English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව

අද මේ මානව හිමිකම් උත්සවය පවත්වන්නේ බොහෝ වෙනස් වාතාවරණයක, ඔබ හිතන්නේ නැති ස්ථානයකයි. ගිය වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙවැනි රැස්වීමක් කිසිවෙකුට බියකින් තොරව පවත්වන්නට හැකිවේවි කියලා කාගේවත් බලාපොරොත්තුවක් තිබුණා කියලා මං හිතන්නේ නැහැ. නමුත් අද අපිට එහෙම රැස්වීමක් පවත්වන්න පුළුවන් වුණේ ඇයි? ඒක කරන්න හැකිවුණේ ඔබේ කැපවීම නිසයි. අමාරුම කාලේ මානව හිමිකම් වලින් ඈත් නොවී දේශපාලන අදහස් කුමක් වුවත්, කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුනත් ඒ අමාරු කාලයේ මේ සටහන ගෙන ගියා. ඒ වැඩ කටයුත්ත ඉටු කිරීම සම්බන්ධයෙන් මා  “නිදහසේ වේදිකාවට” ස්තුතිවන්ත වෙනවා.

මන්ද ඒ අය නිසා මේ රටටම මානව හිමිකම් ගැන අදහස ලබා දීලා, දේශද්‍රෝහින් කියන නම්බු නාමයක් ලබාගෙනයි අද අපි මේ ස්ථානයට පැමිණ සිටින්නේ. මා මෙතනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය සංසදයෙන් පැමිණ, මට ලිපියක් බාරදුන්නා. මෙහි සදහන් අයගෙන් 44  දෙනෙක් රාජපක්‍ෂ රෙජිමය යටතේ ජීවිතය නැතිවුණ අය. ගණන 44යි. පනහ සම්පූර්ණ කරන්න බැරිවුණා. ඊට කලින් යන්න සිද්ධ වුණා.  අපි වම, දකුණ දේශපාලන බේදවලින් තොරව සෑම කණ්ඩායමක්ම එකතු වී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට පත්කිරීම සදහා පොදු අපේක්ෂකයා හැටියට පත් කළේ ඒ නිසයි. අද එතුමා යටතේ ඒ යහපාලනය ආරම්භ වී තිබෙනවා. එතුමා අකුරටම ඒ යහපාලනය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අද අපි හැම දෙනාටම කරදරයකින් තොරව නිදහසේ ජීවත් වෙන්නට හැකියාව ලැබී තිබෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

පළමුවෙන්ම කළ යුත්තේ අප එම තත්වය ආරක්ෂා කර ගැනීමයි. දැන් එතුමා ඒ ආරම්භ කළ යහපාලනයට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ වරමක් ලැබිලා ඇත්ත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම සදහා ප්‍රධාන පක්ෂ දෙක මෙතනට පැමිණ තිබෙනවා. මේක එක පැත්තකින් ඉදිරියට යාම සදහා වන හොද ප්‍රවනතාවයක්. අනිත් පැත්තෙන් සිදුවෙලා තිබෙන්නේ කුමක්ද? අනිත් පැත්තෙන් සමහර අය ප්‍රතිවිප්ලවයක් ඇතිකරන්න බලනවා. ඡන්දයෙන් කරන්න බැරිනම් වර්ජනයෙන් කරන්න බලනවා. මේ කණ්ඩායම් මේ මාධ්‍යවේදීන් 44 දෙනා ඝාතනය කරන විට අතුරුදහන් කරන කොට නිශ්ශබ්ද වී සිටි අයයි. ඇතැම් බැංකු සංගම්වල ඉන්න, එදා කඩේ ගිය අයද, සමහර වෛද්‍යවරුන් ද මේක කරන්න ඉන්නේ කියල මම ප්‍රශ්න කරනවා. මම එකක් කියන්න කැමතියි. මෙතන ඇවිල්ලා ඉන්න නිකම් බලන් ඉන්න අයට එහෙම කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒ අයට පාරට බහින්න බෑ. අපියි පාරට බැස්සේ. ඒ අය ආරක්ෂා කරන්නත් අපි ආපසු පාරට බහින්නත් සූදානම් බව මා මෙහිදි ප්‍රකාශ කරන්න කැමතියි. 

අපි විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සියලූ දෙනාගේම සම්මුතිය ඇතිව යෝජනාවක් සම්මත කර ගත්තේ ඒ අනුවයි. අද මුළු ලෝකයම එක තැනක ඉන්නවා. ත්‍රස්තවාදයක් නොතිබුණු බවක් අපි කියන්නේ නෑ. ත්‍රස්තවාදයක් තිබුණා. ප්‍රභාකරන් බොහෝ දුරට ඒ ගැන වගකිව යුතුයි. එහෙත් අපි හැමදෙනාගෙන්ම අඩුපාඩුකම් හා වැරදි සිදුවුණා. ඒ පිළිබද අඩුම වශයෙන් අපි සත්‍ය දැනගත යුතුයි. වගවීමක් සිදුවිය යුතුයි. හැම දෙනාටම හංවඩු ගහන්නවත්, දඩුවම් කරන්නවත් අවශ්‍ය නෑ. මං හිතන්නේ නෑ එය  ධර්මාශෝක රජතුමාගේ කාලෙවත් තිබුණු චාරිත්‍රයක් කියලා. සත්‍ය දැනගන්න එක අපිට වැදගත් වෙනවා. අපි විශේෂයෙන්ම අනාගතයේ එවැනි දෙයක්  සිදු නොවෙන්න අතුරුදහන් වූ පුද්ගලයන්ගේ කාර්ය අද ආරම්භ කරන්නේ එම නිසයි.

ඉඩම් ගැන කතා කරනවා. දැන් තව ඉඩම් ගණනාවක් කොහොමද ලබාදෙන්නේ කියලා හමුදාව අපිට දැනුම් දීමට තිබෙනවා. අක්කර සීයෙන් සීය ගැන කතාකරන්නේ. විශේෂයෙන් මේක තියෙන්නේ යාපනයේ.  අපි ඒ ගැන ක්‍රියා කරනවා. ඒවගේම නැගෙනහිරයි, උතුරෙයි ආර්ථිකය ආපසු නගා සිටුවනවා. මේ ප්‍රශ්නවලට අපි  බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ වනවිට තවත් ඉඩම් විශාල සංඛ්‍යාවක් යාපනයෙන් ලබාදෙන්න පුළුවන් කියලා. අනෙක් ප්‍රදේශවල බොහෝ දුරට ඒ ප්‍රශ්නේ විසදීලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම හමුදාවේ බොහෝ කදවුරු තිබෙන්නේ රජයේ ඉඩම්වල. අපිට මේක නිදහස් කරදීම පමණක් නොවෙයි. යලිත් සමාජය ඇතිකර දිය යුතුයි. මෙතනදි කළ යුත්තේ ඉඩම් ටිකක් නිදහස් කිරීම පමණක් නොවෙයි.  නැත්නම් අපි වතුකරයේ කරනවා වාගේ ගෙවල් හදන්න ඉඩම් ටිකක් ලබාදීම නොවෙයි.  මොකද එතන සමාජයක් තිබෙනවා. නිවාස, ඉඩම් අවශ්‍යයි. අපි වෙන මුස්ලිම්, සිංහල ගම්වලට ගියත් සමාජයක් තිබෙනවා. උඩරට වතුකර දෙමළ ජනතාවගෙත් සමාජයක් තිබෙනවා. ජීවත් වෙන්න නිවාස හා ඉඩම් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම පේ‍ර්මදාස ජනාධිපතිතුමා උදාගම් ව්‍යාපාරයෙන් ඇතිකළේ එම තත්වයයි.

උදාගම් ව්‍යාපාරයක් පමණක් නොවෙයි මේ ප්‍රදේශවල සම්පූර්ණ සමාජයක් ඇතිකළ යුතුයි. අවුරුදු දහසක්, දෙදහසක් තිස්සේ පැවති ශිෂ්ඨාචාරයක්, සමාජයක් නැවත ඇතිකළ යුතුයි. ඒ වැඩකටයුතු වලටත් අවධානය යොමු කරමු කියලා මම කියන්න කැමතියි. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග මමත් සාකච්ඡා කරලා සිවිල් සමාජයේ වැඩ කටයුතු කිරීම සඳහා විශේෂයෙන්ම වෙනම ඇමතිවරයෙක් පත්කරලා තිබෙනවා මම ජනවාරි මාසයේ සිට ඡන්දේ වෙනකම් වැඩකටයුතු කළා. ඉතිං අපිට කළයුතු තවත් වැඩකටයුතු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සාකච්ඡා කරලා සිවිල් සමාජයේ වැඩකටයුතු කරන්න අපට යාන්ත්‍රණයක් ව්‍යුහයක් හදලා දෙන්න කියලා මනෝ ගනේෂන් මැතිතුමාට මම කීව්වා. එතුමා විටින් විට වාර්තා කරයි. ඊට අමතරව සිවිල් සමාජයේ නියෝජිතයෙකු දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.  ඒ ජයම්පති වික්‍රමරත්න මැතිතුමා. ඒ නිසා මා හිතන්නේ සිවිල් සමාජය ඉදිරියට ගෙන යාම සඳහා එයින්  ප්‍රයෝජනය ගත යුතුයි.

විශේෂයෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග මම සාකච්ඡා කරලා තිබෙනවා  මානව හිමිකම් දැනුම ගැන. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරලා පාසල්වල මානව හිමිකම් සංවිධාන ඇති කිරීම සදහා. මේ පිළිබදව මා අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සමග සාකච්ඡා කළා. මං හිතන්නේ මනෝ ගනේෂන් මැතිතුමාටයි අකිල ඇමතිතුමාටයි ඒ වැඩකටයුත්ත කරන්න පුළුවන්. ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව සදහා තරුණ සේවා සභාවේ සභාපති සමග සාකච්ඡා කොට මානව හිමිකම් වැඩසටහන් යොවුන් පාර්ලිමේන්තුවට ගෙන යන්න තිබෙනවා.

ඒ එක්කම මම කියන්න කැමතියි මනෝ ගනේෂන් ඇමතිතුමත් මේ ගැන ප්‍රකාශ කරන්න මම එනකම් බලාගෙන හිටියා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී මානව හිමිකම් දිනය වෙනුවෙන් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබදව ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන්න ශ්‍රී ලංකාව තීරණය කළා. ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් එතනට එකතු වෙනවා. ඒකට පියවර ගන්නත් ඒකට අවශ්‍ය නීති කෙටුම්පත් පිළියෙල කරන්නත් දැන් කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තිබෙනවා.

තවත් එක පියවරක්, මං හිතන්නේ සිවිල් සහ දේශපාලන අයිතීන් සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුම. අපි සෑම දෙනාම ඒක ක්‍රියාත්මක කරන්න කැපවෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මට පේන හැටියට මේ ගිවිසුම අධිකරණ බලය යොදවා ගන්නා ආයතනයක් නොවෙයි. කොහොමද එහෙම තීරණයකට ආවේ කියන එක ගැන නම් නීතියේ හැටියට මට හිතන්නත් අමාරුයි. කෙසේ හෝ අපි සිවිල් සහ දේශපාලන අයිතීන් සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමත් එන වසරේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරාත්තු වෙනවා.

මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් වැඩකටයුතු ගණනාවක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදි මට ආරාධනා කිරීම ගැන ස්තුති කරමින් මානව හිමිකම් පණිවුඩය ජනතාවට ලබාදෙමින් ජනතාව මාර්ගයෙන් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්  මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

 

B37A0312 B37A0363 B37A0367 B37A0385 DSC_7726-1

උපුටා ගැනීම - සමබිම




2016-01-02
Advertisement

Find us on Facebook