English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඉඩම් ඇතුළු සියළු සම්පත් කොල්ලකමින් රජය වැනසූ ලාංකීය ජන දිවිය

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ වැඩි ම සංවර්ධන අනාථයන් බිහි කළ හා ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. රටේ ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් යැයි සඳහන් කරමින් මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළින් ජනතාව මුලා කර මහ සයුරේ සිට ඉහළ කඳුකරය දක්වා සෑම අස්සක් මුල්ලක් නෑර අප රටට අයත් සියලූ ස්වාභාවික සම්පත් ජනතාවට අහිමි කරමින් ඉඩම් කොල්ල කමින් ගෙන යන මේ පාලනය හේතුවෙන් ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් කර ඇත.

රටේ ජනතාවගේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් කොල්ලකෑම සඳහා රටේ ජනතාවගේ බදු මුදලින් ක‍්‍රියාත්මක වන ආරක්ෂක අංශ, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය වැනි රාජ්‍ය ආයතන පමණක් නොව ආණ්ඩුවට හිතැති මහා පරිමාණ සමාගම් ද යොදා ගැනීමට වත්මන් රජය සූක්ෂම වී ඇත. මහින්ද චින්තනයෙන් ජනතාව මුලාකර දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැගීම සඳහා පමණක් ක‍්‍රියාත්මක කරන 2011-2030 ජාතික භෞතික සැලැස්මට අනුව බලහත්කාරයෙන් ඇති කරන ඊනියා සංවර්ධනය සඳහා රටේ දැවැන්ත සම්පත් ප‍්‍රමාණයක් වනසමින් තිබේ. එපමණක් නොව එ් යටතේ ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා සංවර්ධනය වන බොහොමයක් ප‍්‍රදේශවල ඉඩම් ජනතාවට අහිමි කර රජයේ ප‍්‍රබලයන් අත්පත් කර ගෙන තිබේ.

විදේශ විනිමය උපයමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යැයි පවසමින් ජනතාව මුලා කරමින් ක‍්‍රියාත්මක කරන සංචාරක ව්‍යාපාරයේ උපරිම ප‍්‍රතිලාභ අත්පත් කර ගැනීමට වෙරළ කලාපය ඇතුළු ව බොහෝ සුවිශේෂී ප‍්‍රදේශවල පිහිටි ඉඩම් කොල්ලකෑම වත්මන් රජය ප‍්‍රබලයින් විසින් සිදු කර ඇත. එ් සඳහා ජනතාව ජාතියේ මුර දේවතාවන් ලෙස සැලකූ ආරක්ෂක අංශ යොදා ගැනීමට වත්මන් රජය ක‍්‍රියා කර තිබේ. රටේ මුළුමහත් ජනතාව දරුණු ත‍්‍රස්ත‍්‍රවාදයෙන් මුදාගත් ආරක්ෂක අංශ රජයේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් හෑල්ලූවට ලක් කිරීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි ක‍්‍රියාවකි.

ආරක්ෂක අංශ යොදා ගෙන, සාම්පූර් ගල් අඟුරු බලාගාරය හා ඉන්දියානු කර්මාන්තපුරය ඉදි කර එහි ප‍්‍රතිලාභ ඉන්දියාවට අත්පත් කර දීමට අක්කර 5000ක භූමියක් පවුල් 1650ක් පමණ පලවාහැර බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසට ප‍්‍රකාශ කරමිනි. ත‍්‍රිකුණාමලයේ සාම්පූර් ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට මානුෂීය මෙහෙයුම දියත් කළ ආරක්ෂක අංශ යොදා ගනිමින් අපකීර්තියට පත් කිරීමට රජය ගත් කි‍්‍රයාමාර්ගය ඉතා ම මානුෂීය කි‍්‍රයාවකි. පානම, රාගම්වෙල හා ශාස්ත‍්‍රවෙල ජනතාව බලහත්කාරයෙන් එලවා දමා අක්කර 1220ක් කොල්ලකා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ යොදා ගත්තේ ද වත්මන් රජය විසිනි. එපමණක් නොව මොල්ලිකුලම් ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් කොල්ලකා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මත කිරීමට ආරක්ෂක අංශ මෙහෙයවූයේ ද මේ රජයයි.

මීගමුව කලපුව ඇතුළු කලපු, වැව් හා ජලාශ බොහොමයක සී ප්ලේන් ගොඩ බෑම හා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර ජන දිවිය වැනසීමට ආරක්ෂක අංශ යොදා ගත්තේ මේ රජය විසිනි. ඉන් නොනැවතී සෝමාවතිය, කන්දකාඩු වනාන්තරයේ අක්කර 11500ක් ඇමෙරිකානු බහු ජාතික සමාගමකට හා වෙනත් මහා පරිමාණ සමාගම්වලට ලබා දීමට ආරක්ෂක අංශ මෙහෙයවූයේ ද මේ රජයයි. මේ අයුරින් සමස්ත ආරක්ෂක අංශය ම ජනතාව ඉදිරියේ නිරුවත් කළේ වත්මන් රජයේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ය. මානූෂීය මෙහෙයුම දියත් කර රුදුරු ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් ආරක්ෂක අංශ රජයේ ඊනියා සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට යොදා ගනිමින් ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කරවීමට තරම් නින්දිත වී ඇත.

මීට අමතර ව කල්පිටියේ දුපත් 14කට අයත් අක්කර 2750ක ධීවර පවුල් 2640ක් පමණ අවතැන් කර, සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉඩම් අත්පත් කර ගෙන මහා පරිමාණ සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. හල්දුම්මුල්ල, වේලි ඔය ව්‍යාපාරය යටතේ වගා කරන ගොවි පවුල් 3000ක් පමණ අවතැන් කර සොරගුණේ වනාන්තරයේ අක්කර 628ක මහා පරිමාණ ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීමට වත්මන් රජය දේශපාලන හිතවතෙකුට වනාන්තර ඉඩම් ලබා දීම ද මේ වන විට සිදු කර අවසන්ය.

අලි-ඇතුන් ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකගේ වනාන්තර ඉඩම් කොල්ල කා සිදු කරන අක‍්‍රමවත් හම්බන්තොට මහා පරිමාණ සංවර්ධන කටයුතු හේතුවෙන් බොහෝ ජනතාවක් අවතැන්ව සීටී. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි - ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කර තිබේ. ඉන් අනතුරුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කෙරින. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා කටයුතු කර ගත නොහැකිව බොහෝ ගොවි ජනතාවක් සංවර්ධනයේ අනාතයින් බවට පත් ව සිටී.

එපමණක් නොව හම්බන්තොට මහා පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට ගංගා ද්‍රෝණි තුනක ජනතාව අවතැන් කරමින් සිටී. උමා ඔය, උඩමව් ආර හා කුඹුක්කන් ඔය යන ජල ද්‍රෝණිවල ජනතාවට ජල අයිතිය අහිමි කරමින් එම ජනතාව අවතැන් කර එම ජලයෙන් හම්බන්තොට මහා පරිමාණ සංවර්ධනය ප‍්‍රදේශය පෝෂණය කිරීමට වත්මන් රජය ක‍්‍රියා කරමින් සිටී.

ඉතා ම හානි කර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බත්මැඩිල්ල ව්‍යාපාරය යටතේ වගා කරන අති විශාල ගොවි පවුල් ප‍්‍රමාණයක් හා ව්‍යාපෘතියට සෘජු ව ගොදුරු වන ගොවි පවුල් 1000කට වැඩි ප‍්‍රමාණයක් සංවර්ධන අනාථයින් බවට පත් වේ. එසේ පවතිද්දී උමා ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන හඳපානාගල, තනමල්විල, බලහරුව, අඹකොලේ ආදී ප‍්‍රදේශවල පිහිටි ඉඩම් අක්කර 2000ක් පමණ ජනතාවට අහිමි කර මේ වන විටත් වත්මන් රජයේ ප‍්‍රබලයින්ගේ හිතවතුන්ට ලබා දී තිබේ.
 
රටේ ඉඩම් බොහොමයක් බහු ජාතික සමාගම්වලට ලබා දීමට ද වත්මන් රජය ක‍්‍රියාකර ඇත. කන්තලේ, මහියංගනය, මොණරාගල හා හම්බන්තොට ප‍්‍රදේශවල රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් ලෝකය අපකීර්තිමත් සමාගමක් වන ඩෝල් සමාගමට කැවැන්ඩිස් නම් කෙසෙල් ප‍්‍රභේදය වගා කර අපනයනය කිරීම සඳහා ලබා දී තිබේ. එපමණක් නොව මෙම සමාගම් විසින් මැණික් ගඟ, කුඹුක්කන් ඔය හා කිරි`දි ඔයේ ජලය වගා කටයුතු සඳහා මහා පරිමාණයෙන් ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කලයේ දී දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට හම්බන්තොට ප‍්‍රදේශයේ ජනතාවට සිදු විය. මේ සමාගම විසින් සිදු කරන දැවැන්ත වනාන්තර විනාශයේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත අලි - මිනිස් ගැටුමක් ද නිර්මාණය වී ඇති අතර මේ නිසා බොහෝ කෘෂිකාර්මික ජනතාව වගා කටයුතු කර ගත නොහැකිව ඉන් ඉවත් වී ඩෝල් සමාගමේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු වන තත්ත්වයක් නිර්මාණය කර ඇත්තේ මේ රජයේ හානිකර කි‍්‍රයා කලාපය තුළ ය.

අති විශාල ණය මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් ඉදි කෙරෙන අසාර්ථක මොරගහකන්ද හා කළු ගඟ බහු කාර්යය වාරි ව්‍යාපෘති දෙක සඳහා දුම්බර අඩවියේ හා වස්ගමුව ජාතික වනොද්‍යානයේ වනාන්තර ඇතුළු ව ලග්ගල හා නාවුල ප‍්‍රදේශයේ ගම්මාන විශාල ප‍්‍රමාණයක ගොවි පවුල් 3500ක් පමණ සංවර්ධන අනාථයන් බවට පත් කර තිබේ. ජපාන වාරි විශේෂඥයන්් පැමිණ පරීක්ෂාකර බලා අසාර්ථකයැයි සඳහන් කළ මෙම වාරි ව්‍යාපෘති දෙක ඉදිකිරීම සඳහා රජයේ දේශපාලන උවමනාවන් මත චීන ඉදිකිරීම් සමාගමකට ලබා දී ඇත්තේ අති විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් ලංකාවේ ජනතාව දැවැන්ත ණය කරුවන් බවට පත් කරමිනි.

ඈත එපිට ගම් දනව්වල පමණක් නොව කොළඹ පිහිටි ආර්ථිකමය වශයෙන්  ඉතා විනා ඉඩම් බොහෝ ප‍්‍රමාණයක් මේ වන විට හෝටල් ඉදි කිරීම සඳහා ෂැන්ගිරිලා ඇතුළු සමාගම් ගණනාවකට ලබා දී තිබේ.

ජාතික භෞතික සැලැස්මට අනුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත නුවර-කොළඹ අධිවේගී මාර්ගය, දඹුල්ල අධිවේගි මාර්ගය, රත්නපුර අධිවේගී මාර්ගය, හම්බන්තොට අධිවේගී මාර්ගය හේතුවෙන් ලංකාවේ අති බහුතරයක් ජනතාව සංවර්ධන අනාථයන් බවට පත් කිරීමට වත්මන් රජය ජනතාවගේ නිදහස් ජීවන පැවැත්ම පවා අභියෝගයට ලක් කරමින් මේ වන විට පියවර ගෙන තිබේ. එපමණක් නොව රටේ සංවර්ධිත ජන දිවිය හා ස්වාභාවික සම්පත් අති බහුතරයක් වැනසීම ද මේ මඟින් සිදු කර ඇත.

මේ මහා පරිමාණ ඉඩම් හා සම්පත් කොල්ලයට අමතර ව කුඩා පරිමාණ බලහත්කාර් ඉඩම් කොල්ලයන්  වත්මන් රජයේ සියලූ මැති ඇමතිවරුන්් විසින් ඉතා ම නින්දිත ලෙස සිදු කෙරෙමින් පවතී. රජයේ ප‍්‍රබලයින් මහා පරිමාණයෙන් ඉඩම් හා ස්වාභාවික සම්පත් කොල්ලකද්දී රජයේ අවශේෂ මැති ඇමැති වරුන් කුඩා පරිමාණයෙන් මේ කි‍්‍රයා වල නිරත වේ.

රටේ පවතින ඉඩම් නීතී, පාරිසරික නීති පමණක් නොව ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් ඉඩම් කොල්ලකෑම හා මේ ඊනියා සංවර්ධනය සඳහා රටේ ස්වාභාවික සම්පත් විශාල ප‍්‍රමාණයක් විනාශ කිරීම වත්මන් රජය විසින් සිදු කරයි. ගොවි ජනතාව, ධීවර ජනතාව අනාථයන් බවට පත් කරමින් සිදු කරන මේ සංවර්ධනයේ බලාපොරොත්තු වන්නේ මහා පරිමාණ ආයෝජන තුළින් දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් කොමිස් මුදල් වශයෙන් රජයේ ප‍්‍රභල දේශපාලකයන් සතු කර ගැනීමට ය. රටේ කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කර්මාන්ත ක්ෂේත‍්‍රය නඟා සිටුවීම වෙනුවට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පමණක් හුදකලාව ක‍්‍රියාත්මක කිරීමෙන් රටේ සංවර්ධනය වෙනුවට අද වන විට සිදු වී ඇත්තේ ජනතාව ණය කරුවන් බවට පත් කිරීම පමණකි.

වත්මන් රජය විසින් මෙලෙස කොල්ලකන්නේ රටේ වර්තමාන හා අනාගත පරපුර සතු සම්පත් ය. සියලූ ජනතාව වෙනුවෙන් භාරගත් රටේ සම්පත් විනාශ කිරීමට රජයකට කිසිදු අයිතියක් නොමැත. ඔවුන්ට හැකියාව ඇත්තේ මේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් වත්මන් හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් භාවිතා කරමින් සංක්ෂණය කර වැඩි දියුණු කිරීම ය. එ් වෙනුවට වියරු වැටුණු මංකොල්කරුවන් සේ සියලූ අස්සක් මුල්ලක් නෑර පිහිටි සම්පත් සූරා කෑමට හා එ්වා තමන් සතු කර ගැනීමට වත්මන් රජය ක‍්‍රියා කරමින් සිටී. එ් සඳහා විධායක බලය, අධිකරණ බලය හා පාර්ලිමේන්තු වරප‍්‍රසාද යන සියල්ල ම භාවිතා කරති. මේ තත්ත්වය දිගින් දිගට ම සිදු කිරීමට ඉඩදිය යුතු නැත. එ් සඳහා බුද්ධිමත් තීරණයක් ගැනීමට රටේ සියලූ ජනතාව වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් තීරණය කළ යුතු කාලය එළඹ තිබේ.
                                             සජීව චාමිකර
                                                පරිසර සංරක්ෂණ භාරය


-MMP




2014-12-03
Advertisement

Find us on Facebook