English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිපතිට හා පොලිස් කොමිසමට එරෙහිව රිට් මැන්ඩාමුස් නඩු පවරයි
කිසියම් වූ රාජ්‍ය නිලධාරියෙක් තම වගකීම් නිසියාකාරව ඉටු නොකර පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධව අභියාචනාධිකරණයෙන් රීට් මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා සිටීමට අපට නීතියෙන් ප‍්‍රතිපාදන වෙන් වී තිබේ. පසුගිය දා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එවැනි උත්සාහයක් ගනු ලැබුවේ මේ පිළිබදව මහජන අවධානය තව දුරටත් වැඩි කරලීම සදහාය.

2014 මැයි මස බදුල්ල, කන්දකැටිය ප‍්‍රදේශයේ දී 17 හැවිරිදි සඳුන් මාලිංග නම් තරුණයෙකු බන්ධනාගාරගතව සිටිය දී මිය ගිය සිද්ධියක් අප වෙත වාර්තා විය. පොලිස් අත්අඩංගුවේ සිටියදී පහර දීමට ලක් වීමෙන් ඉතාම අසාධ්‍ය තත්වයට පත් වූ සඳුන් මාලිංග තමාව රෝහල වෙත ගෙන යන මෙන් ඉල්ලා සිටියත් ඔහුගේ ඉල්ලීමට පොලිස් නිලධාරින් කිසිවෙකුත් කන් දී නැත. සඳුන් බැලීමට පොලිසිය වෙත පැමිණි ඔහුගේ දෙමව්පියන් ද අසාධ්‍ය තත්වයේ සිටි තම පුතු රෝහල්ගත කරන මෙන් පොලිස් නිලධාරින්ගෙන් කොතෙකුත් ඉල්ලා සිටියත් ඊට ඉඩ ලැබී නැත, පසු දින බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව බන්ධනාගාරගත කරන ලද අතර පොලිස් පහර දීමට ලක් වීමෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයේ පසු වූ සඳුන්ට බන්ධනාගාරය තුළදී තම අවසන් හුස්ම හෙළීමට සිදු විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 78454 යන අංකයෙන් බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ දී තීරණය වූයේ මිය ගිය සඳුන් මාලිංග නිර්දෝෂී පුද්ගලයෙකු බවයි.  කිසිදු අපරාධයකට සම්බන්ධ නැති සදුන් ළාබාල වියේදීම තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ පොලිස් නිලධාරීන්ගේ නොමනා කි‍්‍රයා කලාපය හේතුවෙනි.

මෙම සිදුවීම සම්බන්ධව කටයුතු කරනු ලබන අනෙකුත් වගකිව යුතු ආයතන ලෙස පවතින අධිකරණ වෛද්‍ය, මහේස්ත‍්‍රාත්වරයා හා බන්ධනාගාර නිලධාරීන් තම රජකාරිය නියමාකාරයෙන් ඉටු කරනු ලැබුවේ නම් මේ තරුණයාගේ ජීවිතය අවසන් මොහොතේ හෝ බේරාගැනීමට අවස්ථාව තිබුනි.

1994 අංක 22 දරණ කෲර, අමානුෂික වධ හිංසාව හා අවමන්සහගත සැළකීමට එරෙහි සම්මුති පනත අනුව රජයේ නිලධාරියෙකු විසින් යම් පුද්ගලයෙකුව ශාරීරිකව හෝ මානසිකව වධ හිංසාවට ලක් කළ විට එම නිලධාරියාට විරුද්ධව මහාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරීමේ වගකීම පවතින්නේ නීතිපතිවරයාටය. නමුත් කාලාන්තරයක සිටම ලංකාවේ පවතින ගැටළුවක් වන්නේ පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී හෝ අත්අඩංගුවේ සිටියදී ඔවුන් කෲර ලෙස වධ හිංසාවන්ට ලක් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඉහත දැක්වෙන සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු නොපැවරීම හෝ එසේ පැවරීම ප‍්‍රමාද කිරීමයි.
 
සඳුන් මාලිංගගේ මරණය සිදු වී මේ වන විට වසරක් ගතව ඇතත් පොලිස් නිලධාරින් අතින් දරුණු ලෙස වධ හිංසාවට ලක්ව මිය ගිය සඳුන් වෙනුවෙන් කෲර, අමානුෂික වධ හිංසාවට හා අවමන් සහගත සැළකීමට එරෙහි සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් තවමත් මහාධිකරණයේ නඩුවක් ගොනු කොට නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් ද පවරා පවත්වා ගෙන යන අප සංවිධානය, වධ හිංසාවට හා අවමන් සහගත සැළකීමට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් පවරනු ඇතැයි අවධානයෙන් පසු විය.

නමුත් නීිතිපතිවරයා විසින් තම වගකීම ඉටු නොකළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් 1994 අංක 22 දරණ කෲර, අමානුෂික වධ හිංසාවට හා අවමන්සහගත සැළකීමට එරෙහි සම්මුති පනත යටතේ නඩුවක් පැවරිය යුතු බව සිහි කැඳවමින් රයිට් ටු ලයිෆ් සංවිධානය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් නීතිපතිවරයාට එන්තරවාසියක් ද යවන ලදී. ඊට ලැබුණු පිළිතුර අනුව උක්ත පනත යටතේ සඳුන් මාලිංග වෙනුවෙන් නඩුවක් පැවරීමට නීතිපතිවරයාට අදහසක් නොමැති බව පැහැදිලි වූ හෙයින් තම වගකීම නිසියාකාරව ඉටු නොකිරීමේ පදනම මත රයිට් ටු ලයිෆ් සංවිධානයේ උපදෙස් මත නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් නීතිපතිවරයාට එරෙහිව රිට් මැන්ඩාමුස් පෙත්සමක් අභියාචනාධිකරණයේ ක්‍ග්ග :අරසඑ* ්චචග භදග 375/15 යන අංකයෙන් පසුගිය සැප්තැම්බර් 28 දා ගොනු කරන ලදී.

මේ ආකාරයේම සිදුවීමක් වාද්දුව පදිංචිව සිටි නිමල් චන්ද්‍රසිරි මහතා මුහුණ දුන් අතර, ඔහු 2012 අපේ්‍ල් 14 වන දින වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් අත්අඩංගුවේ දී මිය යන ලදී. එම මිය යාමට හේතුව පහරදීමක් බවට පසුව වෛද්‍ය වර්තා මගින් හෙලි විය. මෙම සිද්ධිය සම්බන්ධවත් ඔහුගේ ඥාතීන් විසින් මුලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ. මෙම මරණය සිදු වී අවුරුදු 3 ක් සම්පුර්ණ වී ඇතත් සිද්ධිය සම්බන්ධව අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා විසින් පැහැර හැර තිබේ.

නිමල් චන්ද්‍රසිරි මහතාගේ බිරිද විසින් පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ල මත ඒ සම්බන්ධව වාද්දුව පොලීසියේ ආදළ නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීමට එරෙහිව පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට එරෙහිව එන්තරවාසියක් පසුගිය නොවැම්බර් 04 වන දින රයිට් ටු ලයිෆ් සංවිධානයේ උපදෙස් මත නීතිඥ වාසනා වික‍්‍රමසිංහ මහත්මිය විසින් යවා තිබේ. නොවැම්බර් 18 ට පෙර ඒ සම්බන්ධව ලැබෙන ප‍්‍රතිචාර මත පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට එරෙහිව රීට් මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩු පැවරීමට අප බලාපොරොත්තු වේ.
  
මෙමගින් අප උත්සාහ කරනු ලබන්නේ යම් රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරියෙක් තමන්ට පැවරී අති වගකීම් නිසි අයුරින් ඉටු කරනු නොලබන්නේ හෝ පැහැර හරින්නේ නම් මහජන උද්ඝෝෂණ, බලපෑම් වලට අමතරව මෙවැනි රීට් මැන්ඩාමුස් පෙත්සම් අභියාචනාධිකරණයේ ගොනු කිරීම මත ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙසට අධිකරණය මගින් බලපෑම් සිදු කිරීමත්, එසේ නිසි ලෙස වගකීම් ඉටු නොකරන නිලධාරින්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමත්ය. 

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය
06.11.2015  




2015-11-06
Advertisement

Find us on Facebook