English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සැලසුම් සහගත මේ විනාශයට වහාම ප‍්‍රතිිසංස්කරණයක් අවශ්‍යයි – චින්තක රාජපක්‍ෂ

"නිදහසින් පසු අඩුම මැදිහත්වීමක් සිදුකල, සැලසුම් සහගතනොවු වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කල, විශාල මානව හා භෞතික සම්පත් වලින් සපිරිව තිබු ක්ෂේත‍්‍රයක් ක‍්‍රමානුකූලව, සැලසුම් සහගතව විනාශය කරා ගෙන යමින් තිබෙන තත්ත්වයක් තමයි අද දකින්නට තිබෙන්නේ. මීට දශක තුනකට කලින් 50% දායකත්වයක් තිබු කෘෂි අංශය අද වන විට 9-10% අතර දායකත්වයක් ලබා දෙන තත්ත්වයට පත්වෙලා. මේකෙන්ම පේනවා මොකද්ද කෘෂිකර්මයට සිදුවෙමින් තිබෙන්නේ කියලා. කෘෂි ක්‍ෂේත‍්‍රයේ සැලසුම් සහගත මේ විනාශයට ව හාම ප‍්‍රතිිසංස්කරණයක් අවශ්‍යයි." යනුුවෙන් ප‍්‍රකාශ කළේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ මහතාය.

පහත දැක්වෙන්නේ "ප‍්‍රතිසංස්කරණ සමඟ වෙනසක්" දැකීමේ උත්සාහයක නියැලෙන වියරුවට ළුරෙහි සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ අයිතිය විසින් සිදුකරණ සංවාද මාලාවක එක් සංවාදයකි. අද සංවාදය ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ මහතා සමඟයි. 

කෘෂි ක්‍ෂේත‍්‍රය පිළිබඳව කථා කිරිමෙිදි ක්‍ෂණිකව හා කෙටියෙන් ඔබ දකින පිංතූරය කෙබඳදු ද ?
නිදහසින් පසු අඩුම මැදිහත්වීමක් සිදුකල, සැලසුම් සහගතනොවු වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කල, විශාල මානව හා භෞතික සම්පත් වලින් සපිරිව තිබු ක්ෂේත‍්‍රයක් ක‍්‍රමානුකූලව, සැලසුම් සහගතව විනාශය කරා ගෙන යමින් තිබෙන තත්ත්වයක් බවයි.

ශ‍්‍රි ලංකාව වැනි පුංචි, නමුත් පෙර සස්ශ‍්‍රීකව තිබු රටක් ඔබ කිවු එවැනි පිංතූරයක් දැකිය යුතු සහ ඒ ආකාරයෙන් ම ඉදිරියට යා යුතු රටක් ද ?

නැහැ, මෙය කිසිම හේතුවක් නිසාවෙන් සිදු විය නොයතු දෙයක්. අප බලමු එසේ නොවිය යුත්තේ ඇයිද කියා. ලංකාවේ ජනගහනයේ 78% ක්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වෙන්නෙ. ඔවුන්ගෙනුත් 70% ක් අනියමින් හෝ ඍජුවම කෘෂිකර්මයේ නියැලෙනවා. මේ අතරින් 30% ක ගේ ප‍්‍රධාන ජීවනෝපාය වන්නේ් ගොවිතැනයි. මොවුන්ගෙන් 90% ක් අක්කර 02 ට අඩු ඉඩම් හිමි සුළු ගොවීන් වේ. අපි දන්නවා    ලෝක මට්ටමින් ආහාර නිෂ්පාදනයේ ප‍්‍රධාන කොටස් කරුවෝ වන්නේ මේ සුළු පරිමාන නිෂ්පාදකයෝ බව. ලෝක මට්ටමින් ගත්තම 72%ක්ම නිෂ්පාදකයෝ ඔවුන්ය. මොවුන්ගේ දායකත්වය නිසාවෙන් තමයි මෙලෙස හෝ මේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙම නැතුව සමාගම් හෝ මහාපරිමාන නිෂ්පාදකයෝ නිසා නොවෙයි.

නමුත් සිදුවෙමින් තිබෙන්නේ මොකක්ද? රජය කටයුතු කරමින් සිටින්නේ කාගේ වුවමනාවන් වෙනුවෙන්ද? රජය සැළසුම් හදන්නේ කා වෙනුවෙන්ද? මේ ප‍්‍රශ්ණ ටික විග‍්‍රහ කරගත්තොත් අපිට දැන් තිබෙන අර්බුදය තේරුම් ගත හැකියි.

1977 දී  විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමත් එක්කම වේගයෙන් වෙනස් වූ ක්ෂේත‍්‍රයක් වූනේ කෘෂිකර්මයි. හැත්තෑව දශකයේ මුල වෙනතුරු රජය කෘෂිකර්මාන්තය සදහා ප‍්‍රමුඛ මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කලා. වී අලෙවි මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී ආයතන සෘජුවම ගොවියාගේ දියුණුව වෙනුවෙන් මැදිහත් වුනා. ගොවීන්ට අවශ්‍ය ණය පහසුකම්, තාක්ෂණික සේවාවන්, ව්‍යාප්ති සේවාවන්, මිලදී ගැනීම් ආදිය මේ ආයතනවලින් සොයා බලා හැකි තරම් ගොවිතැනට සමීපවෙන්න උත්සහා කලා. ගොවිතැන ආරක්ෂා කරන්න විවිධ වැඩසටහන් ගෙනාව.

ඒත් 1977 පස්සෙ මොකද වුනේ, රජයේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවන් අඩපන කිරීම හා සමාගම් වල උපදෙස් මත කෘෂිකාර්මික ක‍්‍රම සැලසුම් කිරීම, වගා ණය සදහා දෙනු ලැබු 75% ප‍්‍රති මුල්‍ය පහසුකම් ඉවත් කොට ණය අය කර ගැනීම සදහා ගොවීන් නඩු පැවරීම, පොහොර සහනාධාර කප්පාදු කිරීම, රජයේ බීජ ගොවිපලවල් වසා දැමීම හා පුද්ගලික අංශයට විකුණා දැමීම, ගොවි නිෂ්පාදන අලෙවිය සදහා රජයේ මැදිහත්වීම නතර කිරීම, පුද්ගලික වෙළදුන්ට ලබා දෙන රජයේ ණය පහසුකම් වැඩි කිරීම, වාර්ෂිකව අයවැය සකස් කිරීමේදී වෙන්කල ප‍්‍රතිපාදන ක‍්‍රමාණුකූලව කප්පාදු කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දෙන  ප‍්‍රතිපාදන අඩුකිරීම ආදී වශයෙන් වෙනස් වන්නට විය.

මේ සමස්ත ක‍්‍රියාකාරකම් එක්ක සිදුවුනේ තව දුරටත් කෘෂිකර්ම අංශය රටේ දළ දේශීය නිෂ්පාදනය සදහා ලබා දෙමින් තිබු දායකත්වය අවම වීමයි. මීට දශක තුනකට කලින් 50% දායකත්වයක් තිබු කෘෂි අංශය අද වන විට 9-10% අතර දායකත්වයක් ලබා දෙන තත්ත්වයට පත්වෙලා. මේකෙන්ම පේනවා මොකද්ද කෘෂිකර්මයට සිදුවෙමින් තිබෙන්නේ කියලා.

අපි දන්නව බලයට පත් වුනු මුල් යුගයේ දේශපාලකයන්ට යම් අදහසක් හා වැඩපිලිවෙලක් තිබුනා ගොවිතැන රැකගත යුත්තේ ඇයිද කියල. නමුත් අද ඉන්න අයට තියෙන සැලසුම් මොනවාද? එකම අමාත්‍යාංශය කෑලි හය හතකට කඩල. ඒ නිසා ඒවායේ ඉන්න අය දන්නේ නෑ තමන්ගේ අමාත්‍යාංශයෙන් වෙන්න  ඕනි මොනවද කියල. ඒවා තුල කිසිදු සැලැස්මක් නැහැ. සම්බන්ධීකරණයක් නැහැ. දැන් ඉන්න අය දන්නේ අපි මහින්ද චින්තනය අනුව කටයුතු කරමින් ඉන්නව කියලා කියන්න විතරයි. අපි පෙරලා ඔවුන්ගේ ඇහුවොත් ඉදිරි වසර 05 තුල මේ රටේ තමන්ගේ ක්ෂේත‍්‍රයට අදාලව තියෙන දීර්ඝ කාලීන සැලසුම් මොනවාද කියලා. ඔවුන්  කියන්නේ අපි මහින්ද චින්තන වැඩපිලිවෙල ශක්තිමත් කරමින් ඉන්නව කියලා තමයි. මොකද සමහර ඇමති වරු වසරකට දෙතුන් පාරකට වැඩිය ආමාත්‍යාංශවලට ගිහින් නැහැ. ඒවා බාර දීල තියෙන්නේ ඒ විෂයන් පිළිබද ප‍්‍රවීනයන්ට නොවේ. ගොඩක් අය සාමාන්‍ය පෙලටවත් කෘෂිකර්ම විෂය හදාරපු අය නොවේ. ඉතින්  ඕක තමයි අපේ රටේ තත්ත්වේ.

මේක සම්පූර්ණ වගකීම දේශපාලකයන්ට විතරක් දාන්නත් බැහැ. දැන් බලන්න, මේවායේ ඉන්න නිළධාරින්ගේ මැදිහත්විම මොකද්ද කියලා. ඔවුන් කාවෙනුවෙන් ද වැඩ කරමින් ඉන්නේ කියලා. ගොඩක් අය වැඩකරන්නේ මේ රටේ සාමාන්‍ය ගොවියා වෙනුවෙන් නෙමෙයි.  ටිකක් කල්පනා කරල බලන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ වෙන කොට අවුරුදු සියයකට වැඩිය. මොනවද ඔවුන් අපට ඉතිරි කරලා තියෙන්නේ? කාටහරි කියන්න පුලූවන් මේතරමින් හෝ ආහාර නිෂ්පාදනය රැකගත්තේ ඔවුන්ගේ දායකත්වයෙන් කියලා. එය එසේ නම් දැන් ඇති වී තිබෙන මහා ව්‍යායසංනයන්ට උත්තරයක් ඔවුන් දිය යුතුව තිබෙනවා. සොබාදහමට සිදුව ඇති බලපෑම්, දේශගුණික විපර්යාස, බරපතල රෝගාබාධ ව්‍යාප්තිය, ආර්ථිකයට සිදුව ඇති පාඩූවලට උත්තරයන් සෙවිය යුතු වෙනවා. අලූත් පර්යේෂණ කරලා මේ ගොවිතැන රැුකගත යුතු වෙනවා. ඒත් කනගාටුව තමයි බොහෝ පර්යේෂකයෝ හොයන්නේ මේ ගොවිතැන විකල්පයක් කරා ගෙන යන්න බැහැයි කියන එක තහවුරු කරන්න මිස, එයින් ගොඩ යන්න නෙමෙයි. ඒකෙන් පේනව බහුතරයක් අය පෙනීසිටින්නේ සමාගම් වෙනුවෙන් කියලා.

එසේනමි ඔබ කියන මේ තත්ත්වය වෙනස් විය යුතු යැයි ඔබ අදහස් කරනවාද ?
 

ඔවි ! නියත වශයෙන්ම, ඉතා පැහැදිලිව මෙම තත්ත්වය වෙනස් විය යුතුයි. එය වෙනස් විය යුත්තේ ප‍්‍රතිසංස්කරණයක් තුලින් බවයි අපේ අරමුණ. මෙය හුදෙක් දේශපාලන පොරොන්දු වලින් එහාට ගිය දීර්ඝ කාලීන ප‍්‍රතිපත්ති මත පදනම් වූ වෙනසක් විය යුතුයි. එය මා කලින් සදහන් කල නිෂ්පාදකයින් ආරක්ෂා කරන, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරන, මේ රටේ බහුතරයක් පීඩිත කොට්ධාශයන්ට සෙත සැලසෙන ක‍්‍රියාවලියක්  විය යුතුයි.

ඔයකියන වෙනස නැතිනමි ප‍්‍රතිසංස්කරණය කෘෂි ක්‍ෂේත‍්‍රය තුළ කෙසේ කළ හැකි ද ?
 

මේ වෙනස ඇති කිරීම එතරම් අපහසු නැහැ. අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති මත ගමන් කරන රාජ්‍ය පාලන ක‍්‍රමයක් ස්ථාපිත කර ගැනීමයි. දැන් තියෙන්නේ හුදෙක් තමන්ගේ පාලනය ආරක්ෂා කරන එවුන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩු. මේ ආණ්ඩු කා වෙනුවෙන්ද වැඩකරන්නේ? මොවුන් බලයට ගෙන එන සමාගම්, මූල්‍ය ආයතන හා විදේශිය රටවල්වල වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සදහා ප‍්‍රමුඛතාවය ලබා දීම තමයි කරමින් ඉන්නේ. පසුගිය දශක දෙකක් තුල මේ රටේ කරන්නට සැලසුම් කල දේවල් පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කල සංවිධානයක් ලෙස අපට මේ සදහා  ඕනෑතරම් උදාහරණ දිය හැකිය. ජලයේ අයිතිය සොබාදහමෙන් උදුරා ගෙන සමාගම් වෙත පැවරීම පසුගිය වසර 20 පුරාවට අඛණ්ඩව සිදු කරමින් තිබෙන කටයුත්තක්. ඉඩම් කොල්ලය ලංකාව පුරාම සිදුවෙමින් තියෙනවා, නව බීජ පනත් ගෙනඒමට කටයුතු කරමින් තිබෙනවා, මේවා පිටිපස්සේ ඉන්නේ මහා පරිමාන සමාගම්. ගෝලීය මටිටමින් සිදුකරන ආර්ථික සැලස්ම ලංකාවේත් කරවා ගැනීමට ගන්නා උත්සහායන් විදිහටයි අපි මේ ක‍්‍රියාකාරකම් දකින්නෙ.

අපි පැහැදිලිව යෝජනා කරන කෘෂිකාර්මික ප‍්‍රතිසංස්කරණ යෝජනාවන්හි මූලික අරමුණු තුනක් මතගොඩනගා ගෙන තියෙනවා. මේ අරමුණු දිනා ගැනීම වෙනුවෙන් තමයි ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ,
01.  සුළු පරිමාණ ගොවීන්ගේ, ධීවරයින්ගේ හා අනෙකුත් ආහාර නිෂ්පාදකයින්ගේ     ජීවනමාර්ගයන් හී සුරක්ෂිතභාවය හා තිරසාරභාවය ආරක්ෂා කිරිම සදහා     සම්පත්වල හා වෙළදපොල අයිතිය ඔවුනට තහවුරු කිරිම.
02.  රටේ සියලූ ජනතාවට ප‍්‍රමාණවත්, පෝෂ්‍යදායි, ආරක්ෂාකාරී සහ සංස්කෘතීන්ට     ගැළපෙන ආහාර  සුලභ කිරීමට හා ඒවා  දැරිය හැකි මිලකට ලැබීමේ අයිතිය     තහවුරු කිරීම.
03.  පරිසර පද්ධතීන්ගේ තිරසර පැවැත්ම හා ඒවායේ ප‍්‍රතිඋත්පාදන ශක්තිය නැවත     ගොඩනැංවීමේ ක‍්‍රියාදාමයක් බවට ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය පත්විය යුතු ය.  එයට ගැලපෙන පරිදි සංවර්ධන ප‍්‍රවේශය සකස් කිරීම හා ධීවර කර්මාන්තයට හා     කෘෂිකර්මාන්තයට අදාල සියලූ ප‍්‍රතිපත්ති හා නීති සංශෝධනය කිරීම.

මේ සඳහා ඔබ සහ ඔබ සංවිධානයේ දායකත්වය කෙබඳුද ?

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිංස්කරණ ව්‍යාපාරය ලෙස අප පසුගිය වසර 25 කාලය තුල මේ විවිධාකාර අර්බුදයන් වෙනුවෙන් පෙනී සිටිය සංවිධානයක්. අපට සැබෑ වුවමනාවක් තියෙනවා මේ ගොවිතැන් ක‍්‍රමය වෙනස් කර ගන්න. ගොවිතැන් ක‍්‍රමය වෙනස් කර ගැනීමත් ගොවිතැන හා බැදී තිබෙන අයිතීන් ආරක්ෂා කර ගැනිමත් එක ලෙසම කල යුතුව වෙනවා. විශේෂනේ අපගේ සංවිධානයට නායකත්වය සැපයූ සරත් ප‍්‍රනාන්දු මහතා මේ සටන ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ගෙන යාමට තම ජීවිත කාලය කැප කලා. ඔහු අපිට මාර්ගයක් පෙන්වා දී තිබෙනවා. අපට විශාල දැක්මක් හා දර්ශනයක් ගොඩනගා තියෙනවා. මේ දැක්ම දේශපාලනික දැක්මක්. ඒ නිසා අපි ප‍්‍රායෝගික වෙනසක් මෙන්ම සමාජ වෙනසකුත් බලාපොරොත්තු වෙනවා. එය හුදෙක් ආණ්ඩු මාරු කිරීමෙන් එහා ගිය එකක් යුතුමයි. ඒ සදහා අප වැඩපිලිවෙලක් ගොඩනගා ගෙන යනවා. එය අපට තනියෙන් කරන්න බැහැ. ඒ නිසා අපි සියලූ දෙනා ඒකාබද්ධව කටයුතු කල යුතු වෙනවා. අප  ඕනෑම අවස්ථාවක සුදානම් සාමුහික ප‍්‍රයත්නයක් වෙනුවෙන් කටයුතු කරන්න. කෘෂිකර්මාන්ත විතරක් ගැන හිතලා කටයුතු කරන්න බැහැ. අපි පුලූල්ව ධිවර, වතුකරයේ ජීවත්වන ජනතාව, උතුරු නැගෙනහිර පීඩාවට පත් ජනතාව, කම්කරුවන්, ශිෂ්‍යයන්, කාන්තාවන්, ළමුන් ආදී නොයෙක් ක්ෂේත‍්‍රයන්ට අදාලව අද වන විට පැන නැගී ඇති අර්බුදයන් විසදා ගැනීමට අපි ඉදිරිපත් විය යුතුයි.

ඒ සදහා අපි දැන් පොදු ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් ගොඩනගා ගනිමින් සිටින්නේ. එය පුලූල්ව ජනතාව අතරට ගෙනයාමටත් ඒ සදහා අවශ්‍ය මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදීි අයිතීන් දිනා ගැනීමටත් අප එකතුවෙමින් සිටිනවා. මූලිකව මේ සදහා කටයුතු කිරීමට නිදහස් අවකාශයක් ඉඩ නිර්මාණය කරගත යුතුයි. ඉන් අනතුරුව තම තමන් වැඩකරන ක්ෂේත‍්‍රයට අදාල ඉල්ලීම් දිනා ගැනීමට ජනතාව සංවිධාන ගත කිරීමටත්, ඔවුන් සමග සිටිමින් බලපෑම් කිරීමටත් කටයුතු කල යුතුයි.

වඩා යහපත් සමාජයක් ගොඩනැගිය යුතුය. එය කළ හැකිය කියා අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්න අප සංවිධානයක් ලෙස  ඕනෑම අභියෝගයකට මුුහුණ දීමට පන්නරය ලබමින් සිටිනවා. 


                                                               චින්තක රාජපක්‍ෂ

සංවාදය හා ඡායාරූපය  -  මෙලනි මානෙල් පෙරේරා



2014-11-28
Advertisement

Find us on Facebook