English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කළුතර කැලිඩෝ වෙරළේ කැස්බෑ සංහාරයක්

කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට සිදුකෙරෙන මෙම කැස්බෑ සංහාරය පාලනය කිරීම සඳහා කිසිවකුත් මේ දක්වා උනන්දුවී නොමැතිබව අපගේ වැටහීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවක් මහජන මුදලින් යැපෙන රටක මෙසේ ජාතික සම්පත් වැනසී යමින් තිබියදී අදාල බළධාරීන් නිද්‍රා සහගතව පසුවීම අවාසනාවකි. විශේෂයෙන් මෙම ප‍්‍රදේශයේ සිදුවන කැස්බෑ සංහාරයට පොලීසියේ හා ඇතැම් ආරක්ෂක අංශවලද රැකවරණය ලැබෙන බව ප‍්‍රදේශයේ ජනතාව අතර මතයක් ඇත.

එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම ජාවාරම්කරුවන් කිසිඳු බියකින් හා සැකයකින් තොරව මෙම සත්ව ඝාතන සිදුකිරීමට තරම් නිර්භීත වීමට හේතුවී ඇත්තේ එම තත්වය විය හැකි බව ද උපකල්පනය කල හැක. ප‍්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටල් වලින් මස් හා කැස්බෑ බිත්තර සඳහා ඇති දැඩි ඉල්ලූම නිසා මෙම අපරාධය ජාවාරම්කරුවන්ට ඉතා පහසු ධනෝපායන මාර්ගයක් බවටද පත්වී ඇත.


විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දකුණු දිග වෙරළේ ස්ථාන කිහිපයක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පවුද්ගලික මැදිහත්වීමෙන් සිදුකරගෙන යන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් පැවතුනද ඒ හැර දිවයින වටා බොහෝ වෙරළ වෙත බිජු දැමීම සඳහා පැමිණෙන කැස්බෑවන්ගේ ඉරණම ඉතාමත් ඛේදනීය එකක් බව අවධාරණය කල යුතුය. මේ වනවිට කළුතර කැලිඩෝ වෙරළේ සිදුවන කැස්බෑ සංහාරය ද එවැන්නකි.

මීට වසර මිලියන 100 කට පමණ පෙර මිහිමත බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන කැස්බෑවන් මේ දක්වාම ඉතා සුළු වෙනස්කම් වලට භාජනය වෙමින් අඛණ්ඩව මිහි මත තම පැවැත්ම තහවුරු කරගැනීම ට තරම් සාර්ථක සත්ව කණ්ඩයක් බවට පත්ව ඇත. නමුත් දැනට මිහිමත වෙසෙන්නේ විශේෂ අටකට අයත් කැස්බෑවන් පමණක් වන අතර එයින් විශේෂ පහක් ශ‍්‍රී ලංකාවේ වෙරළට බිත්තර දැමීම සඳහා පැමිණීම විශේෂ කරුණකි. එනම් දාර කැස්බෑවා, පොතු කැස්බෑවා, ඔළු ගෙඩි කැස්බෑවා, ගල් කැස්බෑවා, හා බටු කැස්බෑවා වශයෙනි.

මෙම කැස්බෑවුන්ගේ විශේෂ චර්යාවක් වනුයේ එම සතුන් උපත ලබන වෙරළ වෙතම පෙරලා බිත්තර දැමීමට පැමිණීමය. යම්කිසි වෙරළක උපත ලබා සාගරය වෙත නික්මයන පිරිමි කැස්බෑවුන් යලිත් කිසිදු අවස්ථාවක ගොඩබිම් වෙත පැමිණෙන බවක් වාර්තා වී නොමැත. නමුත් කැස්බෑවියන් තම වර්ගයා බෝකිරීම සඳහා බිත්තර දැමීමට තමන් ඉපදී සාගරය වෙත නික්ම ගිය වෙරළ වෙතම කිලෝමීටර දහස් ගණනක් ගෙවා යලිපැමිණීම සත්ව ලෝකයේ දැකියහැකි ඉතා විශ්මිත හැසිරීම් රටාවකි. නමුත් එසේ පැමිණෙන කැස්බෑවන් දිගින් දිගටම ඝාතනය කිරීම නිසා මෙන්ම බිත්තර පැහැරගැනීම නිසා එන්න එන්නම ශ‍්‍රී ලංකාවේ වෙරළවෙත පැමිණෙන කැස්බෑවන් ප‍්‍රමාණය පහල යමින් පවතී. බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී කිසිඳු කැස්බෑවියක බිත්තර දැමීම සඳහා මෙරට මුහුදු වෙරළ වෙත නොපැමිණීමට ඉඩ ඇත.


එමගින් ඒ ඔස්සේ සංචාරක කර්මාන්තයේ යෙදෙන හා සංරක්ෂණ ව්‍යාපෘති මගින් තම ජීවිකාව සරිකරගන්නා පුද්ගලයින් රැුසකට ආර්ථික බලපෑම් ඇතිවේ. එසේම අතීතයේ සිටම ආගන්තුක සත්කාරයට නමක් දරාසිටින ශ‍්‍රී ලාංකීය අප, දුරකතර ගෙවාගෙන මවු පදවිය ලැබීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන මෙම අසරණ උරග විශේෂයට දක්වන අති අමානුෂික හා මිලේච්ඡ ආගන්තුක සත්කාරය විසින් අපගේ වනජීවී සංරක්ෂණයේ දිග පළල ද ලෝකයා හමුවේ විදහාපාන බව අපගේ විශ්වාසයයි.

එබැවින් මේ පිළිබඳව සක‍්‍රීය ලෙස මැදිහත්ව අසරණ කැස්බෑ සම්පත ආරක්ෂාකර ගැනීම සඳහා පියවර ගැනීම සියලූ දෙනාගේම යුතුකම හා වගකීම බව අවධාරණය කරමු.

    සුපුන් ළහිරු ප‍්‍රකාශ්
   ශ‍්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
-MMP



2014-11-25
Advertisement

Find us on Facebook