English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවම වහාම අහෝසි කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
Deepika udagama

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම

මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම ප්‍රකාශ කලාය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති බව පවසන සභාපතිවරිය මරණ දඬුවම වෙනුවට බන්ධනාගාර ගත කිරීම ආදේශ කළ යුතු බවත්, එක් එක් අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම ජනපතිට නිර්දේශ කර ඇති බව සඳහන් කරයි .

කොටදෙනියාවේ දී සේයා සදමිණි දැරිය ඝාතනය කිරීමත් සමඟම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතු බවට සමාජයේ ජන මතයක් ගොඩ නැගුනු අතර බොහෝ සිවිල් සංවිධාන සහ පොදු මහා ජනතාව නැවතත් ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතු බවට රජයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධන්යෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද අදහස් දක්කවමින් කියා සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම පෞද්ගලිකව එකඟ වන බවත් මේ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මතය විමසා පාර්ලිමේන්තුව එකඟ නම් 2016 වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මෙයට පක්ෂව සහ විපක්ෂව විවිධ අවස්ථා වල දී දී මත පල කළේය.

මූලික අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලැබී ඇති බලතල අනුව මානව හිමිකම් කොමිසම මරණ දඬුවම වහාම අහෝසි කරන නිර්දේශ නිකුත් කර ඇත.

එසේම චූදිතයනට මරණ දඬුවමකට ලක් කර බොහෝ කාලයක් ඉක්මවූ පසුවත් අලුත් විමර්ශන ක්‍රමවේදයන් හා තාක්ෂණය හේතුවෙන් නව සාක්ෂි යොසා ගැනීම නිසා පළමුවන සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු වූ බොහෝ අවස්ථා නිරීක්ෂණය වූ බව මානව හිමිකම් කොමිසම කියයි.

සමහර චූදිතයන් වැරදිකරු වන්නේ එම වරදට වරදකරු වීම නිසා නොව ප්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා බවත්, චූදිතයන් අඩු ආදායම් තත්ත්වයක සිටින විට දක්ෂ නීතීඥයන්ගේ සේවය ලබා ගැනීමට හැකි මූල්‍ය ශක්තියක් නැතිකම ද මරණ දඩුවමට ලක්වීමේ අවස්ථා වැඩි කරන බව කොමිසම පෙන්වා දෙයි.

අභියාචනා කිරීම ද, නඩු විභාග කළ විනිසුරු වෙතින්, නීතිපති වෙතින් සහ අධිකරණ ඇමැතිවරයා වෙතින් නිර්දේශ කැඳවීම වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ තිබිය දී වුවත් අපරාධයක් සිදු නොකළ අහිංසක පුද්ගලයන් මරණ දඬුවමට ලක් කිරීමේ අවධානම පවතින බව කොමිසමේ මතය වී තිබේ.

මරණ දඬුවම අහෝසි කර ඇති රටවල් 100ක් සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකාව මූලික මානව හිමිකම් පිළිබඳ පවතින කැපවීම ප්‍රත්‍යක්ෂ කළ යුතු බවත් මරණ දඬුවම නිසා ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමකම් ද ප්‍රබල ලෙස උල්ලංඝණය කරන බවට ලොව පුරා ඇති පිළි ගැනීමෙන් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

1976 සිට බලයට පත් රජයන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අගය කරන මුත්, දණ්ඩ නීති සංග්‍රය සහ 1984 අංක 13 දරණ පනතින් සංශෝධනය වූ වස අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත වැනි නීති යොදා ගනිමින් දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදුවන බව ද කොමිසම සඳහන් කරයි.

අපරාධ නිශේෂන ක්‍රමවේදයක් ලෙස මරණ දඬුවම යොදා ගන්නා බවට මරණ දඬුවමට පක්ෂපාතී පාර්ශව කරුණු දක්වන බවත්, එනමුත් ඵලදායි අධිකරණ පද්ධතියක් සහ සාධාරණ සමාජ වටපිටාවක් අපරාධ අඩුකරන හේතුන් බවත්, අපරාධ අනුපාතය අඩුවීමට හෝ අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවූ බවට පර්යේෂණාත්මක දත්ත නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.

උපුටා ගැනීම - ගගන




2016-01-05
Advertisement

Find us on Facebook