English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රතිපත්තිමය වෙනසක් ඇතිකිරීමට සවර්ණමය අවස්ථාවක්


ඒකාධිපති රෙජීමය පරාජය කිරීම සදහා සිවිල් ව්‍යාපාරය වෙන කවරදාකටත් වඩා වැඩි දායකත්වයක් ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් මෙවර සෘජුවම ලබා දෙනු ලැබීය. මෙහි දී වීදියේ විරෝධය, පුරවැසි බලය, සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය වැනි විවිධ සිවිල් කණ්ඩායම් බලපෑම්, තර්ජන හා පහරදීම් මධ්‍යයේ මහජනයා අතරටම ගොස් වීදියේ සිට සිදු කළ මහජන දැනුවත් කිරීම, බිය නැති කිරීම හා ඔවුන් ධෛර්යසම්පන්න කිරීම ජනවාරි 8 වෙනස්කමට බරපතල දායකත්වයක් සැපයීය.

සිවිල් සමාජයේ මෙම මැදිහත්වීම නිසාම ආර්ථික සහන හෝ වෙනත් සහන ලබාදීම් වලට වඩා සිවිල් ව්‍යාපාරය කාලයක සිට ඉදිරිපත් කළ දේශපාලන ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව සාකච්ඡව සිවිල් සමාජ වේදිකාවේ සිට  දේශපාලන වේදිකාවට ගෙන ඒමට මෙවර හැකිවීම සිවිල් ව්‍යාපාරය ලැබූ ජයග‍්‍රහණයකි.

ජනවාරි 08 පත් වූ නව රජය සිවිල් සමාජයට පොරොන්දු වූ පරිදි ඖෂධ පනත, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හා 19 වන ව්‍යවස්ථා සංශෝධන වැනි ඉතා වැදගත් පනත් විවිධ බලපෑම් හමුවේ හෝ යම් යම් ප‍්‍රතිසංස්කරණයන්ට යටත්ව වුවද ගෙන එනු ලැබීය. ඒ සමගම අපරාධ හා මුල්‍ය අපරාධ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක වීම, රජයේ වියදම් සැලකිය යුතු මට්ටමකින් කපා දැමීමත් එතෙක් පැවති තත්ත්වයන්ට සාපේක්ෂව ධනාත්මක ලක්ෂණයක් ලෙස හැදින්විය හැක.

නමුත් සිවිල් ව්‍යාපාරය ඉදිරියේ තවත් අභියෝග ගණනාවත් තිබේ. ඉන් අප ප‍්‍රධාන අවධානය යොමු කළ යුත්තේ මේ ආණ්ඩුව නැවත ජාතිවාදී ආණ්ඩුවක් වීම වලක්වා ගැනීමත්, ඉතිරිව ඇති වැදගත් හා අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ මේ ආණ්ඩුව හරහා සිදු කරවා ගැනීමත්, එම ප‍්‍රතිසංස්කරණ සැබෑවට කි‍්‍රයාත්මක කරවීමේ දේශපාලන වුවමනාව මේ රජය තුල ඇති කිරීමත්, දේශපාලන බලය බෙදීම හා යුධ අපරාධ සම්බන්ධව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන තත්ත්වයක් වෙත මේ රජය ක‍්‍රමයෙන් ගෙනයාමත් ය.

නමුත් දැනටමත්, ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වූ බොහෝ සිවිල් කි‍්‍රයාකාරීන් නව රජයේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධව මැසිවිලි ඉදිරිපත් කරමින් සිටී. දුෂිතයන් හා පරාජිතයන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම, මෙගා කැබිනෙට්ටුවක් නැවත පත් කිරීම, සීසීඞී පරීක්ෂණ අනුව තවමත් නීතිමය පියවර නොගැනීම, අපරාධ පරීක්ෂණයන් මන්දගාමීව සිදු වීම, නීතිපති වරයාගේ යම් යම් කි‍්‍රයා කලාප ඔවුන් ඉදිරිපත් කරනු ලබන ප‍්‍රධාන චෝදනා වේ.

මෙම හේතුව මත ආණ්ඩුවේ ප‍්‍රතිරූපයට යම් හානි සිදුවෙමින් පවතින අතර, මින් බොහෝ විවේචන සෘජුව වර්තමාන ජනාධිපති වෙත එල්ල වෙමින් තිබේ. පවතින ඉතා සංකීරණ තත්ත්වය මත වුවත්, ඉහත විවේචන යම් පමණකට හෝ අවමකර ගැනීමේ හැකියාවක් පැවතුනත් එවැනි අවබෝධයකින් කටයුතු කරන බවක් මෙතෙක් සුදු කරනු ලැබූ කි‍්‍රයවන්ගෙන් නොපෙනේ. එමෙන්ම ඉදිරිපත් කර ඇති සමහර චෝදනා යහපාලන මූලධර්ම වලට ද සෘජුව  බලපා තිබේ.

ඒ කෙසේ වුවත්, රජය සම්බන්ධව ඉහත විවේචන සමගින්ම මහ මැතිවරණයෙන් පසුව ගොඩ නැගී ඇති අලූත් දේශපාලන සංස්කෘතිය තුළ, අවම වශයෙන් මාස 6ක හෝ අවුරුද්දක කාලයක්වත්, සිවිල් සමාජය මෙතෙක් කටයුතු කළ ආකාරයට වඩා වෙනස් අකාරයකට අනෙකුත් සමාජ ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇත.

එම කෙටි කාලය තුළ මෙතෙක් සිදු කරනු ලැබු ප‍්‍රතිසංස්කරණයන් සම්පූර්ණ කර ගැනීමත්, අනෙකුත් අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ යෝජනා සැකසීම හා නීතිගත කිරීම හා ඒවා කි‍්‍රයාත්මක කරවා ගැනීමේ යාන්ත‍්‍රණයන් පිහිටුවා ගැනීම හා ඒවා අධීක්ෂණය කිරීමේ යාන්ත‍්‍රණයන් සැකසීම අපගේ මූලිකත්වයෙන් සකස් කර ගත යුතුව තිබේ.

1    19වන ව්‍යවස්ථාවට නැවත සංශෝධනයක් (එහි දී ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ නියෝජිත සංඛ්‍යාව වැඩිකර ගැනීම ඇතුලූව පසුගිය පාර්ලිමේන්තුවේ දී සංශෝධන ය වූ හා කැපී ගිය අනෙකුත් යෝජනා ඇතුළත් කර ගැනීම)

2    විගණන පනත, තොරතුරු පනත, දූෂණ විරෝධී පරීක්ෂණ ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම හා දූෂණ වැලැක්වීම සදහා අල්ලස් කොමිසම තව දුරටත් ශක්තිමත් කිරීම

3    මැතිවරණ සංශෝධණ පනත සම්මත කිරීම

4    ව්‍යවස්ථාදායක සභාව හරහා සියලූම ස්වාධීන කොමිෂන් සභා කඩිනමින් පත් කරවා ගැනීම ඒ සදහා සුදුසුකම් ඇති ස්වාධීන කොමසාරිස්වරු හා නිලධාරීන් පත් කරවා ගැනීම සදහා කටයුතු කිරීම. කොමිෂන් සභා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ලබා දීම සදහා රජය සමග කටයුතු කිරීම හා කොමිෂන් සභා සමග සිවිල් සමාජය ‍ඓන්දීයව සම්බන්ධ වීම,කොමිෂන් සභා කි‍්‍රයාකාරීත්වය සම්බන්ධව සිවිල් සමාජ අඛන්ඩ අධීක්ෂණය

5    මූලික අයිතිවාසිකම් නඩු ඉතා කෙටි කාලයක් තුල අසා අවසන් කිරීමට සැලැස්මක්, මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය පණත් සම්ම්ත කරවා ගැනීම (කොමිසමේ විමර්ශන කඩිනම් කිරීම හා එහි නිර්දේශ අනිවාර්යෙන් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම)

6    ජනවාර්ගික සමගිය වෙනුවෙන් රජය ඉදිරිපත් කරනු ලබන යෝජනා කඩිනම් කිරීම හා එම යෝජනා අවම වශයෙන් 13 වන සංශෝධනයෙන් ඉදිරියට ගිය (13+) යෝජනාවලියක් වෙත රජය තල්ලූ කිරීම.

ඇතුලූ කාරණා සම්බන්ධව සිවිල් සමාජයේ හදිසි අවධානය යොමු විය යුතුය. මේ කරුණු ඉටුකරවා ගැනීම සදහා සිවිල් ව්‍යාපාරය සැලැස්මක් තුළ ඒකාබද්ධව හා ශක්තිමත්ව කටයුතු කළ යුතුව තිබේ. එසේ කළ නොහැකි වුවහොත් 1994 න් පසුව රටට අවශ්‍ය වෙනස් කිරීම සදහා නිර්මාණය වූ මෙම ස්වර්ණමය අවස්ථාව ගිලිහී ගොස් නැවත ජාතිවාදී ගොහොරුවට රට ඇදගෙන ගොස් නිර්මාණය වන ආරජිකත්වය තුළ දහස් ගණනකගේ ජීවිත වලින් ඊට වන්දි ගෙවීමට සිදු වීම ද නොවැලැක් විය හැකි වනු ඇත.

පිලිප් දිසානායක




2015-09-17
Advertisement

Find us on Facebook