English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුක්තිසහගත නීතිපති සේවයක් උදෙසා මහජන පෙත්සම ඔක්. 21 සවස 3
යහපාලනයක් රට තුළ ඇති කිරීමට නම් එම රටේ නීතිය සැමට ඉහලින් සිටිය යුතු අතර, නීතිය සැමට එක හා සමාන අයුරින් සර්ව සාධාරනව කි‍්‍රයාත්මක විය යුතුය. මේ සදහා නීති හදන ආයතනය (ව්‍යවස්ථාදායකය) නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනය (විධායකය) හා යුක්තිය පසිදලන ආයතනය (අධිකරණය) කාර්යක්ෂමවත්, කඩිනමින් හා යුක්ති සහගතවත්, එකිනෙකා පරයා නොයමින් කටයුතු කළ යුතුය යන මූලික සිද්ධාන්තය මත කි‍්‍රයාත්මක විය යුතුය.

අපරාධ නඩු විභාගයේ දී නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන ලෙස ස්ථාපිතව ඇති පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ වෛද්‍ය සේවය, රස පරීක්ෂක, රජයේ නඩු පවරන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලූ ආයතන ඉතා කඩිනමින්, කාර්්‍යක්ෂම හා අපක්ෂාපාතීව තම සේවය ලබා දිය යුතුව ඇත.

නමුත් පසුගිය කාලය තුළ මෙම ආයතනයන් හි කි‍්‍රයාකාරීත්වය බරපතල කඩා වැටීමට ලක්වූ අතර, අපරාධ නඩු පැවරීම සම්බන්ධව ප‍්‍රධාන වගකිව යුතු ආයතනය ලෙස ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරීත්වය පිළිබදව බරපතල විවේචනයන් සමාජයෙන් එල්ල විය. එම විවේචන අතරින් නීතිපතිවරයා විසින්,

1    නඩු නොපැවරීම
2    පැවරූ නඩු ඉල්ලා අස්කර ගැනීම
3    ප‍්‍රමාද වී නඩු පැවරීම
4    පැවරූ නඩු විශාල වශයෙන් පරාජය වීම හෝ ඉදිරියට ගෙනයාමට නොහැකි වීම
5    දෝශ සහිතව නඩු පැවරීම
6    උපදෙස් ලබාදීම් වර්ෂ ගනන් ප‍්‍රමාද කිරීම
7    හිටපු සමහර නීතිපතිවරු සෘජුව දේශපාලන කි‍්‍රයාකාරකම් වල නියැලීම
8    රටේ පුරවැසියන් සමග සම්බන්ධතාවයක් නොපැවැත්වීම

යනු කරුණු පිළිබදව මූලික ලෙස සමාජයේ සාකච්ඡුාවට බදුන් විය. නීතිපතිගේ ඉහත අකී‍්‍රයත්වය මත විශාල වශයෙන් මේ රටේ අපරාධ සංඛ්‍යාවේ වැඩි වීමක් සිදු වූ අතර, අපරාධකරුවන්ට තම අපරාධ සිදු කරමින් නිදැල්ලේ හැසීරීමට ඉන් අවස්ථාවක් උදා විය.

අපරාධ මැඩලීමේ ශක්තියක් මෙම ආයතනවලට නොමැති වීම නිසා සමාජය තුල විශාල බියක්, කලකිරීමක්, මෙන්ම අධිකරණ කි‍්‍රයාවලිය පිළිබ`දව බරපතල ලෙස විශ්වාසය කඩ වීමත් ඒ හරහා අධිකරණ කි‍්‍රයාවලියෙන් මිනිසුන් විශාල වශයෙන් ඈත්වීමත් පසුගිය කාලය තුල අපට දැක ගත හැකි විය. මේ හේතුව මත යම් කිසි වැරැුද්දකට අල්ලාගන්නා සැකකරුට අධිකරණ කි‍්‍රයාවලියකින්, සාධාරණ නඩු විභාගයකින් තොරව ද`ඩුවම් දිය යුතු යැයි මතයක් සමාජය තුල මුල් බැස ගනු ලැබීය.

මේ හේතුවෙන් හදිසි අනතුරක්, සොරකමක් වැනි වෙනයම් හෝ සුලූ සිද්ධියක දී පවා අල්ලා ගන්නා සැකකරුට මහජනයා විසින් පාරේ සිට දඩුවම් දීමේ ක‍්‍රමයක් පවත්වාගෙන යනු ලැබූ අතර, විවිධ හේතු මත පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් විවිධාකාරයෙන් පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම, බරපතල තුවාල ලැබීම, වධහිංසාවට පාත‍්‍රවීම පසුගිය සමයේ විශාල ලෙස වර්ධනය වීමෙන් පෙනී ගියේ ඉහත ක‍්‍රමය පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරින් විසින්ද අනුගමනය කරමින් සිටි බවයි.

අපරාධයක් සම්බන්ධව ඉහල අධිකරණයට කරුණු ගොනුකිරීමේ හැකියාව ඇති එකම ආයතයන වන නීතිපති දෙපාර්තමේන්තුව මෙසේ බරපතල ලෙස කඩා වැටීම වර්ධනය වී ඇති මෙම අපරාධ රැුල්ලට ප‍්‍රධාන ලෙස වගකිව යුතුව ඇත.

නීතිපතිවරයා විසින් පවරනු ලබන අපරාධ නඩුවලින් 96% ක් ඉදිරියට ගෙනයාමට නොහැකිවන බවත්, ඒ නිසා බොහෝ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් නිදහස්වන බවත් මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු නීතිපති වරයෙකු මෙන්ම අගවිනිසුරුවරයෙකු වූ සරත් නන්ද සිල්වා විසින් ප‍්‍රකාශ කර තිබුනි. මින් පැහැදිලි වන්නේ නීතිපතිවරයා විසින් ගොනුකරනු ලබන අපරාධ නඩු වලින් 4%ක පමණක් අපරාධ කරුවන් හෙලිවන බවත්, 96%ක අපරාධ හෙලිදරව් කර ගැනීමට අපොහොසත් වන බවයි. එම තොරතුරු සත්‍යයක් නම් මේ ආකාරයෙන් රට තුළ අපරාධ වර්ධනය වීමද අරුමයක් නොවේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම අසමත් භාවය සම්බන්ධව රටේ සියලූම පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීම සදහා ‘අනාගත නීතිපති භූමිකාව’ මැයෙන් මහජන විනිශ්චය සභාවක් රයිට් ටු ලයි සංවිධානය විසින් පසුගිය සැප්තැම්බර් 27 වන දා මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එයට රජය, මානව හිමිකම් කොමිසම, නීතිඥ සංගමය, මාධ්‍ය හා වෘතීය සමිති ඇතුලූ සිවිල් සංවිධානවල සහාය ද ඊට හිමි විය.

මෙම මහජන විනිශ්චය සභාව අවසානය් දී පහත සදහන් නිර්දේශ ඉදිරිපත් විය.
නීතිපති දෙපාර්තමේන්තුව,
1    දේශපාලනීකරණය නොවු, අපක්ෂපාතී හා කාර්්‍යක්ෂම ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම.
2    බදවා ගැනීම් සිදු කිරීමට නිසි ප‍්‍රමිතියක් සැකසීම.
3    නීතිඥවරුන් ඇතුලූ නිලධාරීන් ප‍්‍රමාණය වැඩි කිරීම.
4    තාක්ෂණික ධාරිතාවයන්, හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කිරීම.
5    ජනතාවට පහසුවෙන් ළගා විය හැකි සහ පාරදෘශ්‍ය ආයතනයක් බවට පත් කිරීම.
6    වගවීමේ කි‍්‍රයාවලික් ස්ථාපිත කිරීම

නීතිපති දෙපාර්තමේන්තුව ‘කාර්යක්ෂම, අපක්ෂපාතී, යුක්තිසහගත ආයතනයක්’ වට පත්කරවා වගකීම රජයට මෙන්ම රටේ මහජනතාව ලෙසට අපටත් පැවරී තිබේ.  ඒ වෙනුවෙන් මේ පිළිබදව සංවාදය, යෝජනා ඉදිරිපත් කරීම හා අදාල ආයතන වෙත බලපෑම් කිරීම වහාම ආරම්භ කළ යුතුවේ. එම අරමුණෙන් මහජන අවධානය යොමු කර ගැනීම සදහා ඔක්තෝබර් 21 ආරම්භ කෙරෙන මහජන පෙත්සම සාර්ථක කර ගනිමු.

 
මහජන පෙත්සම අත්සන් කිරීම
ඔක්තෝබර් 21 සවස 3 සිට කොටුව දුම්රිය පොල ඉදිරිපිට
ප‍්‍රවෘත්ති සාකච්ඡුාව
ඔක්තෝබර් 21  සවස 5.30 කොළඹ කොටුව, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය
සංවිධානය - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය


 



2015-10-20
Advertisement

Find us on Facebook