට පත්වන්නේ, ඔබ යැයි ඔබ සිතන කෙනා ය. ඔහුට අනුව, ඔහු බල්ලෙකි. ඔහු එය විශ්වාස කෙළේය. ඒ විශ්වාසය උඩ ජීවත් වුණේය. ඔහු වනාහී, සාමාන්‍ය අවබෝධයක් සහිත, අන් සතුන්ට වඩා බුද්ධිය සහිත මනුෂ්‍යයෙකු බව මුළු ලෝකයාම ඔහුට කීහ. එහෙත් බලූ මිනිහා ඒ කතාව ප‍්‍රතික්ෂේප කෙළේය. බල්ලෙකු සේ ජීවත් වීමට ඔහුට අවශ්‍ය කළ අතර, ඇත්තෙන්ම ඔහු ජීවත් වුණේද බල්ලෙකු මෙනි. අවසානයේදී, යමෙකු ඉදිරිපත්ව ඔහුව, මන්තිකායි මානසික රෝහලට ඇතුළත් කෙළේය. එම රෝහලේදී ඔහු මියගියේ බල්ලෙකු මෙනි.

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු වේය යන්න රුදුරු යථාර්ථයකි. එය අපේ ඒකාකාරී දෛනික ජීවිතයේදී අපි අත්දකිමු. එහෙත් මට දැන් අභිමුඛ වන ප‍්‍රපංචය, ඊට වඩා පරිමාවෙන් විශාල ය.

ශ‍්‍රී ලාංකිකයන් අතරේ මානවත්වරෝපණයට අදාළ මානසික ආබාධ තත්වයන් වසංගතයක් සේ පැතිරෙන බව අද කාලයේ මුහුණුපොතේ බොහෝ ඡායාරූපවලින් අපට පෙනේ. දැන් පෙනෙන පරිදි, වැඩි වැඩියෙන් මිනිස්සු, තමන්ට හොමෝ සෙපියානු ඞී.එන්.ඒ. නොව, ආසියාතික සිංහයෙකුගේ ඞී.එන්.ඒ. ඇති බවක් විශ්වාස කරති. අපේ ගමේ සිටි බලූ මිනිසාගේ කතාව මතක තියාගන්න.

මේ නූනත ප‍්‍රපංචය ගැන සාකච්ඡා කරන ෂොහොරාබ් අහමඞ්, එහි පැතිමාන දෙකක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව, ‘සිංහ ලේ’ යනු, එක්කෝ සිංහයෙකුගේ ලේ ය. නැත්නම්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන මිනිස්සුන් ය. එහෙත් එය මෙසේ පටලවා ගැනීමට තරම් කාරණයක් නොවේ. එම යෙදුමේ අදහස ඉතා පැහැදිළි ය. එය ලියන්නේ ‘සිංහලේ’ යනුවෙන් එකට තනි වචනයක් සේ නොව, ‘සිංහ ලේ’ යනුවෙන්, වචන දෙකක් ලෙසිනි. එවිට එහි ඇත්තේ එකම අරුතකි. එනම්, සිංහ රුධිරය යන්න පමණි. එච්.එල්.ඞී. මහින්දපාල කියන පරිදි, ‘නුගේගොඩ මිනිසාගේ උත්පත්තිය සහ නැගීම’ ඇති වීමෙන් මාස දහයකට ආසන්න කාලයකින් පසු, දැන් අපේ මේ ‘නුගේගොඩ මිනිසාගේ’ උන්මාදයේ කට්ට පැන තිබේ.

ප‍්‍රදර්ශනකාමී ‘නුගේගොඩ මිනිසා’ පදනම් වන්නේ, තමන් වනාහී ආසියාතික සිංහයෙකුගේ ලෙයට අයිතිය ඇති උරුමකරුවෙක්ය යන සංකල්පය මතයි. එම සංකල්පය පිළිබඳ පැහැදිළි වැටහීමක් ලබා ගැනීමට නම්, පුරාතන ඉන්දියාවේ සෘග් වේදය අපේ සැලකිල්ලට යොමු විය යුතුය. (1998 දී ආණ්ඩුවෙන් නොමිලේ බෙදා දුන්) මගේ හත්වැනි ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොතට අනුව, සිංහල භාෂාව කතා කරන ජනතාව පැවත එන්නේ, ආසියාතික සිංහයෙකු සහ රජ කුමාරිකාවකගේ ලිංගික ප‍්‍රජනනයෙන් බිහි වූ පරම්පරාවකිනි. මේ යුවළ, දරුවන් දෙදෙනෙකු ජාතක කොට වදා තිබේ. එක් කෙනෙක් සිංහබාහු ය. අනෙකා සිංහසීවලී ය. පසුව, සිංහබාහු සිය පියා වූ සිංහයාව ඝාතනය කෙළේය. සිය නැගෙනිය වූ සිංහසීවලීව අඹුව කර ගත්තේය. ඔවුන්ට දාව දරුවන් 32 ක් බිහි වූහ. එයින් පළමුවැන්නා විජයයි.

ජාතිකවාදය/ජාතිවාදය/කලේලි දේශපේ‍්‍රමය මොන තරම් ප‍්‍රබලද යන්න කවුරුත් දනිති. එහෙත් මේ කතාවෙන්, එකී (ප‍්‍රලාප) හැඟීම තවත් ඉදිරියට ගෙන යමින්, පශු මෛථුන්‍ය (තිරිසනෙකු සමග ගැහැනියක් ලිංගික සංසර්ගයේ යෙදීම) සහ ව්‍යභිචාරය (එක කුසහොත් සහෝදරයෙකු සහ සහෝදරියක් ලිංගික සංසර්ගයේ යෙදීම) වැනි අශ්ලීලත්වයන් පවා උත්කර්ෂයට නංවයි. මේ සංයෝගයෙන් තමන් පැවත එනවා යැයි තවමත් කියන මේ පිරිස ඒ ගැන ආඩම්බරයටද පත්වීම අපූරු ය. මගේ මේ වචන යම් ප‍්‍රකෝපකාරී ගතියක් දක්වයි නම් ඒ ගැන මම කණගාටු වෙමි. එහෙත්, මේ කතාව තුළ පවතින යථාර්ථය ඒ සා ලජ්ජා සහගත බව මම උදක්ම විශ්වාස කරමි.

මේ ගැන අපි තාර්කිකව සිතමු. සිංහයෙකු සහ මිනිස් ගැහැනියකගේ සංසර්ගයෙන් මිනිස් ජීවියෙකු උපත ලැබිය හැකිද? එය සිදුවිය නොහැක්කක් බව කවුරුත් දනිති. එහෙත් මහාවංශයේ කියැවෙන මේ කතාව මිථ්‍යාවක් බව කෙලින් කීමට කෙනෙකුට හයියක් නැත. මන්ද යත්, ශ‍්‍රී ලංකාවේ එක් සුවිශේෂී ප‍්‍රජාවකගේ ජාතිකවාදය/ජාතිවාදය/කලේලි දේශපේ‍්‍රමය පදනම්ව ඇති සමස්ත විශ්වාස පද්ධතියක් එවිට සුනුවිසිනු වී යා හැකි බැවිනි.

සෑම ජාතිකවාදී/ජාතිවාදී/කලේලි දේශපේ‍්‍රමියෙකුගේම එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම්, හීනමාන සංකීර්ණයයි. එවැනි පුද්ගලයෙක්, වෙනත් මිනිස් ජීවියෙකුට වඩා තමන් උසස් යැයි පෙන්වීමේ රෝගයකින් පෙළෙයි. මෙය මේ රටේ විශේෂිත ප‍්‍රජාවකට පමණක් සීමා වන්නක් නොවේ. එය, ලෝකය පුරාම දකින්ට ලැබෙන සහලක්ෂණයකි. හිට්ලර්ගේ නට්සිවාදයට හේතු වුණේ එයයි. ඒ යටතේ අග්නිහෝමය හෙවත් හොලෝකෝස්තය වශයෙන් හැඳින්වෙන මහා ජන සංහාරයට හේතු වුණේ එයයි. එසේම, රුවන්ඩාවේ මහා සමූල ඝාතනය සිදුවුණේ ද ඒ මගිනි. ජාතිවාදය/ජාතිකවාදය/කලේලි දේශපේ‍්‍රමය වශයෙන් හඳුනාගත හැකි මේ හීනමාන සංකීර්ණය, සිවිල් අසහනය සහ ජීවිත විනාශය ඇති කරවන වඩාත් කුරිරු ආවේශයේ ආරම්භක රෝග ලක්ෂණය වන්නේය.

තමන්ට ‘සිංහ ලේ’ ඇතැයි විශ්වාස කරන සහ එය ප‍්‍රදර්ශනය කිරීම ආඩම්බරයට කරුණක් වශයෙන්ද සළකන මිනිසුන්ට, අවම සිහි කල්පනාව ඇති මනුෂ්‍යයන් නියෝජනය කරන අයෙකු වශයෙන් මට කීමට ඇත්තේ මෙයයි:

‘‘මිනිහෝ, මනුෂ්‍යයාට ආසන්නතම ඩි.එන්.ඒ. සමානත්වයක් ඇති සත්ව වර්ගය වශයෙන් මානව විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ, චිම්පන්සීන් සහ වඳුරන් මිස, සිංහයන් නොවේ. එසේම අප සියල්ලන්ම පැවත එන්නේ, ‘හොමිනිඬේයි’ නැමැති මහා වානරයෙකුගෙන් බවත් සොයාගෙන තිබේ. මේ නිසා, තාර්කිකව ගන්නේ නම්, නුඹලාගේ සටන් පාඨය ‘සිංහ ලේ’ නොව, ‘වඳුරු ලේ’ වශයෙන් වෙනස් විය යුතුය. මන්ද යත්, අපේ ජාතිය කුමක් වුවත්. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, අප කාගෙත් ලේ පරම්පරාව එන්නේ වානර මූලයකින් බැවිනි. එවැනි සටන් පාඨයක් යොදාගන්නේ නම් එය වඩාත් තාර්කික වෙනවා පමණක් නොව, ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප අතරේ එක්සත් භාවයක් ඇති කර ගැනීමටත් හැකි වෙනවා ඇත. එපමණක් නොව, නුඹලා උන්මත්තක රොත්තක් වශයෙන් බාහිර ලෝකයාට පෙනී යාමට ඇති ඉඩකඩත් ඇහිරෙන්නේය.’’

වී. කන්දයියා

(2016 ජනවාරි 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Monkey Le Not Sinha Le නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)
-MMP



2016-01-13
Advertisement

Find us on Facebook