English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඩයස්පෝරාව තුළ ඉන්න දෙමළ ජාතිවාදීන් කණ්ඩායමේ මස්සිනාලා තමයි මේ සිංහල ජාතිවාදීන් - මනෝ ගනේෂන් මහතා

ඩයස්පෝරාව තුළ ඉන්න දෙමළ ජාතිවාදීන් කණ්ඩායමේ මස්සිනාලා තමයි මේ සිංහල ජාතිවාදීන්

 

තරිඳු උඩුවරගෙදර

ජාතික සංවාද අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශයක් බිහි වීම මේ වෙලාවේ මොනතරම් වැදගත්ද?

ජාතික සංවාදයක් අවශ්‍යයි කියලා ආණ්ඩුව නිල වශයෙන් පිළිගැනීම ඉතා වැදගත්. ඒක ලොකු ජයග‍්‍රහණයක්. කලින් ආණ්ඩුවලට තිබුණේ සියලූ දේ තීරණය වෙලා ඉවරයි දැන් දෙන දේ ගන්න, කියන දේ අහගෙන ඉන්න වගේ අදහසක්. දැන් අපි සංවාද කරමු කියන අදහසේ ඉන්නවා.

යම්කිසි සංවාදයක් නිල වශයෙන් නොවුණත් රට තුළ කාලයක් තිස්සේ තිබුණා. දැන් රාජ්‍ය අනුග‍්‍රහයක් තියෙන පසුබිමක ජාතික සංවාදය යා යුත්තේ මොන වගේ තැනකටද?

සංවාද හැමදාම තිබුණු බව ඇත්ත. ඒ සංවාද හැමවිටම සුභවාදී තැනකට ගියා කියලා හිතන්න බෑ. හැම සංවාදයක්ම අවසාන වෙන්නේ එකඟතාවකින් නෙවෙයි. ජාතිවාදය, අන්තවාදය, ත‍්‍රස්තවාදය දක්වා ගියේ සංවාදවලින් පස්සේ තමයි. මේ අවස්ථාවේ රජය ප‍්‍රධාන පක්ෂ දෙක සමග අවබෝධතාවක් ඇති කරගෙන කටයුතු කරනවා. එවන් අවස්ථාවක දී අමාත්‍ය ධුරය ලැබිලා තියෙන නිසා මට විශ්වාසයක් තියෙනවා අපි පටන්ගන්න සංවාදය සුභවාදී තැනකට එයි කියලා. පසුගිය පාඩම් ඔළුවේ තියාගෙන මේ සංවාදය ආරම්භ කරන්න ඕනෑ.

මේ ප‍්‍රධාන පක්ෂ දෙක සමග එහෙම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? මීට කලිනුත් චෙල්වනායගම්, අමිර්තලිංගම් වගේ නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා ගත් උත්සාහයන් අසාර්ථක වීම නිසා දෙමළ ජනතාවට ආයුධ පවා අතට ගන්න සිද්ධ වුණා නේද?

මේ වෙලාවේ ප‍්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයන් කෙසේ වෙතත් නායකයන් ගෙන තිබෙන ප‍්‍රවේශය යහපත්. අවි ආයුධ අතට ගත්ත එකත් රට දෙකට බෙදන එකත් මේ රටේ මිනිස්සු පිරිසක් උපක‍්‍රමයක් විදියට තෝරාගත්තේ තර්කානුකූල හේතු මත. ඔබ පෙන්වා දුන්නා වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දෙමළ ජනතාව කළ ඉල්ලීම් අහක දැමුණා. රටේ තියෙන අභ්‍යන්තර රාමුව හරහා සාධාරණයක් ලබාගන්න බෑ. අපට තැනක් නෑ. ඒ නිසා වෙනම රටක් හදන්න ඕනෑ කියන හැඟීම ආවා. හඬක් නඟනකොට, ඉල්ලීමක් ඉල්ලනකොට අහක නොබලා ඇහුම්කන් දෙන්නට, අවසානයේ සාකච්ඡුා කරන්නට සූදානම් රජයක් දැන් අපට ඇවිල්ලා තියෙනවා. මගේ අමාත්‍යාංශය අලූතෙන් හැදිලා තියෙනවා. ඒ අතර, වෙනම රටක් හදන්නට අවි ආයුධ අතට ගන්න සූදානම් අයටත් දකුණේ අන්තවාදීන්ටත් ප‍්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.

උතුරු නැගෙනහිර වැඩි බලයක් තියෙන පක්ෂය ආණ්ඩුවේ නැති නිසා මෙය ජාතික ආණ්ඩුවක් නොවේ යැයි තර්ක කරන්නට පුළුවන්

මේක තේරුම්ගන්න. රාජ්‍යය කියන එක වෙනයි. ආණ්ඩුව කියන්නේ තව එකක්. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ කොටස්කාරයෝ නෙවෙයි. ඒ වුණත් දැන් ඔවුන් ශී‍්‍ර ලංකා රාජ්‍යයේ කොටස්කාරයන් වෙලා. විපක්ෂනායක සහ නියෝජ්‍ය සභානායක ධුර ලබාගෙන. චෙල්වනායගම් සහ අමිර්තලිංගම් මහත්වරු පාර්ලිමේන්තුවේ කොටස් කරුවන් වුණාට ඔවුන් ඒක පාවිච්චි කළේ වෙනම රාජ්‍යයක් ලබාගැනීම සදහා. අමිර්තලිංගම් මහත්මයා විපක්ෂ නායක ධුරයට පත් වුණත් ඒ වෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එක රටක් පිළිගත යුතුයි කියන හයවෙනි සංශෝධනය සම්මත වෙලා තිබුණේ නැහැ. දැන් නිල වශයෙන් දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ කියන පණිවුඩය දකුණට දීලා තියෙනවා.

විපක්ෂ නායක කියන්නේ දෙමළ ජනතාව පමණක් නොවේ රටේම විපක්ෂ මතය නියෝජනය කරන තනතුරක්. එය සම්බන්ධන් මහතා කෙසේ ඉටු කරනු ඇතිද?

අටවෙනි පාර්ලි මේන්තුවේ විපක්ෂ නායක එතුමා. විපක්ෂ නායක හැටියට එක වගකීමකුත්, දෙමළ ජාතික සන්ධානයේ නායකයා හැටියට එක වගකීමකුත් ඔහුට තියෙනවා. මේ දෙක පටලවාගත යුතු නැහැ. ඔහු මුළු රටේම විපක්ෂය නියෝජනය කරනවා. අමිර්තලිංගම් මහත්මයාගේ කාලයෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතිවෙච්ච අර්බුදයකදී ජනතාවගේ පැත්ත අරන් විපක්ෂයේ වගකීම ඉටුකළා. සම්බන්ධන් මහත්මයාත් ඒ කාර්යභාරය ඉටු කරනු ඇති.

නව ව්‍යවස්ථාවක් ගැන කතා කරන මොහොතක දෙමළ ජනතාවගේ පැත්තෙන් මොන වගේ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු විය යුතුද?

දෙමළ ජාතික සන්ධානය මැතිවරණය දිනාගත්තේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කළ යුතුයි කියලා. දකුණේ පක්ෂ ජයග‍්‍රහණය කළේ ඒකීය රාජ්‍යය ක‍්‍රමය ආරක්ෂා කළ යුතුයි කියලා. මේ පොරොන්දු දෙකටම සාධාරණයක් ඉටු කිරීම සඳහා අපි යෝජනා කරන්නේ ෆෙඩරල් සහ ඒකීය ව්‍යවස්ථා ක‍්‍රම අතර මධ්‍යස්ථ ක‍්‍රමයක් ලබාගනිමු කියලා. ඇයි බැරි අපට ෆෙඩරල් සහ ඒකීය ක‍්‍රමයක් අතරමැද ක‍්‍රමයක් කරා යන්න? ෆෙඩරල් කියන්නේ වෙනම රටක් නෙවෙයි. එක රටක් තුළ විවිධත්වය ආරක්ෂා කරමින් ඒකීයත්වය වෙත ළඟා වෙන ක‍්‍රමයක්. දේශපාලන විද්‍යාව පොතක් කියවලා බලන්න. ඒකීය රාජ්‍යයක් නොවෙනවා කියන්නේ එක රටක් නොවෙනවා කියන එක නෙවෙයි. මේ වචන අල්ලාගෙන බය වෙන්න එපා. ඉන්දියාවේ තියෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයි. ඒකීය ව්‍යවස්ථාවකුත් නෙවෙයි. ඉන්දීය ව්‍යවස්ථාවේ උපරිමයෙන් ප‍්‍රාන්තවලට බලතල දීලා තියෙනවා.

ඔබ සිංහල භාෂාවෙනුත් සන්නිවේදනය කරන කෙනෙක් විදියට කොහොමද සිංහල ජනතාවට පෙන්වා දෙන්නේ බලතල බෙදීමේ වැදගත්කම ගැන?

බලය බෙදීම අත්‍යවශ්‍යයි. බලය විමධ්‍යගත කිරීම නෙවෙයි. පාලනයේදී වගකීම බෙදා හරින්න ඕනෑ. බලය බෙදීම හරහා රට බෙදීම වළක්වමු කියන කාරණය සිංහල ජනතාව පිළිගන්න ඕනෑ. දෙමළ ජාතික සන්ධානය බලය බෙදමින් එක් රටක ජීවත්වීම මුල් කරගෙන ඡන්දය ඉල්ලූවා. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ විද්‍යාධරන් මහතාගේ නායකත්වය යටතේ කණ්ඩායමක් ඊට විරුද්ධව අන්තවාදී මතයක් සමග ඡන්දය ඉල්ලූවා. ඒ දෙගොල්ලන්ටම ඩයස්පෝරාවේ අන්තවාදීන් උදව් කළත් ජනතාව ඡන්දයේදී මේ අයව ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. දකුණට සුබවාදී පණිවුඩයක් දීලා තියෙනවා. මම හැමදාම කියන්නේ මේකයි, පසුගිය ජනාධිපති මැතිවරණයේදී දෙමළ ජනතාව ඡුන්දය පාවිච්චි කළා. ඒක ඒකීය ලංකාවක් පිළිගැනීමේ නිදර්ශනයක්. ප‍්‍රභාකරන් මහත්මයා ඡන්දය ප‍්‍රතික්ෂේප කරන්න කීවා. ඔහුගේ පැත්තෙන් එය සාධාරණයි. ඔවුන් කීවේ වෙනම රටක් හදමු කියලා. වෙනම රටක් හදන්න නම් ලංකාවේ ඡන්දය දෙන්න ඕනෑ නැහැ කියලා ඔහු කීවා. සිංහල රටේ සිංහල මැතිවරණයකින් සිංහල ජනාධිපති කෙනෙක් තෝරන්න ඕනෑ නැහැ කියන අදහසේ හිටියේ. පහුගිය මැතිවරණයෙන් ප‍්‍රභාකරන්ගේ ඒ අදහස ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි එක රටක් පිළිගන්නවා කියලා ඡුන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒ ඡන්දයෙන් තේරී පත් වුණු දෙමළ ජාතික සන්ධානය විපක්ෂනායක ධුරය සහ නියෝජ්‍ය සභානායක ධුරය භාර අරන් තියෙනවා. මෙය සුබවාදී ලෙස පිළිගන්න බැරි බව කවුරුන් හෝ කියනවා නම් ඒ අය ජාතිවාදීන්. ඩයස්පෝරාව තුළ ඉන්න දෙමළ ජාතිවාදීන් කණ්ඩායමේ මස්සිනාලා තමයි මේ සිංහල ජාතිවාදීන්.

හොඳ ජාතික සංවාදයක් ඇති කරගන්න අවශ්‍ය බලතල ඔබේ අමාත්‍යාංශයට ලැබිලා තියෙනවාද?

මම ජනතාවට කියන්න ඕනෑ මේ කාරණය, මට මේ අවස්ථාව ලැබිච්ච එක ගැන සන්තෝෂ වෙනවා. මට මෙතැනින් අලූත් කාර්යභාරයක් පැවරිලා නෑ. පහුගිය කාලය තිස්සේම මම කළේ මේක. මහපාරේ උද්ඝෝෂණය කළා. සටන් කළා. කෑගැහුවා. සංවාද කළා, මේ මාතෘකාව සමග. දෙමළ ජනතාවට සාධාරණත්වයක් ලැබෙන්න ඕනෑ කියලා විතරක් නෙවෙයි රතුපස්වල සටනේත් හිටියා. බේරුවල ප‍්‍රශ්නයේදීත් දඹුල්ලේ පල්ලි කඩන අවස්ථාවේත් ගියා. හලාවත ඇන්තනී, රොෂේන් චානක මරාදැමුණු අවස්ථාවේ අපි ඒකට විරුද්ධව ගියා. රවිරාජ් සහෝදරයා සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළාට පස්සේ තමයි අපි වඩාත් ප‍්‍රබල ලෙස සටන් කළේ. අපි නිදහසේ වේදිකාව හැදුවා, මව්වරුන්ගේ පෙරමුණත් සමග වැඩ කළා, සිරිතුංග ජයසූරිය සහ වික‍්‍රමබාහු කරුණාරත්න මහත්වරුන් සමග වැඩ කළා, එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්මයා එක්ක සමඟි ව්‍යාපාරය කළා. ඉන්පසුව සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයටත් අවසානයේ පුරවැසි බලයටත් සම්බන්ධ වෙලා වැඩ කරන්න අපට හැකි වුණා. ඒ ඔක්කොම පහුකරගෙන තමයි මෙතැනට ඇවිත් ඉන්නේ. මේ අත්දැකීම් තියෙන මම තරම් වෙනත් කෙනෙක් මේ අමාත්‍ය ධුරයට සුදුසු නැහැ කියලා හිතනවා. අනෙක් අයව පහත් කරනවා නෙවෙයි. සෞඛ්‍ය සම්පන්න සංවාදයක් ගොඩනඟන්න මට හැකිවෙයි කියලා විශ්වාස කරනවා.

 

උපුටා ගැනීම රාවය




2015-09-21
Advertisement

Find us on Facebook