English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථාවක් අවශ්‍යවෙන්නේ පාලකයන්ගේ පීඩාවෙන් ජනතාව ආරක්ෂා කරගන්නයි

අධිනීතීඥ ලාල් විජේනායක නව ව්‍යවස්ථාවක් සඳහා ජනතා අදහස් ලබාගැනීම සඳහා වූ කමිටුවේ සභාපති 

ව්‍යයවස්ථා සම්පාදන කාර්යයේදී ජනතාවගේ අදහස් විමසීම තමයි ඔබේ කමිටුවට හිමි කාර්යභාරය. මේ වන විට එම කටයුතු පිළිබඳව නිල වශයෙන් දැනුම් දී තිබෙනවාද? වැඩකටයුතු ආරම්භ කෙරෙන්නේ කොහොමද?

අපට මේ වන විට නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා කමිටුව පත්කළ බව හා එහි කාර්යභාරය පිළිබඳව. මේ කමිටුව අගමැතිවරයා විසින් කැබිනට් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර සම්මත කරබත් බව තමයි දැනුම් දීලා තියෙන්නේ. කමිටුවේ සාමාජිකයන්ගේ නම් යෝජනා වුණේ කෙලෙසින්ද කියලා අපි දන්නේ නැහැ. අපට කාර්යභාරය ලෙස දැනුම් දීලා තියෙන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනතාවගේ අදහස් දැනගෙන අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කැබිනට් අනුකාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීම.

කමිටුව රැස්වෙන්න දිනයක් යෝජනා කළාද?

දෙසැම්බර් අග රැස්වෙන්න උත්සාහ කළත් මේ සතියේ බොහෝ දෙනෙක්ට කාලවේලාව වෙන් කරගන්න අමාරු වුණා. ජනවාරි පළවෙනි සතිය තුළ රැස්වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපට ලැබිලා තියෙන්නේ මාස තුනක විතර කෙටි කාලයක්. උපරිම වේගයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි විසි හතර දෙනෙක් ඉන්න නිසා ප‍්‍රදේශවලට බෙදිලා යන්න සිද්ධ වෙනවා. නොයෙකුත් ප‍්‍රදේශවලට වගේම නොයෙකුත් ස්ථර සමඟත් සාකච්ඡා කරන්න අපට සිද්ධ වෙනවා.

ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර යුත්තේ ඇයි කියලා කවුරුන් හෝ ඇහුවොත් ලබාදිය හැකි පිළිතුර මොකක්ද?

රටේ නොයෙකුත් ජනවාර්ගික කොටස් අතර සංහිදියාවක් ඇති කරන්න ප‍්‍රතිපාදන සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව අපි අත්දැකීම් තුළින් දැක්කා. ජාතීන්ගේ අයිතිවාසිකම් කටින් විතරක් ආරක්ෂා කරලා වැඩක් නෑ ව්‍යවස්ථාවේ වගන්තිවලින්ම සුළු ජාතික අයිතීන් තහවුරු වෙන්න ඕනෑ. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් තිබිය යුතුයි. 1972 සහ 1978 ව්‍යවස්ථා සිංහල අය විතරක් පිළිගත්ත ව්‍යවස්ථා. මේක රටේ සෑම ජන කොටසක්ම පිළිගත්ත ව්‍යවස්ථාවක් විය යුතුයි. අනෙක් පැත්තෙන් නීතියේ ආධිපත්‍යය නැති වුණා. ආයතනවල ස්වාධිනත්වය නැති වුණා. මේ තත්වයන් යළි ඇති නොවෙන්න මේ ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කළ යුතුයි. ජනතාවට හිමි අයිතිවාසිකම් වෙනස් කළහැකි ආකාරයේ ඒවා නොවිය යුතුයි. අපි දැක්කා දහඅටවෙනි සංශෝධනයෙන් ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගත් හැටි. මූලික අයිතීන් ජනතාවට අහිමි කළ නොහැකි ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. කොහොමද ඒ වාගේ ව්‍යවස්ථාවක් හදන්නේ කියන එක ගැනයි අපි ජනතාව එක්ක සාකච්ඡුා කරන්න ඕනෑ. පාලකයන්ට විතරක් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අයිතිය ලබා දෙන්න බෑ. ඇත්තටම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ පාලකයන්ගේ පීඩාවෙන් ජනතාව ආරක්ෂා කරගන්න.

ජනතාවගේ අදහස් විමසීම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී වැදගත් වෙන්නේ මොන විදියටද?

මේක හරිම වැදගත්. ව්‍යවස්ථාවක් ප‍්‍රථමයෙන් නීත්‍යනුකූල විය යුතුයි. තුනෙන් දෙකක සම්මතයෙන් හා අවශ්‍ය නම් ජනමත විචාරණයකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීත්‍යනුකූලව සම්මත වෙනවා. 1972 හා 1978 ව්‍යවස්ථාත් ඒ අනුව නීත්‍යනුකූලයි. හැබැයි ප‍්‍රශ්නය වුණේ මේ ව්‍යවස්ථා හදනකොට ජනතාවගේ අදහස් ගත්තේ නෑ. ඒ නිසා සුජාතභාවයක් ලැබුණේ නෑ. ව්‍යවස්ථාවක් සාර්ථක වෙන්න නීත්‍යනුකූලභාවය විතරක් නෙවෙයි සුජාතභාවයත් තියෙන්න ඕනෑ. ජනතාවට හිතෙන්න ඕනෑ මේක අපේ ව්‍යවස්ථාවක් කියලා. අපේ කමිටුව පත් කළේ ඒ සුජාතභාවය ලබාගැනීමට. මීට කලින් ඩොනමෝර් කොමිසම හා සෝල්බරි කොමිසම ක‍්‍රියා කළේ මේ වගේ ජනතාවගේ අදහස් විමසන්න. අපේ දේශීයව හදපු ව්‍යවස්ථා දෙකේදීම ඒ කාරණය අතපසු වුණා. මේ උත්සාහය ඒක වෙනස් කරන්නයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සාකච්ඡුා කරන අතරේ ජනතාවගේ අදහස් විමසීමකුත් යන්නේ ඒ නිසා. දකුණු අප‍්‍රිකාවේ කළේත් ගමෙන් ගමට වගේ ගිහිල්ලා අදහස් විමසලා ව්‍යවස්ථාව හදන එක. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදපු අය කියනවා ඒ අයට ඉතා හොඳ අදහස් මිනිස්සුන්ගෙන් ලැබුණා කියලා. අවසාන වශයෙන් නීත්‍යනුකූලභාවය ලැබෙන්නේ සම්මත කරලා ජනමත විචාරණයකට ගියාට පස්සේ. ජනමත විචාරණයට එනකොට ජනතාවට අමුතු දෙයක් නෑ. ජනතාව අතර සාකච්ඡුා වුණ දේවල් තමා ව්‍යවස්ථාවේ තියෙන්නේ. ජනතාවගේ හැම අදහසක්ම නැති වෙන්න පුළුවන්. හැමෝම කියපු දේවල් මෙතන නැතිවෙන්න ඉඩ තියෙනවා. අපි පහුගිය කාලයක් තිස්සේ ඉල්ලා සිටියා ජනතාවගේ අදහස් විමසීම යහපත් කියලා.

ලංකාවේ සාමාන්‍ය ජනතාව තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනීම ඉතා අල්පයි නේද?

සාමාන්‍යයෙන් උගත් අය පවා ව්‍යවස්ථාව ගැන දන්නේ නැහැ. කියවලා නැහැ. අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තියෙන විධිවිධාන ජනතාව දන්නේ නැහැ. ඒකට හේතුව මේවා උඩින් ආ ව්‍යවස්ථා නිසා. මිනිස්සු හිතනවා මේවා අර්ථනිරූපණය කරන්න දන්නේ නීතීඥ මහත්වරු තමයි කියලා. දකුණූ අප‍්‍රිකාවේ සමහර අය ළඟ පොත් පිංචක් විදියට ගහපු ව්‍යවස්ථාවේ පිටපත් තියාගෙන ඉන්නවාලූ.

සාමාන්‍යයෙන් මොන වාගේ කරුණු වලටද වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ?

විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව, ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ආකාරය මොකක්ද? ඔහුට ලැබෙන බලතල මොන වගේද? කේන්ද්‍රයේ බලයට හවුල් කරගැනීම, බලතල බෙදාහැරීම, පාර්ලිමේන්තුව ද්විමණ්ඩල විය යුතුද කියන එක, අයිතිවාසිකම් වගේ ගොඩක් දේවල් සාකච්ඡා කළ යුතුයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන මූලික එකඟතාව එක්කයි ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව දිගින් දිගටම පැවතුණේ. කැබිනට් යෝජනාවක් පවා ඉදිරිපත් වෙලා තියෙනවා විධායක ක‍්‍රමය අහෝසි කරන්නට. ඔබගේ කමිටුව විසින් විධායකය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවත් අලූතින් සලකා බලනවාද?

අපි රැස්වෙලා තීරණය කරන්න ඕනෑ ජනතාවගෙන් මොන වගේ කාරණා පිළිබඳවද අදහස් විමසන්නේ කියලා. අපි හදන්නේ අලූත්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. එයට අදහස් ගැනීමේදී මූලිකවම සලකා බැලිය යුතුයි නාමික විධායකයක් ද සත්‍ය විධායකයක් ද පිහිටුවන්නේ කියන එක. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව අනිවාර්යයෙන් විමසිය යුතුයි. කෙසේ වෙතත් අපි විසිහතර දෙනා එක්වෙලා ප‍්‍රථමයෙන් ප‍්‍රශ්න මාලාවක් සකස් කරගත යුතුයි.

ජාතික ප‍්‍රශ්නයට හැමදාම විවිධ විසඳුම් ඉදිරිපත් වුණා. යුධ සංහාරයන් පවා ඉදිරිපත් වුණේ විසඳුම් විදියට. මේ ව්‍යවස්ථාවෙන්වත් ඒකට සැබෑ විසඳුමක් නොලැබුණොත් ව්‍යවස්ථාවෙන් වැඩක් නැති වෙනවා.

ඒක ඇත්ත. මේ ව්‍යවස්ථාවෙන් අනිවාර්යයෙන්ම ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න ඕනෑ. ඒ සඳහා ප‍්‍රශ්න මාලා සකස් කරලා ජනතාවගේ අදහස් විමසනවා. ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුව, බලතල බෙදීම වගේම සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ සුළු ජාතික අයිතිවාසිකම් ලබාදුන්නු 29 වෙනි වගන්තිය යළි ගෙන ඒම ගැන පවා අපි ජනතාවගේ අදහස් විමසනවා. සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලට වඩා ඉහළින් හිටපු අපේ රට අද පහළට වැටිලා තියෙන්නේ අවුරුදු ගණනක් තිස්සේ ජාතීන් ලෙස බෙදී ගහමරාගැනීම නිසා. මේ ප‍්‍රශ්නයට හැම ජනකොටසක්ම පිළිගන්නා විසඳුමක් හොයාගන්න ඕනෑ. ඒක අමාරු දෙයක් විදියට මම හිතන්නේ නෑ. දැන් තියෙන පරිසරය හොඳයි. පහුගිය ජනාධිපතිවරණයේදී අපි දැක්කා ලංකාවේ හැම ජනවර්ගයකම ජනතාව එක් අරමුණක් වෙනුවෙන් ඡුන්දය දුන්නා. ඒ ඡුන්දය දුන්නේ හාල් සේරු දෙකක් ලබාගන්න නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. ඒ ජයග‍්‍රහණය මුළු රටේම ජනතාව භුක්ති විඳිනවා. ව්‍යවස්ථාව වුණත් ඒ සියලූ දෙනාටම හිමි විය යුතු ජයග‍්‍රහණයක්.

සාමාන්‍ය ජනතාව ඇතැම් කාරණාවලදී දරන මතය පිළිබඳ සෑහීමට පත්විය හැකිද? විශේෂයෙන් ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් දීලා ජාතීන් අතර සමඟිය ඇති කිරීමේදී බහුතර සිංහල ජනතාව දරන අදහස බාධාවක් විය හැකියි. එතකොට ජනතාවගේ අදහස් විමසීම පමණක් ප‍්‍රමාණවත් ද?

අපි අදහස් විමසීම පමණක් කරලා මදි. සංවාදයක් ගෙන යා යුතුයි. ඒ අය අදහසක් පළකිරීමේදී අපි විමසන්න ඕනෑ ඇයි ඒ අදහස දරන්නේ? බලතල බෙදීමෙන් රට දෙකඩ වෙනවා වගේ අදහසක් ආවොත් අපට ඒ අදහස එක්ක සංවාදගත වෙලා ඔවුන්ට තත්ත්වය පහදා දෙන්න පුළුවන්. අනියත බියක් තියෙන තැන්වලදී ඒ බිය නැති කරන්න පුළුවන්. ඒ වාගේම සාධාරණ බියක් තියෙන කාරණා තියෙනවා නම් ඒ කාරණා සඳහා ආරක්ෂාව යොදන්න පුළුවන්. මේක අදහස් විමසීමක් පමණක් නොවෙයි සංවාදයක්.

මීට පෙර පවා හදිසියේ කළ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කටයුතුවලදී අපි දැක්කේ පසුව ඒවායේ අඩුපාඩු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමත් සංශෝධන පිට සංශෝධන ගේන්න සිද්ධ වීමත්. 13 සංශෝධනය හා 17 සංශෝධනය වැනි ප‍්‍රගතිශීලීයැයි සැලකූ විද්වතුන් විසින් සකස් කළ සංශෝධනවලදී පවා මේ ප‍්‍රශ්නය අපි දැක්කා. එහෙම පසුබිමක ඔබට ලැබුණු කාලසීමාව ගැන තියෙන අදහස මොකක්ද?

කාලසීමාව ප‍්‍රශ්නයක් තමයි. ඒත් ජුනි, ජූලි වෙද්දී ව්‍යවස්ථාව සම්මත කරලා ඉවර කරන්නයි අදහස තියෙන්නේ. ඉතින් ඒ ක‍්‍රියාවලිය යනකොට තමයි කාලරාමුව තුළ කරන්න පුළුවන්ද කියලා බලන්න තියෙන්නේ. අපි වැඩ කරන්නේ මාස තුනක් ඉලක්ක කරලා. කාලසීමාව ගැන මැසිවිලි නැඟීම නෙවෙයි වැඩ කිරීමයි අවශ්‍ය. අපි අපේ අනෙක් වැඩවලින් ඉවත් වෙලා මේ මාස තුනේ සම්පූර්ණ මහන්සිය මේ කටයුත්ත සඳහා යොදන්න වෙනවා.

මේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුත්තේදී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැුස්වීම ගැන සමහර පාර්ශ්ව විරෝධය පළකරනවා නේද?

සමහර මන්ත‍්‍රීවරු මතු කරලා තියෙනවා ඒ කාරණය. ඒ වුණත් මේ රැස්වෙන්නේ 1972 වගේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් හදන වෙනම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට නෙවෙයි. මෙතැන පාර්ලිමේන්තුවම කාරක සභාවක් වගේ ව්‍යවස්ථා කමිටුවක් ලෙස රැුස්වෙනවා. ඒක සාමාන්‍ය පනතක් වගේ කැබිනට් මණ්ඩලයට ගිහින් පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනමත විචාරණයට යනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස මිසක් වෙනම සභාවක් ලෙස නෙවෙයි මෙතැන රැස්වෙන්නේ.

සාකච්ඡා කළේ : තරිඳු උඩුවගෙදර

උපුටා ගැනිම : www.ravaya.lk




2016-01-09
Advertisement

Find us on Facebook