English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වඳුරඹ මෛත්‍රීගේ රැලියට ඉදිකළ වේදිකාවට හා ශබ්ද විකාශන සහිත ලොරියට ගිනි තබති

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වඳුරඹ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැලිය සඳහා ඉදිකළ දැවැන්ත වේදිකාවට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සහිත වෑන් රථයට සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (17 වැනිදා) අලුයම ගිනි තබා විනාශ කර ඇත.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

ජන රැලිය සඳහා විශාල වේදිකාවක්‌ ඉදිකළ මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන් පිරිස එහි වැඩකටයුතු නිමකර විවේක ගැනීම සඳහා මදක්‌ ඉවතට ගොස්‌ සිටි අවස්‌ථාවේ වාහන 5 කින් පැමිණ ඇති පිරිසක්‌ ඊට ගිනි තබා ඇත.

ආධාරකරුවන් පිරිස වේදිකාව පිහිටි ස්‌ථානයට පැමිණෙද්දී ඊට බරපතළ හානි සිදුවී තිබේ.

ජනරැලිය සඳහා රැගෙන ආ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු තවත් උපකරණ රැසක්‌ සහිත වෑන් රථයටද මෙම සංවිධානාත්මක පිරිස ගිනි තබා තිබේ.

මෙම ගිනි තැබීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක්‌ සිදුවී ඇත.

මෙම සිද්ධිය සැළවීමත් සමගම එක්‌සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා එහි ගොස්‌ සිදුවී තිබූ තත්ත්වය පරීක්‍ෂා කළේය. ඊයේ පෙරවරු වන විට වඳුරඹ නගරයට විශාල ජනතාවක්‌ රැස්‌ව සිටි අතර ඔවුහු මෙම ක්‍රියාව තදින් හෙළා දකිමින් කතා කළහ.

මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී බන්දුල ලාල් බණ්‌ඩාරිගොඩ, එක්‌සත් ජාතික පක්‍ෂයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන, බද්දේගම එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක ආනන්ද ලැනරෝල් ඇතුළු විපක්‍ෂයේ ආධාරකරුවෝ පිරිසක්‌ මෙම ගිනි තැබීමට විරෝධය පළ කරමින් ගාල්ල මාපලගම මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී විරෝධය පළ කරන්නට වූහ.

මෙම ස්‌ථානයේදී අපට හමුවූ දකුණු පළාත් සභා මන්ත්‍රී බන්දුල ලාල් බණ්‌ඩාරිගොඩ මහතා පැවැසුවේ මෙම බියගුලු පහරදීම් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහට්‌ටිගම මහතා ඇතුළු පිරිසක්‌ විසින් සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බද්දේගම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මම ජනාධිපතිතුමාගේ අතිජාත ගෝලයා. ඒ නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න විපක්‍ෂය උත්සාහ කරනවා. අපි සාමකාමී මිනිස්‌සු. අපි ළඟ ආයුධ නෑ.

මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්‌ඩායම ඒ ගොල්ලන්ට ප්‍රචාරයක්‌ ගන්න ඒ අයම මේ ගිනි තබාගෙන අපිට චෝදනා කරනවා. මේ අය වඳුරඹ නගරයේ මගේ ලියාපදිංචි කාර්යාලයකුත් කඩලා.

වඳුරඹ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි. සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හේමන්ත රන්දුණු - බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. නිමල්
උපුටා ගැනීම-Divain online
ඡායාරූපය - BBC online
-MMP



2014-12-18
Advertisement

Find us on Facebook