English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඓතිහාසික හැර යාමක් සහ දේශපාලනික අකුණක්

 සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතල ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවැනි හැරයාම් ආගන්තුක නැත. මේ පක්ෂය බිහි වුණේම, නිදහසෙන් පසු ලංකාවේ බිහි වූ ප‍්‍රථම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පලාත් පාලන සහ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරමින් සිටි එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක එම ආණ්ඩුවෙන් එළියට ඒම තුළිනි. එහෙත් දේශපාලනික අතෘප්තියේ සහ වෙනත් අපේක්ෂාවන්ගේ පුද්ගල ප‍්‍රකාශනයක් වූ එම වෙන්වීම, එදා පැවති ඩි. ඇස්. සේනානායක ආණ්ඩුවට ක්ෂණික අවැඩක් සිදු කෙළේ නැත. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමෙන් පසු අළුතෙන් පිහිටුවා ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 පැවති මැතිවරණයෙන් එතරම් සාර්ථකත්වයක් නොලැබූ අතර එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයෙන් නැවත වතාවක් මහා ජයග‍්‍රහණයක් ද අත්කර ගත්තේය. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේනගේ හැර යාම, විධායක ජනාධිපති ක‍්‍රමයේ මිනීවළ හෑරීමට සමත් ශක්‍යතාවෙන් යුත් මහා දේශපාලනික අකුණකි. රාජපක්ෂ සහෝදරත්වයට අනූනව අවුරුදු බද්දකට සින්න වීමට තිබූ අවස්ථාවෙන් ගැලවීමට අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට ඔහුගෙන් සැපයී ඇත.

ටී. බී. සුබසිංහ, පී. එච්. විලියම් සිල්වා සහ ලක්ෂ්මන් රාජපක්ෂ ලංකා සමසමාජ පක්ෂයෙන් කැඞී වෙන් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම නිසා 1953 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාසනාවත්, සංඛ්‍යා බලයත් ඉහළ ගියේය. එසේ පැමිණි සියල්ලෝම අනාගත බණ්ඩාරනායක ආණ්ඩුවේ ප‍්‍රධාන පෙළේ කැබිනට් ඇමතිවරු වන්නාහ. මෙවැනි පක්ෂය හැර යාම් සහ වෙනත් පක්ෂවලට එකතු වීම් වු කලී, එදා පැවති විවෘත වාද විවාද සහ ප‍්‍රජාතන්ත‍්‍රීය මතවාදවල වෙනස්කම් ඔස්සේ සිදුවූවා මිස අද මෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ද තබා ගන්නා අතරේ සන්ධාන ආණ්ඩුවේ කැබිනට් තනතුරු භුක්ති විඳින අවස්ථාවාදී පිරිස්වල වර්තමාන දුරාචාරයට මොන විදිහකින්වත් සම වුණේ නැත. එවැනි අවාසනාවන්ත තත්වයක් අද ඇති වී තිබෙන්නේ, මහින්ද රාජපක්ෂගේ විධායක දොළ පිදේනිවලට සහ හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ අපබ‍්‍රංශ අධිකරණ තීන්දුවලට පිංසිදු වන්නට ය. ඒ තකතිරු තත්වය සදහටම ඉවරයක් කර දැමීමේ අවස්ථාව, මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේනගේ වෙන් වීමෙන් දැන් සැපයී තිබේ. අවජාතක තුන්වැනි වාරයක් ඉල්ලා, කල් පිරීමටත් මත්තෙන්ම ජනාධිපතිවරණයක් කැඳවීම නිසා අද කැඞී යාමේ තර්ජනයට මුහුණදී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයමයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යාමට දැන් ඇති අවදානම, මීට පෙර වතාවකදී ප‍්‍රධාන පෙළේ පිරිසක් එම පක්ෂයෙන් කැඞී ගිය අවස්ථාවට වඩා වෙනස් ය. එදා 1964 දී සී. පී. ද සිල්වා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු 14 දෙනෙකු එම පක්ෂය අතහැර ගියේය. ඒ හේතුවෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ-ලංකා සමසමාජ පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ එදා පරාජයට පත්විය. ඉන් පසු පැමිණි 1965 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කෙළේ ඩඞ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂයයි. අද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්මයෙකු සේ තරගයෙන් ඉවත් වීම තුළ මෛත‍්‍රිපාල සිරිසේන අකුණු සැරක් සේ පොදු අපේක්ෂකයා බවට පත්ව ඇත. ඒ සඳහා ඔහුට මහත් ආශීර්වාදයක් වී ඇත්තේ, ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව යටතේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති පදවියට පත්වූවා වූද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් හොර උරුමක්කාරයන්ට එරෙහි කැරලි කණ්ඩායමේ කුලමාතාව වන්නා වූද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයි. එසේම, පරදුවට තැබෙන දේශපාලනික ඔට්ටු ද, 1964 දී තිබුණාට වඩා බෙහෙවින් භාරදූර ය. බරපතල ය. ජනාධිපතිවරයා වෙනුවෙන් කලට වේලාවටත් කලින් සහයෝගය දැක්වූ පැරණි වමද දැන් අහසින් කඩාපාත් වූ මෛත‍්‍රිපාල සිරිසේනගේ මේ හෙනයෙන් තක්බීරි වී ඇත. මේ තත්වය තුළ, විමල් වීරවංශ වැනි අපතයන් සමග සහවාසයකට, තිස්ස විතාරණ වැන්නෙකු ද ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශනය තුළ කරගසා සිටීම කණගාටුව දනවන්නකි.

මෛත‍්‍රීපාල සිරිසේන පක්ෂය හැර යාම සහ ඔහුව පොදු අපෙක්ෂකයා වශයෙන් තෝරා ගැනීම, සෑහෙන කාලයක් තිස්සේ ඒ මේ අත වැනෙමින් තිබූ පොදු උභතෝකෝටිකය සම්බන්ධයෙන් ගත් විට, කෙනෙකු බලාපොරොත්තු නොවූ තරමේ ඉදිරි පිම්මකි. පසුගිය කාලය තිස්සේම, විපක්ෂයේ ව්‍යාකූලත්වය තීව‍්‍ර කිරීම සඳහා ආණ්ඩුව තමන්ට කළ හැකි හැම දෙයක්ම කෙළේය. එම අවුලෙන් ගොඩ ඒම සඳහා චන්ද්‍රිකා කුමාරණතුංග සහ රනිල් වික‍්‍රමසිංහ කළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ යුතුය. රට අද පත්ව ඇති වියවුලට, ඔවුන් දෙන්නා වෙන් වෙන් වශයෙනුත්, සාමූහිකව වශයෙනුත් සම්මාදම් වී ඇතත්, ජනාධිපති රාජපක්ෂට එරෙහිව මෛත‍්‍රීපාල සිරිසේනව මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම, ඔවුන් දෙන්නාගේම දේශපාලනික ශේෂ පත‍්‍රවලට විශාල සාධනීය අගයක් එකතු කළ කාරණයකි. මහින්ද රාජපක්ෂට එරෙහිව නැගී සිටීමට දෙවැනි වරටත් රනිල් වික‍්‍රමසිංහ අපොහොසත් වීම ගැන කෙනෙකුට සිනාසෙන්නට පුලූවන. එහෙත් මෙවර විපක්ෂයේ පොදු අපෙක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේනට ඉඩ හැරීමෙන් රනිල් වික‍්‍රමසිංහ තමාගේ උදාරත්වය පෙන්නුම් කොට ඇත. ඉදිරියේ දී එළැඹෙන මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම ඔහු තම පක්ෂ යාන්ත‍්‍රණයේ සහ පාක්ෂිකයන්ගේ පූර්ණ ශක්තිය පොදු අපේක්ෂකයා වෙනුවෙන් මෙහෙවන ප‍්‍රබල බලයක් වනු ඇතැ යි අපට සිතිය හැකිය.

ජනාධිපතිනියක වශයෙන් චන්ද්‍රිකා කුමාරණතුංගගේ මොන සීමාකම් ගැන කෙනෙකු කතා කළත් 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය අවසානයකට ළගා කර දුන්නේ ඇය බව කෙනෙකුට අමතක කළ නොහැක. එයින් විසි වසරක් ගිය පසු නැවත වතාවක් ඇය පැමිණ සිටින්නේ, තමන් සදාතනික යැයි සිතා සිටින තවත් පාලන තන්ත‍්‍රයක් අවසානයක් කර දැමීමට ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාගේ මෙන්ම රාජපක්ෂලාගේ ද පක්ෂය වන බව, වාම හමක් පොරවාගත් රාජපක්ෂවාදියෙක් පසු ගිය දා විලිලැජ්ජා නැතිව ලීවේය. දැන් මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් කණ්ඩායමකට නායකත්වය දෙමින්, ජනතා ආරක්ෂකයාගේ භූමිකාවට උරදී තිබීම තුළ, පවුලේ පක්ෂයක් වශයෙන් ගෑවී තිබෙන නරක නාමය ඉවත් කිරීමට අවස්ථාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලැබී තිබේ. ඒ නව පරිවර්තනයේ වින්නඹුව වීමට චන්ද්‍රිකා තරම් සුදුස්සෙකු තවත් නැත.

තවම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළා පමණි. ජනවාරි 8 වැනි දාට පෙර ගමන් කිරීමට තව දීර්ඝ දුරක් තිබේ. සහසුද්දෙන් කිසිවක් කීමට පුලූවන් කමක් කිසිවෙකුට නැත. මැතිවරණයට පෙර, යහපත අයහපත මෙන්ම අති දුෂ්ටත්වය ද කරලියට එනු ඇත. විපක්ෂය මොන තරම් යහතින් දේශපාලනය කළත් ආණ්ඩුව හැම දහංගැටයක්ම ගසනු ඇත. මේ දිරාපත් වූ පාලන තන්ත‍්‍රය හැම අකටයුත්තක්ම කරනු නියති. ඒ තරමට, නැති වීමට බොහෝ දේවල් ඔවුන්ට තිබේ. රාජපක්ෂලාගේ මැතිවරණ සංග‍්‍රාම කාර්යාලයෙන්, සංවිධානගත ප‍්‍රචණ්ඩත්වය, විපක්ෂ කණ්ඩායම් බිය වැද්දීම, රාජ්‍ය සම්පත් අයථා ලෙස පාවිච්චි කිරීම, ජාතිවාදී වෛරය වැපිරීම සහ තවත් බොහෝ දේවල් මුදාහැරෙනු ඇත.

රාජ්‍යයේ ඒ යෝධ බලහත්කාරය ඉදිරියේ විපක්ෂ බලවේගවලට ඇත්තේ, සාධාරණ සහ සදාචාරමය අරමුණකි. ගිය සතියේ මෛතී‍්‍රපාල සිරිසේන ඇතුළු පිරිසේ ආගමනය විසින් ඇති කරන ලද උද්යෝගය සහ උද්දාමය දැන් විපක්ෂයට තිබේ. 2010 සිටි සරත් ෆොන්සේකාට වඩා, මෙවර ඉදිරිපත්ව සිටින මෛත‍්‍රීපාල සිරිසේන, පන්නරයක් සහිත පළපුරුදු දේශපාලන නායකයෙකි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් සිටීම නිසා අත්කර ගත් සංවිධානමය ශක්තියක්ද ඔහුට තිබේ. ඊටත් අමතරව, රජරට ප‍්‍රදේශයේ බිම් මට්ටමේ බලගතු ජනතා බලයක්ද තිබේ. එසේම, විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම පමණක් නොව, විපක්ෂයේ ‘එකම පොදු අපේක්ෂකයා’ වීමත්, ඔහුගේ වාසියට සිටින කාරණයකි. වෙනත් විපක්ෂයේ පක්ෂ, මේ අවස්ථාවේ පරදුවට තැබෙන ඔට්ටුව ගැන අවබෝධයෙන් සිටිය යුතුය. එනිසා, හුදෙක් තරගය සඳහාම තවත් අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමට වගබලාගත යුතු අතර, එසේ තවත් අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් එය මහින්ද රාජපක්ෂගේ වාසියටම සිටින බවත් තේරුම්ගත යුතුය. එනිසා මෙය අපි ද්වන්ද සටනක් බවට පත්කරමු. එහිදී තීරණයක් ගැනීම ජනතාවට භාර කරමු. දැන් අප ඉදිරියේ ගැලවීමේ මගක් නිරාවරණය වී තිබේ.

රාජන් පිලිප්ස්

*2014 නොවැම්බර් 22 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ A Historical Defection & A political Thunderbolt නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.
-MMP



2014-11-25
Advertisement

Find us on Facebook