English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රිය ජනාධිපතිතුමනි,

මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ බියෙන් තොරව ඡන්දය දීමට අවස්ථාව ලැබුණහොත් ඔබගේ ජනාධිපතිධුරය අවසන් වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් නිසාය.

අනෙක් අතට මෙම ජනාධිපතිවරණය ඡන්ද මංකොල්ලයක් බවට පත්කිරීමට දැන් ඉතිං ඉඩක් නැත. මන්ද යත් මෑත කාලීන ලංකාවේ නොවූ විරූ පරිද්දෙන් මෙම ඡන්දය මහා ජනයාගේ ඡන්දයක් බවට පත්ව තිබෙන නිසා ය. මහා ජනයා අතර මෙතරම් පිබිදීමක් ඇති කළ ඡන්දයක් මෑත කාලයෙහි තිබී නැත.

ඇත්තටම නම් මේ වනාහි අනපේක්ෂිත වර්ධනයකි.

ඔබතුමාම හොදින් දන්නා පරිදි පොදු විපක්ෂය වටා ගොඩ නැගී ඇත්තේ නොසිතූ විරූ ජන ප‍්‍රසාදයකි. මෙවැනි ජන ප‍්‍රසාදයක් සහ ආස්වාදයක් ගොඩ නැගෙනු ඇතැයි විපක්ෂයේ නායක නායිකාවන් වත් නොසිතන්නට ඇති. දැන් ජනාධිපතිවරණ තීන්දුව ජනයා විසින් දී හමාරය. ඇත්තේ කතිරය ගැසීමට පමණි.

ඔබේ රූපකායෙන් ද ක‍්‍රියාවෙන් ද වචනයෙන් ද සිනහවෙන්ද වශීකෘතව සිටි ජනයා දැන් ඔබ අතහැර යමින් සිටින්නේ මන්දැයි සිතා බැලීමට ඔබට මොහොතක් හෝ ලැබෙන්නේ නැත් ද? නැත්නම් ඔබ ඇදහිය නොහැකි තරමේ මනෝ විකෘතියක සිර වී සිටිනවා වත් ද?

ආඥාදායක පාලකයන්ට හෘදය සාක්ෂියක් ඇත්දැයි යන්න සමාජ මනෝ විද්‍යාඥයන්ට බාර පැනයකි. රාජ්‍යයක මර්දනකාරී හස්තයන් වන පොලීසිය සහ බන්ධනාගාර වැනි ආයතනයන්හි සේවය කරන පුද්ලයන් සිය සේවා කාලය තුළ බාලයන්ට පවා දරුණු වධහිංසා පමුණුවන නමුත් නිවසෙහි දී එම වයසේම සිය දරුවන් සුරතල් කරන බව කියනු ලැබේ. හැට ලක්ෂයක් යුදෙව්වන්ද ඇතුළුව සියක් ලක්ෂයකට වඩා ජනතාවක් ඝාතනය කිරීමට නියෝග දුන් හිට්ලර් සිය සහකාරියට පෙම් කළේ ය. යුද බිමෙහි අහිංසක ජනයා අමු අමුවේ ඝාතනය කරන සොල්දාදුවෝ මෙන්ම සටන්කාමීහු ද නිවෙසෙහි සිය මාපියන් බිරින්දන් සහ දරුවන් සමඟ විනෝද වෙති.

එනයින් අතිශය දරුණු මිනිසුන්ට පවා යම් තෙතමනයක් ඇති තැනක් සිත් ඇතුළාන්තයේ තිබේ. මා ඔබ හිට්ලර්ගේ ගණයට ඇතුළත් කරන්නේ නැත. එහෙත් ඔබම දන්නා පරිදි ඔබ එක්තරා අන්දමක අන්තනෝමතික පාලකයෙකි. කෙටියෙන් ඔබ වනාහි ලංකාවේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන අවකාශයත් අවසන් කොට සිය පවුලේ සහ සහචරයන්ගේ පාලනයක් පිහිටු වූ සහ එම පාලනයට සරිලන පරිදි නීති රීති ද වෙනස් කොට ගත් ව්‍යවස්ථාදායක ඒකාධිපතියෙකි.

දැන් එළඹ ඇත්තේ ඔබ සිත්හි තෙතමනය ඇති තැනට ඉඩ දිය යුතු වේලාවකි. ඒ ඔබේම අතීතය සහ අනාගතය ගැන මෙනෙහි කර ගැනීමට ය.
ජනාධිපතිතුමනි, දැන් ඔබේ හෘදය සාක්ෂියට සවන් දෙන්න. ඉතිහාසයේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන විට කවරකු වුවත් කළ යුතු ප‍්‍රථම කාර්යය වන්නේ සිය හෘදය සාක්ෂියට සවන් දීමයි.

ඔබට මෙනෙහි කොට ඇතුළාන්තයට සවන් දීමට ඉඩ සලසනු ඇති එක් සරල කරුණක් මෙන්න.

ඔබේ රැස්වීම්වලට ජනයා ගෙනෙන්නේ සිය ගණන් බස් රථවලින් බව ඔබ දනී. 2005 වසරෙහි ඔබේ ජනාධිපතිවරණ රැස්වීම්වලට මෙලෙස ජනයා අදින්නට වූයේ නැති බව ද ඔබ දනී. එසේ නමුත් වේදිකාවේ සිට ඔබ හඬ නඟන්නේ මෙන්න බලන්න මෙතරම් ජනකායක් යැයි කියා ය. එසේ ඔබ මවාගත් හඬ නඟන විට ඔබේ අභ්‍යන්තරයෙන් ඇසෙන හඬ කුමක් ද? ගමනාගමනයට බස් ද සාත්තු සප්පායමට කෑම සහ බීම ද නොතිබිණි නම් මේ ජනයා ඔබේ කතාවලට අත්පුඩි ගසන්නේ නැති බව ඔබ අභ්‍යන්තරයෙන් අසන්නට ලැබෙනවා නේද? ඒ දන්නා ඔබට දුකක් සංවේගයක් ඇති වන්නේ නැත් ද? අඩු ගණනේ ඇයි මේ කියාවත් ඔබ ආපසු තමාගෙන්ම අසා ගන්නේ නැත් ද?

ඔබ විසින් විමුක්තිය ලබා දුන්නේ යැයි කියූ ජනතාවගේ ඡන්ද ලබා ගැනීම පිණිස ඔබේ අත්සන යෙදූ බාල ඔරලෝසු බෙදා දීමට සිදුවන විට, ඔබේ රූපය යෙදූ දින දර්ශන බෙදා දීමට සිදුවන විට කවර හෝ දුක්බර හැඟීමක් ඇති වන්නේ නැත් ද? අඩු ගණනේ කේන්තියක්වත්?

ඡන්ද ටිකක් වැඩිපුර ලබා ගැනීම පිණිස ඉන්දියාවෙන් ගෙන්වා ගත් සල්මන් ඛාන් සහ තරුණ සුන්දරියක වන නිළි ජැකොලයින් ද සමඟ බොරැල්ලේ පාර දිගේ ඇවිදින ඔබේ මුහුණ, අහෝ දේශපාලන යාචකයකුගේ මුහුණකට වෙනස් නොවී ය.

අප එක්ව වීදි සටන් සහ මානව හිමිකම් සටන් කළ ඒ 1990 ගණන් සිට අද වන විට සිදුව ඇති වෙනස සහ විපත්තිය කොතරම් ද? ඉතිහාසය විසින් ඔබ විනිශ්චය කරනු ඇත්තේ එම යහපත් කාල පරිච්ඡ්දයෙන් නොව ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතිය විනාශ කළ ඔබගේ ජනාධිපති ධුර කාලයෙනි. අද මෙරට පොදු විපක්ෂයේ දේශපාලන ජයග‍්‍රාහී වේදිකාව මත ලියැවෙන්නේ ඔබ පිළිබඳ විනිශ්චය යි.

බලන්න, ඔබට පෙර සිටි කවර හෝ ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු සිය දරුවන් දේශපාලනයට ගෙනැවිත් ඔවුනට බලකායන් නිර්මාණය කර දී ප‍්‍රචණ්ඩ දේශපාලනයකට හුරු කළේ ද? නාමල් රාජපක්ෂ නායකත්වය දෙන නිල් බලකාය රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කරමින් රටපුරා විපාක්ෂික දේශපාලන කණ්ඩායම්වලට පහර දෙමින් යෙදී සිටින දේශපාලනය වැනි අතීතයක් සහිත එක ද රාජ්‍ය නායක නායිකා දරුවෙක් මෙරට වීද?

අනුර බණ්ඩාරනායක, සජිත් පේ‍්‍රමදාස, රවි ජයවර්ධන යනාදී කිසිවකු බලකායන් මගින් විරුද්ධවාදීන් මැඬලීම සිය දේශපාලනය කර ගත්තේ නැත.
ඔබ විසින් ලංකාවට ලබා දෙන ලද දේශපාලන දායාදය නාමල් රාජපක්ෂ නම් අහෝ! එය මොන තරම් විපතක් විය හැකි ද? සිය දොළදුක් සංසිඳවා ගැනීම පිණිස මල්වතු අස්ගිරි නා හිමියන්ගේ ඉල්ලීමට පිටුපා ඔහු විසින් මහනුවර නගරයේ මෝටර් සයිකල් රේස් පැද්දවීම යනාදී නාස්තිකාර හැසිරීම් විසින් සංකේතවත් කරන්නේ හයිටියේ අඥාන ළාබාල ආඥාදායකයා වූ බේබි ඩොක් එරටට අත්කර දුන් ඉරණම ය. බේබි ඩොක්ට ද මැර හමුදාවක් වූ, අකීකරු දරුවන් කෑමට ගන්නා අවතාරයක නම ගත් ‘තොන් තොන් මැකූත්’ නම් භීෂණ කල්ලියක් තිබුණි.

17 වසක එජාප පාලනයට පසු එළඹි 1994 ජනාධිපතිවරණ සමයෙහි අපිද ‘බියෙන් අත්මිදෙමු’ ප‍්‍රසංගය සමඟ රටපුරා ගියෙමු. එහෙත් අපට එක ද ගල් පහරක් හෝ වැදුණේ නැත. එක හූවක් හෝ ඇසුණේ නැත. ලක්ෂ්මන් විජේසේකර එදා එම වේදිකාවෙහි ගී ගයා නිරුපද්‍රිතව ගෙදර ගියේ ය. ජයතිලක බණ්ඩාර ද ගී ගැයුවේ ය. ඔහුට පහර දීමට එදා ජනාධිපති දරුවන්ගේ බලකායන් පැමිණියේ නැත.

අද ජනාධිපතිතුමනි, කොතරම් වෙනසක් ද?

යුද්ධාවසානයෙන් පසු ඔබට ආපසු හැරී බලන්නැයි ද ධර්මාශෝක මඟ ගන්නැයි ද කළ ආයාචනා ඔබ විසිකර දැමුවෙහි ය. අවාසනාවකට මෙන් දැන් මේ අවස්ථාව එළඹෙන්නේ ඔබ බලයෙන් පහවීමේ පෙර නිමිති පහළ වී ඇති මෙහොතෙහි ය.

ඉතිං දැන් ස්වකීය චිත්ත අභ්‍යන්තරයට සවන් දීමේ අවස්ථාව ඔබ හමුවට පැමිණ තිබේ.

දේශපාලන බලය සදා පවතින දෙයක් නොවේ. එය අත්හැරීමට අවස්ථාව පැමිණි විට සාමකාමීව බැස යෑමට සූදානම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයකි. දැන් ඔබ කළ යුතුව ඇත්තේ මහා ජනයාගේ නිදහස් ඡන්දයට සවන් දී ජනවාරි 09 දා සාමකාමීව බලයෙන් ඉවත්වීමය. අඩුම වශයෙන් මේ එළැඹෙන අවසාන අවස්ථාවේදීවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන්ට හිස නමන්න. බලයෙන් හෝ කූටෝපායයෙන් හෝ බලයේ රැඳී සිටින්නට තැත් දරන්න එපා. ඉතිහාසය ඔබ සම්බන්ධ විනිශ්වය දී අවසානයි. ඊට හිස නමන්න සූදානම් වන්න.



  සුනන්ද දේශප‍්‍රිය

        -MMP




2015-01-06
Advertisement

Find us on Facebook