English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හම්බන්තොටදිත් එහෙමයි. ඔවුන් ගැහුවෙ අපිට විතරක් නෙවෙයි. ඔවුන් ගැහුවෙ මේ සත්‍යට යි.

වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන් , වීදියේ විරෝධය එදා හම්බන්තොට ට ගිය දා (දෙසැ21) රාජපක්‍ෂ නිල චරපුරුෂයින් අවි ආයුධ අතදරා පැමිණි හද්ද උදැසන ජනතාව බලාසිටිය දී, අවිහිංසාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුක්ති සාධාරණය පිළිබඳව කථාකරන පොදු මහජනයා දැනුවත් කරන පුරවැසියන්හට පහර දුන්නේය. පන්න පන්නා පහර දුන්නේය. හමුදා සෙබළුන් පාවිච්චිකරන බූට්ස් පැළදී පාවලින් පහර දුණි. එමගින් යම්කිසි සත්‍යතාවයක් අවධාරණය කොට ඔප්පුකොට ඔවුන් විසින් ම පෙන්වා දුණි. 

ඒ තිරිසන් ක‍්‍රියාවට එරෙහි වෙමින් එය නිර්ධය ලෙස හෙළාදකිමින් විදියේ විරෝධය විසින් මාධ්‍යට අදහස් කියන්නට දෙසැම්බර් 22 වෙනිදා පොදු ජනාධිපති අපේක්‍ෂක කාර්යාලයේදි මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්විණි. පහත පළවන්නේ පහරකෑමට ලක්වු ජයතිලක බණ්ඩාර සහ සම්පත් සමරකෝන් සමග විද්වතුන් කිහිප දෙනෙකු එම මාධ්‍ය සාකච්ඡවේදී දැරු අදහස් වේ. 

ජයතිලක බණ්ඩාර- මේ සත්‍ය කියන්නට රටේ කොතනකට හරි අපි යළිත් යා යුතුයි.

අපි වීදියේ විරෝධය පවත්වන්නට තීරණය කළේ මේ මොහොතේ දි අපි විශ්වාස කරන දේ පාරේ තොටේ ඉන්න අයත් සමඟ කථා කළ යුතුයි කියලා හිතපු නිසා යි. අපි විශ්වාස කළා අපි දරපු අදහස මිනිස්සුන්ට කථා කරන්නට ශුද්ධ වූ අයිතියක් අපිට තියනවා කියලා. මාධ්‍ය ආයතන ගිනි තැබීම් ගැන අපි කථා කළා. ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම නිසා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්ලිගොඩ සිය දරුවන් සමඟ සිය සැමියා, තමන්ගේ දරුවන්ගේ පියා එනතුරු මඟ බලා සිටින එක ගැන අපි කථා කළා. එ්ක සත්‍යක්. එ්ක කියන්න අපිට අයිතියක් තියනවා. අපි කිව්වා තමන්ගේ අර්ථසාධකේ වෙනුවෙන් සටන් කරලා එ් උද්ඝෝෂණයේ දී මේ ආණ්ඩුව විසින් මරා දාපු රෝෂේන් ගැන අපි කව්වා. ඔහුගේ අම්මා හැම මාසෙකම දරුවා මරපු දවසේ කටුනායක පොලිසිය ඉදිරියේ හිටගෙන ඉන්නවා මගේ දරුවා මැරුවේ කවු ද අහන්න. මේ කථා අපි පාරෙ කථා කළා. ඉන්ධන මිල වැඩි කළ නිසා ජීවත් වෙන්න අමාරු වුණු ධීවරයින් උද්ඝෝෂණය කළ විට මරිච්ච ඇන්ටනී ගැන අපි මහ පාරෙ කථා කළා. වව්නියාවෙ හිර ගෙදර හිටපු නිමලරූබන් යකඩ පොලූවලින් පහර දීලා මරා දාපු එක ගැන අපි කව්වා. එ් අම්මගෙ කථාව අපි කව්වා.‘මං පන්දල් බඳින්න හිටියෙ මගෙ දරුවගෙ විවාහයට. එ්ත් අද මං පන්දල් බඳින්නෙ මගෙ දරුවගෙ මරණෙට’. මේවා කථා කරන්න අපිට අයිතියක් නැද්ද?. අපි විශ්වාස කරන්නේ එහෙම අයිතියක් අපිට තියනවා කියලා යි. වතුර ඉල්ලලා පාරට අවාම වෙඩි තිබ්බා. එයින් මැරුණු මිනිසුන් ගැන අපි කිව්වා. එ් ඇත්ත කථා කරන්න අපිට බැරිද? රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් මේ ඇමතිවරු ගසා කන හැටියි අපි පාරෙ කථා කළේ. පුරවැසියො වෙන අපිට මේව කියන්න බැරි ද? එ්වා කථා කරන්න ගාල්ල ද මාතර ද හම්බන්තොට ද එප්පාවල ද යන්න කාටවත් ප‍්‍රශ්නයක් නොවිය යුතු යි. ඔවුන් අපිට කිව්වේ හම්බන්තොට දී මේවා කථා කරන්න බැහැ කියල යි. එ්ත් මං විශ්වාස කරනවා තව දුරටත් හෙට දවසේ එ් ඇත්ත අපි කථා කළ යුතු ව තිබෙනවා. අද මේ පුවත්පත් සාකච්ඡුාවට මං මේ වීදියේ විරෝධය කබාය ඇඳ ගත්තෙත් එ්ක යි. අපි හෙටත් 8 වෙනි දයින් පසුවත් මේක කථා කළ යුතු යි. එදා එප්පාවලදි පහර දුන් පසුත් ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇති අපිව නවත්වන්න. හම්බන්තොටදිත් එහෙමයි. ඔවුන් ගැහුවෙ අපිට විතරක් නෙවෙයි. ඔවුන් ගැහුවෙ මේ සත්‍යට යි. ඔවුන් පැහැරගෙන යන්න උත්සාහ කළේ අපි විතරක් නෙවෙයි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධ, මරා දැමීම්වලට විරුද්ධ, මාධ්‍ය නිදහස විනාශ කිරීමට එරෙහි වීමට ඇති අයිතියයි ඔවුන් පැහැරගෙන යන්න උත්සාහ කළේ. ඊට ඉඩ දිය නොහැකි යි. මේ අනිත් සහෝදරයෝ පහර කෑවෙ මාව බේර ගන්න ගිහිනුයි. ආයුබ්ඛාන් මහා වීර චරිතයක්. ඔහු නොසිටින්නට සමහර විට මීට වඩා වෙනස් තත්ත්වයක් ඇති වන්නට ඉඩ තිබ්බා. මාව ඇදගෙන යන්න පැහැරගෙන යන්න උත්සාහ කරද්දී සම්පත්ලා, පිලිප්ලා, ප‍්‍රසංගල, සජීවලා ඇ`ගේ එල්ලිලා ඔවුන් මාව බේරගත්තේ එ් සහොදරකම නිසායි. මේ සහෝදරත්වය සමඟ මේ සත්‍ය කියන්නට රටේ කොතනකට හරි අපි යළිත් යා යුතු ව තිබෙනවා.

ධර්මසිරි බණ්ඩාරනායක - මේ ගැහිල්ල දැං ලංකාවෙ කි‍්‍රයාත්මක වෙනවා.

අපි ඊයෙ රැස්වීමකට යද්දි මෙය සිදුවීමත් සමඟ ම දුරකථන පණිවුඩයක් ආවා ජයතිලකට පහර දීලා කියලා. එ් මොහොතෙ මට හිතුණා ඊළඟට වෙන්නෙ මට කියලා. හේතුව මේ මොහොතේ දැනෙන දෙයක් ක‍්‍රියාත්මක වෙනවා. එප්පාවල දී ජයතිලකට එල්ල කළ මැර පහරෙන් පසු ඔහු නිර්භිත ව ඇවිත් කළ මාධ්‍ය සාකච්ඡවට සහභාගි වූ අයෙක් හැටියට එදා ඔහු කියූ වැකි කිහිපයක් මම මගේ දේශපාලන කථාවල දී එක් කර ගත්තා. ඔහු කිව්වා ඔහුට එදා එප්පාවල දී පහර එක ඔහුට දරා ගන්න පුළුවන් එ්ත් පපුවට අමාරු එ් පහර දුන් දෑත් ශක්තිමත් කළේ ඔහු සමඟ ගී තනු නර්මාණය කළ, සංගීත වැඩ සටහන්වලට එකට සහභාගි වූ රෝහණ වීරසිංහ යි. ඔහු කිව්වා මා එක්ක සිර ගෙට ගිහිං එකට බත්පත බෙදං කාපු, රජරට ගුවන් විදුලියෙ රැුකියාව අහිමි වූ පසුත් එකට හිටපු දිවුල්ගනේ  ඔහුගේ ලේඛම් මහින්ද චන්ද්‍රසේකර මේ දෑත් ශක්තිමත් කරන එකයි ඔහුට දරන්න බැරි කියලා. මං මගේ මැතිවරණ ප‍්‍රචාරණයේ දී කලාකරුවන්ට පහර දීම සම්බන්ධ මාතෘකාවට මේ ප‍්‍රකාශනය යොදා ගත්තා. මේවා මිනිසුන් දැන ගත යුතු යි. ඔහු දෙදරු පියෙක්. අපි හිතනවා මේ පහර දෙන්නේ එක් අයකුට. පැහැර ගහන්නේ එක අයෙක් කියලා. එදා මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට ගහලා පාරෙ දාපු කාලයක් තිබුණා. ඔහු තමයි අපිට දැනුම දුන්න මහා කලාකරුවා. ජයතිලකයනුත් දැවැන්ත කලා ගුරුවරුන්ගෙන් පෝෂණය වුණු කලාව කිසියම් දුරක් පෝෂණය කරගෙන පැමිණි කලාකරුවෙක්.

අපි යුද්ධ කාලයේ දී යුද්ධය පිටු දකින්න පෙනී සිටියා. ජයතිලක සහෝදරයා උතුරු නැගෙනහිර පළාත්වල ගිහිං එ් කාලයේ මේ යුද්ධය නතර කිරීමට සාධු ජනරාව වැනි වැඩසටහන් ගණනාවක් කළා. යුධ ජයග‍්‍රහණයෙන් මුසපත් වුණු ඔවුන්ට මොහු වැනි අය ඉවත් කිරීමට අවශ්‍ය යි. එ් පහර දෙන්න ආව පුද්ගලයා සම්බන්ධයෙන් රාවය පත්තරයේ තබූ ලිපියක පින්තූරයක් සිහි වෙනවා. එ් ගැන මට තමිල්නාඩු චිත‍්‍රපටයක ප‍්‍රචාරක පුවරුවක රූපයක වැනි එ් හා සමාන මතකයක් මට තියනවා. ජයතිලකව ඉවරයක් කරලා භීතියක් මවන්න උත්සාහ කරනවා. එ් සිදුවීමෙන් පසු අපි රැස්වීමකට යද්දි දරුවො කියනවා යන්න එපා කියලා. අද ජයතිලකගෙ ළමයින්ට බිරිඳට එක අපිට වඩා දැනෙනවා. ඒක අද මෙතන කියද්දි එතුමාට එ්ක දරා ගන්න බැහැ. මනුෂ්‍යයෙක් නිසා. මෑතක දී රත්නපුර කාන්තාවකට පොලිස් නිලධාරියකු ‘බුදු සර් ගහන්න එපා කියද්දී ගහනවා’. ඊයෙ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ශිෂ්‍යයන් විතරක් නෙවෙයි ශිෂ්‍යාවන්ටත් බිම පෙරලගෙන ගහනවා. මේ ගැහිල්ල දැං ලංකාවෙ කි‍්‍රයාත්මක වෙනවා.

මේ ගැන මං කතා කළා ම ඊයෙ රෝහණ වීරසිංහ මට මාධ්‍ය හරහා පහර ගැහුවා. ජයතිලක ඔබ කිවූ දේ කොතරම් හරිද? තමන්ගෙ සහෝදර කලා කරුවකුට පහර දුන්නහම අඩු ම වශයෙන් ජයතිලක උඹට තුවාල ද කියලා අහන්න බැරි කුපාඩි කලාකරුවන්ට අපි මේ මොහොතෙ උත්තර දිය යුතු යි. හෙට දවසෙ අපි වෙන්න පුළුවන්. එ්ත් අපි ආයෙ හැරෙන්නෙ නැහැ. අපිට  ඕනෙ මේ රට සංස්කෘතික දේශයක් කරා ගෙන යන්න මේ පාදඩ අසංස්කෘතික අශීලාචාර උන්ගෙන් මේ රට මුදා ගන්න. එකෙක් මළත් අපි මේක කරනවා. එ් මේ රටේ අනාගත පරම්පරාවකට මේ රට ඉතුරු කරලා යන්න  ඕනෙ නිසා. අපි එදා යුද්ධය නවත්වන්න උත්සාහ කළා. අදත් අපි යුද්ධයට විරුද්ධ යි. යුධ ජයග‍්‍රහනයේ ස්වාභාවය තමයි මේ. ඔබ කොඩි වැනුව නම් ඔල්වරසන් දුන්න නම් මේ අඳෝනාවටත් ඇහුම්කන් දෙන්න. අපි ශ්‍රේෂ්ඨ කලා කරුවන්ගෙනුයි කලාව ඉගෙන ගත්තෙ. අපි කලාව භාවිතා කළෙත් මිනිසුන් ප‍්‍රඥවන්තයින් කරලා මේ ව්‍යසනයෙන් ඔවුන් මුදවා ගන්නයි. මගේ නාට්‍ය තුනක් අන්තර්ජාතික නාට්‍ය තරඟවලින් තේරුනත් එ්වා පෙන්වීමට යාමට මුදල් මට නැහැ. මං එක් එක් අය ළඟට ගිහිං ටිකට් ගන්න මුදල් සෙව්වා. එ්ක රජයේ වගකීමක්. ජනතාව කලාවෙන් පෝෂණය කරන එක. මට වරක් ජනාධිපති අරමුදලෙන් මේ නාට්‍ය පෙන්වන්න රට යන්න ටිකට් අරං දුන්නා. ඊයෙ රෝහන වීරසිංහ ඇතුළු පිරිස ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡුාවෙන් මට පහර ගහනවා ඔවුන්ගේ මුදලෙන් රට ගිය බවට. එ්වා මේ රටේ ජනතාවගේ මුදල්. මෑතක දී ආව කලාකරුවෝ යැයි කියා ගත් කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් අද ආණ්ඩුව බදු අරං. මෑතක දී මම පාසලක දේශනයක දී හුණු වටයේ කථාව ගැන කියූ විට එහි හුන් හාමුදුරු නමක් මට බැනගෙන නැගිටලා ගියා මූ මහින්ද විරෝධියෙක් කියලා. පාසලේ දරුවන් ඉදිරිපිට දී. මොනවගේ අධ්‍යාපනයක් ද ඔවුන් දරුවන්ට දෙන්නේ. අද ආණ්ඩුවේ ඉන්න කලාකාරයෝ බලන් ඉන්නේ හෙට කාට ද ගහන්නේ කියලා. අද මේ අවස්ථාව ඇත්තේ මැර බලය විනාශ කිරීමට යි. මෑතක දී මං අයෙක් ව විචාරය කරලා ලිපියක් ලිව්වා. මට බොහෝ ගණනක් ීඵී එනවා ධර්මසිරි අයියේ පරිස්සම් වෙන්න කියලා. මේ පරිස්සම් වෙන්නේ කාගෙන් ද?. මේ ෆැසිස්ට්වාදී භීතිය පරාජය කළ යුතුම යි. ජයතිලක බණ්ඩාර මේ රටේ යුක්තිය,  සමානාත්මතාවය සහ සාමය උදෙසා කරන ලද මෙහෙවර ගහලා මරලා පරාජය කරන්න බැහැ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර - ලේවලින් මේ බිම තෙත් කළ පාලක පිරිසකට මේ බලය අත්හැරීම සරල නැහැ. පහසු නැහැ.

අද ඇයි මේ විදියට නිදහස් අදහස් ප‍්‍රකාශ කරන කලාකරුවන්ට, සමාජ ක‍්‍රියාකාරීන්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන්නේ. මේ ප‍්‍රහාර ක‍්‍රමයෙන් අමානුෂික ආකාරයකට වර්ධනය වෙලා. අද පාලකයින් ඔවුන්ටම පාලනය කර ගන්න බැරි විදියට ඉතා දැවැන්ත ලෙස වියරු වැටිලා ඉන්නේ. ඇයි මේ. ඔවුන් හිතුවා පසුගිය කාලයේ මේ රටේ ජන මාධ්‍ය වේවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන වේවා, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන, මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මර්දනය කරගෙන ආව විදියට ඉතා පහසුවෙන් තමාගේ ධන බලය, මැර බලය, පිරිස් බලය හා රාජ්‍ය බලය යොදවලා පහසු ජයග‍්‍රහණයක් මෙවරක් අත්කරගන්න හැකි වෙයි කියලා. එ්ත් අද දිනෙන් දින පැයෙන් පැය ඔවුන් සිතූ ජයග‍්‍රනය අත් නොවන බව ඔවුන්ට පෙනී යමින් තියනවා. රටේ ජාතික ධනය සූරගෙන කාලා. සම්පත් මංකොල්ල කාලා, ඉතිහාසයේ කවදාවත් නොවූ ලෙස පර වූ දේශපාලන පවුලක් අද පාලන බලයේ ඉන්නේ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සියල්ල සුණු විසුණු කරලා සියල්ල රූකඩයන් බවට පත් කරලා රටේ අනාගතය වෙනුවෙන් තිබූ මහජන ආයතන සියල්ල විනාශ කළ විශාල වන්දියක් ගෙවීමට හිමි පිරිසක් ඔවුන්. එටේ නීතියේ ආධිපත්‍ය නැති කරලා මැරයන්ගේ ස්ත‍්‍රී දුෂකයන්ගේ හොරුන්ගේ රාජ්‍යයක් කරපු එ් සඳහා අනාගතයේ වන්දි ගෙවන්න නියමිත පිරිසක් මොවුන්. අති විශාල ජනමාධ්‍යවේදීන් පිරිසක්, අයිතීන් වෙනුවෙන් හඬ නගපු කලාකරුවන් පිරිසක් අමු අමුවේ ඝාතනය කළ, අතුරුදහන් කළ අතපය කඩලා දාලා ඔවුන්ගේ ලේවලින් මේ බිම තෙත් කළ පාලක පිරිසකට තමයි මේ බලය අතහරින්න වෙලා තියෙන්නේ. එ් නිසා ඔවුන් සරල නැහැ. පහසු නැහැ මේක කරන්න. එ් නිසයි මේ භීෂණය වපුරමින් මර්දනය කරන්න උත්සාහ කරන්නේ. එ්ත් අද රටේ අනාගතය වෙනුවෙන් ගොඩනැගෙන ජන බලය පරදන්න ඔවුන්ට බැහැ. එ් විතරක් නෙවෙයි ලබන 8වෙනිදයින් පසුවත් අපි අපේක්ෂා කරන සමාජ සාධාරණත්වය, යුත්තිය සහිත සමාජය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් එ්වා ජයග‍්‍රහණය කර ගැනීමයි අපේ අරමුණ.

රාවය කතෘ - කේ. ඩබ්. ජනරංජන- ජන සම්මතවාදී ආණ්ඩුවක් අපි බිහි කර ගත යුතු යි.
එදා විජේකුමාරතුංගට වෙඩි තිබ්බ වෙලාවෙ සමාජය එ්ක හැඳින්වුවේ සමනලයෙක්ට වෙඩි තිබ්බා කියලා. ඊට පෙරත් පසුත් මෙවන් ප‍්‍රහාර එල්ල වුණා මෙන් ම සමාජය එය හෙළා දැක්කා. ඔවුන් සමාජයට පීඩාවක් නොකර තමා දරන අදහස තමා පිළිගත් කලා මාධ්‍යයෙන් කරගෙන යනවා. එ්වගේ අයට පහර දීම සමනලූන්ට පහර දීමක් වගේ ඉතා අධම තුච්ඡු නින්දිත ක‍්‍රියාවක් ලෙස සමාජයක් විදියට අපි හෙළා දැකිය යුතු  යි. ඊයෙ මම විද්‍යුත් මාධ්‍යක දැක්කා හම්බන්තොට නගරාධිපති කියනවා ‘මගේ බල ප‍්‍රදේශයට නීති විරෝධීව ඇවිත් එක එක අයට  ඕන දේවල් කරන්න මම ඉඩ දෙන්නේ නෑ’ කියලා. මෙයින් පෙන්නේ ඔහු හිතනවා හම්බන්තොට ඔහුට පවරලා දුන් නින්දගමක් කියලා. මේක ඔහුගේ පෞද්ගලික අදහසක් විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා හිතනවා මේ රට ඔහුට ලැබුණු නින්දගමක් කියලා. මේක ඔහුගේ රාජධානිය, ඔහු මේකෙ රජ්ජුරුවෝ කියලා. ඔහු උතුරේ වූ සිවිල් අරගලය ආයුධ බලයෙන් පරාජය කළ පසු ඔහුට කළගුණ සැලකීමක් ලෙස අපි ඔහු යාවජීව රජු ලෙස පවත්වාගත යුතු යි කියලා හිතනවා. එවිට ඔහුගේ පහළ මට්ටමේ සිටින ගෝලයොත් මේ ටිකම හිතනවා. මේක ඉහළ සහ පහළ අතර සහයෝගයෙන් සිදුවන චින්තනමය ක‍්‍රියාවලියක්. පුරවැසියන් අපිට හිතෙන දේ තමයි මෙවැනි රාජධානියක්, රජකු මම තමයි මේකෙ අධිපතියා, මං අකමැති කිසි දෙයක් මේකෙ සිදු විය නොහැකියි කියන අදහස අපි පරාජය කළ යුතු යි යන්න. එවැනි අදහස් තියන රටක බිහිවන්නේ රජවරු සහ වහල්ලූ මිසක් පුරවැසියන් සහ පාලකයන් නොවෙයි. මේ නිසා පුරවැසියන්, මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරීන් හැටියට මේ මොහොත අපිට ඉතා වැදගත් හා විශාල කාර්යභාරයක් අප සතු යි.මේ නිසයි අපි පුරවැසි බලය කණ්ඩායම හැටියටත් කියන්නේ අපිට රාජධානියක්, රජෙක්  ඕනෙ නැහැ. රජුගේ පුරෝහිතයෝ, ඇමති මණ්ඩල  ඕන නැහැ. මේක ජන සම්මතවාදී රාජ්‍යක්. ජන සම්මතවාදී ආණ්ඩුවක් අපි බිහි කර ගත යුතු යි. එවැනි රටක පමණයි අපි කැමති දේ කියමින් රට පුරා යාමට අපිට හැකි වන්නේ.

ගාල්ලේ දී වීදියේ විරෝධය සමඟින් සම්බන්ධව මාතර හා හම්බන්තතොට දක්වා ජනතාව අමතමින් ආ රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි.- ප‍්‍රභාකරන් කළ දේ වඩා පුළුල් ව එයාගෙ අයියා වගේ සිදුකරමින් සිටිනවා

සිදුවීම ඇහෙන් දුටු භික්ෂූන් වහන්සේ නමක් හැටියට යි මා මේ ප‍්‍රකාශය කරන්නේ. මා මොවුන්ගේ කලා නිර්මාණ වීදි නාට්‍ය දුටුවා. එ් හා සම්බන්ධ වුණා. හම්බන්තොටට එදා පැමිණි මැර පිරිසේ වැඩි දෙනෙක් අතේ පිස්තෝල තිබුණා. අපිට මර බියක් ඔවුන් ඇති කළා. හරියට එදා ප‍්‍රභාකරන් ඉන්නකොට උතුරු හා නැගෙනහිරට යද්දි ඇති වුණු භීතිය වගෙයි. අපේ බසයෙන් බැහැල හිටපු කලා කරුවන්ට කළ පහර දීම පිළිකුල් සහගතව හෙළා දකිනවා. එ් වගේ ම බෞද්ධ රටක බෞද්ධ නායකින් හැටියට පෙනී සිටිනවා නම් විධායක බලයක් සහිත රාජ්‍ය නායකයා මේ පිළිබඳ ව වගකියන්න  ඕනෙ. අපේ අය එන බව ඔවුන් දැනගෙන සිටියා. විශාල පිරිසක් ඔවුන්ට හිටියා. අපේ කලාකරුවන්ට ඔවුන් සමඟ ගැටෙන්න බැහැ. මොවුන්ගේ ජීවිත බේරයි කියලවත් මට හිතුණේ නැහැ. ජයතිලක මහතා රෝහල් ගත කෙරුණු බව ඇසුණු විට මට මහා කම්පනයක් ඇති වුණා. අද ජනපති දුටුගැමුණු රජතුමා ලෙස පෙනී සිටිනවා. හැබැයි ඔහුට විරුද්ධවන භික්ෂුවකගේ පවා ජීවිත පිළිබඳ විශ්වාසය තබන්න බැහැ. බෞද්ධ ධර්මයේ දස රාජ ධර්මයන්හි සඳහන් වනවා  ශාන්තිය, ඉවසීම හා සමානාත්මතාවය. ජනපති අද රටේ පියා ලෙසත් පෙනෙන්න උත්සාහ කරනවා. ඔහු වීරයෙක් බව පෙන්වනවා. එ්ත් හැබෑව එය නොවෙයි. ඔහු අද ප‍්‍රභාකරන් කළ දේ වඩා පුළුල් ව එයාගෙ අයියා වගේ සියලූ පක්ෂ බෙදා වෙන් කරමින් සියලූ ජාතීන් බෙදා වෙන් කරමින් සිටිනවා. එදා දර්ගා නගරයේ සිදු වීමට මැදිහත් වූ ආණ්ඩුව දෙපාර්ශ්වයේම සිත් දිනා ගැනීමට උත්සාහ කළත් එ්ක පවා රජයේ මැදිත්වීමෙන් කළ ගැටුමක් ලෙයසි අපි දකින්නේ.

සම්පත් සමරකෝන් - හම්බන්තොට නගරාධිපතිවරයා අපිට පහර දීලා කළේ අපිට ශක්තිය දීපු එක.
මම කරුණු දෙකක් ඉදිරිපත් කරනවා අවසන් ලෙස. අපට පහර දීමට පැමිණි හම්බන්තොට නගරාදිපති පැමිණියේ ආයුධ සහිතව. නාමල් රාජපක්ෂගේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ස්ටිකර් ඇලවූ වාහනවල. ඉතා විශ්වාසවන්තව කිව හැකියි එතන යුධ හමුදාවට සමාන බූට් සපත්තු දාගත් පහළොවක් විතර පිරිසක් ඔහු සමඟ පැමිණ අපිට පහර දුන්නා.

අපේ කණ්ඩායමේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු මේ පහරදීමෙන් පසු 10. 40ට පමණ 119 එකට දුරකථන ඇමතුමක් දීලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. එ් වන විට හම්බන්තොට විපක්ෂ නායකයා විසින් අපිට සකස් කර දුන් තැනක අපි ආරක්ෂාවට සැඟවිලා හිටියේ. අපි සවස 3. 50ට පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියා. මම පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගෙන් ඇහුවා අපි 119 එකට පැමිණිල්ලක් දැම්මා ඔබට පණිවිඩයක් ආවද කියලා. එ්ත් එ් වනතුරු කිසිදු පණිවිඩයක් ඔවුන්ගෙන් හම්බන්තොට පොලිසියට ඇවිත් නෑ. බොහොම පැහැදිළි යි, හම්බන්තොට පොලිසියත් මාධ්‍ය වේදීනුත් එතෙන්ට නොයවන්න හම්බන්තොට නගරාධිපති කටයුතු සූදානම් කරලා තමයි මේක කළේ. මේත ඉතාම සැලසුම් සහගතයි. එප්පාවල පහරදීමෙන් පසු පාලකයො සිතුවා මේක අපි නවතයි කියලා. නමුත් ජීවිතය වෙනුවෙන් පෙනී සිටි අපි මේක නොනවත්වා අරගෙන ගියා. ඉතින් හම්බන්තොට නගරාධිපතිවරයා අපිට පහර දීලා කළේ අපිට ශක්තිය දීපු එක.

සටහන් කළේ මාලිංග නදීෂානි
පිංතුරය - ලංකා ෆෝකස් වෙතින්
-MMP



2014-12-23
Advertisement

Find us on Facebook