English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ පිස්සුවට තවත් වාරයක්?

මේ වසරේ විශ්ව විද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවක් අඩි හතක් උස තාප්පයකින් වැටී කොඳු ඇට පෙළ තුවාල කරගත්තාය. ඒ, විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නන් සඳහා හමුදා කඳවුරක් තුළ පවත්වන ‘නායකත්ව පුහුණු වැඩසටහනට’ සහභාගී වෙමින් සිටියදී ය.

එම තාප්පයේ උස අඩි හයක් පමණකියි හමුදා ප්‍රකාශකවරයා කියයි. අපි එය විශ්වාස කරමු.

අඩි හයක් උස තාප්පයකින් පනින්ට පුරුදු කිරීම මොන ආකාරයේ ‘නායකත්ව පුහුණුවක්ද’? සන්නද්ධ මංකොල්ලයක් සඳහා පුහුණු කිරීමක්? කෙනෙකු පැහැරගෙන යාමක් සඳහා පුහුණු කිරීමක්? චිත්‍රපටියක ත්‍රාසජනක ජවනිකාවක් සඳහා පුහුණු කිරීමක්? නීතිගරුක සාමාන්‍ය සිවිල් දිවි පැවැත්ම තුළ මෙලෝ අරුතක් නැති මෙවැනි අභ්‍යාසයක් සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව බලහත්කාරයෙන් සහභාගී කරවා ගැනීම පසුපස ඇති තර්කය කුමක්ද?

‘නායකත්වය පුහුණු වැඩපිළිවෙල’ රාජපක්ෂ චින්තනය සහ රාජපක්ෂ ආණ්ඩුකරණය මේ යැයි කියාපාන පරිපූර්ණ සංකේතයකට සමාන ය. මෙය ශිෂ්‍යන්ට අවශ්‍ය නැති පුහුණුවකි. කිසිවෙකුට යහපතක් නැති පුහුණුවකි. කොටින්ම, විකාරයකි. එය ආරම්භ කිරීමේ දී කියන ලද කිසිවක් ඒ මගින් සාක්ෂාත් කරගෙන නැත. පිළිකුල් කටයුතු නවක වදය තවමත් ක්‍රියාත්මක වෙයි. එකම වෙනසකට ඇත්තේ, ඉස්සර මෙන් නොව, දැන් අළුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙවරක්ම නවක වදයට පාත්‍ර වීමයි. වරක් හමුදාවෙනි. දෙවැනුව, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙනි. (අනාගතයේදී නවක වදය දීමට සිටින අයවළුන්ගේ පරපීඩාකාමී මනෝමය පරාසය මේ හමුදා පුහුණුව හරහා තවත් පෘථුල විය හැකිය. ඒ, ඊළඟට විශ්ව විද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව, වඩාත් පහත් අන්දමින් සහ තිරශ්චීන අන්දමින් නවක වදයට භාජනය කළ හැකි ආකාරයන් කියා දීමෙනි).

කොටින්ම ‘නායකත්වය පුහුණු වැඩ සටහන’ වනාහී සියල්ලන්ගේම කාලයත් මුදලූත් කාබාසිනියා කිරීමකි.

එහෙත් එය නතර කර දැමිය නොහැක. මන්ද යත්, එය ගෝඨාභය රාජපක්ෂගේ හුරතල් ව්‍යාපෘතියක් වන බැවිනි. එය නතර කරනු ලැබුවොත්, රාජපක්ෂලාටත් වැරදි සිදුවිය හැකි බවට මතයක් ජනතාව අතර ඇති විය හැකිය. එසේ වීම, රාජපක්ෂලාගේ එක් ආප්තයක් උල්ලංඝණය වීමකි: රාජපක්ෂලා වනාහී, වැරදිලාවත් වැරදි සිදුවිය හැකි පිරිසක් නම් නොවේ.

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වුවහොත්, එම අනාගත ශ්‍රී ලංකාවේ හැඩය පිළිබඳ අනතුරු ඇඟවීමක් ද, මේ ‘නායකත්වය පුහුණු වැඩ සටහන’ හරහා අපට සැපයේ.

මහින්ද යනු, හුදෙක් මහින්ද පමණක්ම නොවේ. මහින්ද යනු, බැසිල් ය. ගෝඨාභය ය. නාමල් සහ ශෂීන්ද්‍ර ය. සහෝදර සහෝදරියන් ය. බෑනලා ය. නෑනලා සහ මස්සිනාලා ය. එසේම, තවත් අනේක අන්තේවාසිකයන් ය. එසේම, ඒ මහින්ද තුළ, සජින් වාස් ගුණවර්ධනලා සිටිති. සම්පත් චන්ද්‍රගුප්තලා සිටිති. දුමින්ද සිල්වලා සහ මර්වින් සිල්වලා සිටිති. (ඔවුන්ගේ දරුවෝ ද සිටිති). ගලගොඩඅත්තේ ඥානසාරලා සිටිති. මේ කියන අයවළුන් නැතිව රාජපක්ෂලාට රටේ පාලනය ගෙන යා නොහැක.

අපට අවශ්‍ය කරන අනාගතය එය ද?

මහින්ද රාජපක්ෂ විසින් කොටි සංවිධානය පරදවන ලදි. එය කෙළේ ඔහු තනියෙන් නොවේ. එය පැත්තක තිබිච්චාවේ. කොටින් පරාජය කිරීම, තුන්වැනි වාරයකටත් මහින්දට වරම් දීමට හේතුවක්ද? විශේෂයෙන් ඔහු සහ ඔහුගේ සහෝදරයන් දෙවැනි වාරයේ ලද බලතලවලින් කළ දේවල් ද හොඳින්ම දැනගෙනත්?

මහින්ද රාජපක්ෂ ජාතික වීරයෙකු වශයෙන් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කළාට කමක් නැත. ඔහුගේ මානෝන්මාදය සතපන තවත් අවශ්‍ය තරම් තාන්නමාන්න දුන්නාට කමක් නැත. ඔහු වෙනුවෙන් පිළිරූ තැනුවාට කමක් නැත. ඔහුගේ උපන්දිනය ජාතික නිවාඩු දිනයක් කළාට කමක් නැත. අවුරුදු පතා ඔහුගේ නාමයට ගෞරව දක්වමින් හමුදා ආචාර පැවැත්තුවට කම් නැත. එහෙත් තුන්වැනි වාරයක් ඔහුට දිය යුතු නැත. එසේ වුණොත් සිදුවන්නේ, පවුල් බලය ස්ථාපිත වීමත්, රජ පෙළපතක් නොවැරදීම බිහි වීමත් ය.

රාක්ෂයා මරා දමන වීරයාට රටක් පූජා කෙරෙන්නේ සුරංගනා කතාවල ය. අප මේ කතා කරන්නේ සැබෑ ලෝකය ගැනයි.

මහින්ද රාජපක්ෂ මිත්‍රශීලී කෙනෙකු බවට සැකයක් නැත. එසේ වෙච්චාවේ. ඒ වෙනුවෙන්, ‘සමාජශීලී පුරුෂයා’ සම්මානයක් ඇති කොට, අවුරුදු පතා ඔහුට එය ප්‍රදානය කළ හැකිය. එහෙත් ඒ කිසිවක්, ඔහු වෙනුවෙන් නැවත ඡන්දයක් පාවිච්චි කිරීමට හේතුවක් නොවේ. මන්ද යත්, තුන්වැනි වාරයකදී ඔහු සහ ඔහුගේ සහෝදරයන් මේ රටට කළ හැකි දේවල්, ඔහුගේ සහචරයන්ට කිරීමට ඔවුන් ඉඩ හැරිය හැකි දේවල්, අප හොඳින් දන්නා නිසා ය.

මහින්ද රාජපක්ෂට ජාතික ස්වෛරීත්වය රැක දිය නොහැක. ලංකාව මේ වන විට ඔහු චීන ප්‍රත්‍යන්තයක් බවට පත්කරමින් සිටී. මහින්ද රාජපක්ෂට සාමය ගොඩනැගිය නොහැක. දෙමළ ජනතාව සමග සමගි වීමට ඔහු අසමත්ව තිබේ. ඒ මදිවාට, මුස්ලිම් ජනතාව සහ කිතුණු ජනතාව තරහ කර ගනිමින් සිටී.

ඔහුට ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර දිය හැකි එකම ක්‍රමය වන්නේ, තවත් සුළුතර ප්‍රජාවක් සමග නැවත යුද්ධයක් අවුළුවා එය ජය ගැනීමෙන් පමණි. එහෙත් ඒ සඳහා තවත් දශක ගණනාවක් අප ලේ හැලිය යුතුය.

මහින්ද රාජපක්ෂ සංවර්ධනය යනුවෙන් වටහාගන්නේ, අධිවේග මාර්ග, ගුවන් තොටුපොලවල් සහ වරායවල් ගොඩනැගීමයි. ඔහුගේම සිංහල ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාව ඒ අතරේ අගාධයට වැටීම ඔහුට ප්‍රශ්නයක් නැත.

රාජපක්ෂලා- අර රාජපක්ෂ හෝ මේ රාජපක්ෂ නොව, සියලූම රාජපක්ෂලා- අඩු වශයෙන් තවත් අවුරුදු හයක් මේ රට පාලනය කරනු දැකීමට අපට අවශ්‍යද?

ගෝඨාභය රාජපක්ෂ, සිය සහෝදරයාගේ තනතුරට යම් දවසක නීතිමය සහ ව්‍යවස්ථාමය වශයෙන් පත්වනු වස් පාර්ලිමේන්තුවට පැමිණෙනු දකින්ට අපට අවශ්‍යද?

මුළුමණින් දීන අධිකරණයක් අපට අවශ්‍යද? මහ දවල්ම පාලකයන්ගේ ඉත්තන් වන විනිසුරුවන් අපට අවශ්‍යද?

අධිපතිවාදී වීමට, අළුත් රාජපක්ෂවාදී වැටහෙන-නුවණක් අපට අවශ්‍යද? දණ්ඩමුක්තිය (දඩුවම් නැතිව අපරාධ කිරීමට ඇති බලය), බල අපහරණය සහ දූෂණය, ඊළඟ ලාංකික පරම්පරාවට දායාද කෙරෙන සාමාන්‍ය තත්වයද?

ආර්ථීකය, සිවිල් සමාජය සහ අපේ චින්තනයමත් හමුදාකරණයට ලක්වෙනු දැකීමට අපට අවශ්‍යද? දුර්වලයාට ගරහන, බලවතාට වන්දනාමාන කරන සදාචාරයක්ද අපට අවශ්‍ය කරන්නේ?

ජාතික ධනයෙන් වැඩිම ප්‍රතිශතයක් ආරක්ෂාව වෙනුවෙන් වැය කරද්දී පවා, සමාජයේ වඩාත් අනතුරට ලක්විය හැකි (මහල්ලන් සහ ළාබාලයන්) ආරක්ෂා කළ නොහැකි රටක් ද අපට අවශ්‍ය කරන්නේ?

අපට අවශ්‍ය කරන්නේ, ධම්මික පෙරේරලා විසින් ආර්ථීකය හසුරුවන, සජින් වාස්ලා විසින් ක්‍රිස් නෝනිස්ලාට තඩිබාන, අතවැසි ධනවාදයක් සහ ප්‍රවේණිදාස පරිපාලනයක්ද?

අපට අවශ්‍ය කරන්නේ, පුද්ගල දියුණුව සහ ආරක්ෂාව, රාජපක්ෂලාට දක්වන වහල් අවනත භාවය උඩ රැෙඳන රටක්ද?

අපට අවශ්‍ය කරන්නේ කළාපීය සහ ගෝලීය බලවතුන්ගේ සටන් බිමක් බවට ලංකාව පත්වෙනු දැකීමටද?

සිංහලයන්ට අවශ්‍ය කරන්නේ සදාතන සාමයක්ද, නැත්නම් තවත් සුළුතරයක් සමග ඇදගන්නා තවත් යුද්ධයක්ද?

දෙමළ ජනයාට අවශ්‍ය කරන්නේ, යටපත් කරනු ලැබූ ප්‍රදේශයක ජීවත් වීමට, තමන්ගේ ජීවිත අවමානයට ලක්කෙරෙන සහ තම අනාරක්ෂාව සහ අසරණ භාවය රජයන රටක්ද?

මුස්ලිම් ජනයාට, අළුත් දෙමළ ජනතාවක් වීමට අවශ්‍ය කරයිද?

දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස ජීවත් වීමට කිතුණුවන්ට අවශ්‍ය කරයිද?

රාජපක්ෂලා පැන්නීමෙන් ලංකාවේ සකල ගැටළු නිරාකරණය නොවන බව ඇත්ත. එහෙත් ලාංකිකයන්ගේ අතිබහුතරයක් ප්‍රශ්න, රාජපක්ෂලා පැන්නීමෙන් තොරව විසඳාගත නොහැක.


අවසාන කුරුබිලිය

රාජපක්ෂලා පරාජය කිරීම, වසරින් වසර දුෂ්කර කටයුත්තක් වනු ඇත. ඒ, රාජපක්ෂලා වැඩි වැඩියෙන් ජනප්‍රිය වන නිසා නොවේ. දේශපාලනික-මැතිවරණමය ක්‍රීඩා පිටිය දවසින් දවස ඔවුන් විසින් තමන්ට වාසිසහගත ආකාරයකින් යළි සකස් කරගන්නා නිසා ය.

එසේ වෙතත්, ආර්ථීක අසහනය දවසින් දවස ලියලයි. විශේෂයෙන් සිංහලයන් අතර එය සිදුවෙයි. විපක්ෂයට සැපයෙන් කුරුබිලිය එයයි. මැතිවරණය දෙවැනි වටයකට ගෙන යාමේ සෑහෙන ඉඩක් ඒ මගින් විපක්ෂයට උදා කරගත හැකිය. විපක්ෂයට, අත උඩින් දිනීමක් අවශ්‍ය නැත. රාජපක්ෂලා අත උඩින් දිනීමක් වැළැක්වීම වුව ප්‍රමාණවත් ය. මන්ද යත්, ඒ හරහා දේශපාලනික සුනාමියක් ජනිත කළ හැකි බැවිනි. එය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළතින් පවා නැග එනු ඇත.

රාජපක්ෂලා මේ ජනාධිපතිවරණය දින්නොත්, විපක්ෂයේ සිටින වඩාත් කාර්යශීලී කොටස් අකර්මණ්‍ය කිරීමට ඔවුන් වහා කටයුතු කරනු ඇත. එසේ දියත් වන ප්‍රහාරයන්ගෙන් බැටකන, අත්අඩංගුවට පත්වෙන සහ අපහාසයට ලක්වන විපක්ෂයක් ඇතුළේමත් සමගිය කඩා ඉහිරවන අවස්ථාවකින් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එම මැතිවරණයෙන් රාජපක්ෂ කෙනෙකු අගමැති තනතුරටත් පත්වූ පසු, පවුල් පාලනයට ඇති ලොකුම බාධකයත් අවසන් වනු ඇත.

දෙවැනි රාජපක්ෂ පාලන සමය තුළ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ ජීවිත මෙලෝ උන්නතියකට පත්ව නැත. එහෙත් එම දෙවැනි රාජපක්ෂ පවුල් පාලනය තුළ, අඩු වශයෙන් සිංහල බහුතරයේ ජීවිතවත් සැපවත් වී ඇත්ද? යුද්ධ කාලයේදීත්, එය අවසන් වූ ආසන්න වාකවානුවේදීත් උතුරේ කරන ලද සාපරාධී ක්‍රියා සිංහල දකුණට වැදගත් නොවිය හැකිය. දෙමළ මිනිසුන්ගේ සහ මුස්ලිම් ජනයාගේ සැකසාංකා සහ බිය ගැන සිංහලයන්ට අහක බලාගෙන සිටිය හැකිය. එහෙත්, සිංහල දකුණේ තත්වය මේ පාලන සමය තුළ දියුණුවකට පත්ව තිබේද? 2010 සිටියාට වඩා අද සිංහලයා අනාගතය ගැන සුබවාදීව සිතන්නේද? රාජපක්ෂලා අද රට ගෙන යන මාවත ගැන ඔවුන් සෑහීමකට පත්ව සිටින්නේද? මළගිය හෝ අදෘෂ්‍යමාන හතුරෙකුගේ නාමයෙන්, තමන්ගේ සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් කැප කිරීමට ඔවුන් සූදානම්ද?

අප සිතන පතන ආකාරය කලතා මඩ කිරීම සඳහා, කොටින් ගැන, ජිහාඩ් මූලධර්මවාදීන් ගැන, ද්‍රෝහීන් සහ කුමන්ත්‍රණකරුවන් ගැන යටිගිරියෙන් කෑගසා කීමට රාජපක්ෂලා තතනනු ඇත. සැබෑ ප්‍රශ්නය අපෙන් අමතක කැරැවීම ඔවුන්ගේ උපායයි.

අපට එවැනි රාජපක්ෂ අනාගතයක් අවශ්‍යද?


තිසරණී ගුණසේකර

2014 නොවැම්බර් 13 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
Another term of madness
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

-MMP



2014-11-17
Advertisement

Find us on Facebook