English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ බරසාරත්වය සඳහා වන උපායමාර්ග !

පවතින ආණ්ඩුකරණයේ තත්වය ගැන මොන තරම් සැකසාංකා පළවෙතත්, නිරන්තරයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබේ. එහෙත් අනිත් අතට, මහජන කටයුතු පාලනය සම්බන්ධයෙන් තමන්ට බලයක් නැතැ යි යන හැඟීමක් ද ඔවුන්ගෙන් බහුතරයක් තුළ තිබේ. තමන්ගේ දුබල බව පිළිබඳ ඒ හැඟීම ඔවුන් තුළ ඇති වන්නේ, විවිධ තල තුළදී තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය කෙරෙහි බලපෑම් කිරීමේ වැඩි හැකියාවක් ඔවුන්ට නැති කම නිසා ය.

එසේ හෙයින් මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලැබීම, වැදගත් කාරණා සම්බන්ධයෙන් තම අදහස් උදහස් සහ අභිමතයන් දන්වා සිටීම සඳහා වන අවස්ථාවක් ඔවුන්ට නැති කමට ආදේශකයක් වන්නේ නැත. බොහෝ විට ප‍්‍රසිද්ධ විරෝධතාවන්ට සහ උද්ඝෝෂණවලට හේතුවන්නේ එවැනි අවස්ථාවක් නැති කම ය. ඒ තත්වය තුළ මතුවන ප‍්‍රශ්නය වන්නේ: තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ පුරවැසියන්ගේ අදහස් උදහස් සහ වරණයන් සැලකිල්ලට ගැනීමට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හැකි වන්නේ කෙසේද යන්නයි. වෙනත් වචනවලින් කිවහොත්, වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් වන මහජන මතය මැනෙන යාන්ත‍්‍රණයක් හෝ යාන්ත‍්‍රණ ආයතනගත කරගත හැක්කේ කෙසේද? එය කළ හැකි වන්නේ නම්, අද අප රටේ බොහෝ දුරට හෑල්ලූ වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලිය වඩාත් බරසාර කර ගැනීමට රුකුලක් වෙනවා සිකුරුයි.

මහජන අදහස් උදහස් සහ ඕනෑ එපාකම් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දැනෙන්නේ ජාතික මට්ටමේ දී පමණක් නොවේ. පලාත් පාලන ආයතන මට්ටම දක්වාම එය විහිදෙයි. කවුරුත් දන්නා පරිදි, බොහෝ පුරවැසියෝ ජාතික ආණ්ඩුවෙන් මෙන්ම පළාත් මට්ටමේ උප-ජාතික ආයතන වන පළාත් සභා සහ පලාත් පාලන ආයතන මට්ටමෙන් ද වියෝ වී සිටිති. වෙනත් රටවල මෙන් එම අවශ්‍යතාවට ආමන්ත‍්‍රණය කිරීම සඳහා කිසි ක‍්‍රමයක් අපට නැත. උදාහරණයකට ස්විට්සර්ලන්තය ගතහොත්, වැදගත් ජාතික සහ ප‍්‍රාදේශීය ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජනමත විචාරණයන් පැවැත්වීමේ සම්ප‍්‍රදායක් තිබේ. ජනමාධ්‍ය සහභාගීත්වයෙන් ද යුතුව ඒ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇති කර ගැනීමෙන් පසු ජනතාවට තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප‍්‍රකාශ කිරීමට එරටේ ඉඩක් තිබේ. අදාළ වන ප‍්‍රශ්නය සමහර විට යුරෝපා සංගමයට එකතු වන්නේද නැද්ද යන්න විය හැකිය. එසේ නැතහොත්, ප‍්‍රාදේශීය ප‍්‍රජාවකට බලපාන යම් වීදියක් පදිකයන් සඳහා වෙන් කර ගැනීමක් පිළිබඳව විය හැකිය. තවත් රටවල ජනතා සහභාගීත්වය ලබාගන්නා වෙනත් ක‍්‍රම තිබේ. මීට වසර කිහිපයකට පෙර ඔස්ටේ‍්‍රලියාවේ තරුණයෝ 20,000 ක් විවිධ පළාත්වලින් පැමිණ ජාතික තරුණ උපදේශන සම්මන්ත‍්‍රණයක් පැවැත්වූහ. තවත් රටවල, නිරන්තරයෙන් පැවැත්වෙන ජනමත විමසුම් තිබේ. වැදගත් ප‍්‍රශ්න අළලා මේවා පැවැත්වෙන්නේ ස්වාධීන ආයතන හරහා ය. එවිට පුරවැසියන්ගේ උදහස් උදහස් සහ ඕනෑ එපාකම් මොනවාදැ යි දැන ගැනීමට දේශපාලන නායකයන්ට හැකි වන්නේය.

ඉහත සඳහන් කෙරුණේ, ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් ගන්නා තීරණ කෙරෙහි පුරවැසියන්ට බලපෑම් කළ හැකි අවස්ථාවන්ට උදාහරණ කිහිපයකි. එවැනි තත්වයක් තුළ ඡන්දදායකයා පැත්තක සිට බලා සිටින්නෙකු වන්නේ නැත. මැතිවරණයකින් පසු ගණන් නොගැනෙන කෙනෙකු බවට පත්වන්නේ නැත. එසේම ජනතා කැමැත්ත නොසළකා හිතුමතේ වැඩ කිරීමට දේශපාලඥයාට සහ ඔහුගේ ගැත්තන්ට හැකි වන්නේ ද නැත. එසේ නොමැතිව අපේ රටවල මෙන් කටයුතු සිද්ධ වුණොත්, විවිධ කාරණා සම්බන්ධයෙන් ජනතාව නොසන්සුන් විය හැකිය. තමන්ගේ අදහස් පාලකයන්ට දැනවීමේ විධිමත් ක‍්‍රමයක් නැති වන විට ඔවුන් සාහසික වන්නට ද පුලූවන. කාර්මික නීති යටතේ ඇති කොට තිබෙන වෘත්තීය සමිති හරහා සේවකයන්ට බොහෝ වාසි අත්වී තිබෙන බව අපි කවුරුත් දනිමු. එසේම කාර්මික ලෝකයේ සාමය ද ඒ මගින් ආරක්ෂා වෙයි.

මහජන උද්ඝෝෂණ සහ විරෝධතා අද බොහෝ රටවල්වල දක්නට ලැබෙයි. විටෙක මේ ව්‍යාපාර ප‍්‍රචණ්ඩ වෙමින් හානිකර ප‍්‍රතිවිපාක ගෙන දෙයි. සාමාන්‍යයෙන් එවැනි විරෝධතාවන්ට ඉවහල් වන්නේ, සමාජයේ සෑහෙන කොටසකගේ අසහනය සහ අතෘප්තියයි. විශේෂයෙන් ඔවුන්ගේ දුක්ගැනවිලිවලට පාලකයන් වැඩිමනත් කන් නොදෙන විට එවැනි තත්වයන් ඇති වෙයි. මෙවැනි ව්‍යාපාරවලට හැම විටකම ජනතාවගෙන් බහුතරයක සහයෝගය නොලැබෙතත්, ඔවුන්ගේ තිරසාර භාවය සහ කැපවීම මත විටෙක ආණ්ඩු පෙරැුලීමට ද ඔවුන්ට හැකි වෙයි. මෑතක මැද පෙරදිග ඇතැම් රටවල්වලින් අපි ඒ බව අත්දැක්කෙමු. තවත් සමහර අවස්ථාවල, අතෘප්තියට පත් කණ්ඩායම් එක දිගටම විරෝධතාවන්හි නියැලීම නිසා මෘග ඝාතනයන් ද සිදුවිය හැකිය. අපේ රට ඇතුළු තවත් බොහෝ රටවල් ඒ තත්වයට මුහුණදී තිබේ. එබැවින් හැම විටකම, ජනතා මතය පිරික්සා දැන ගැනීම සහ එම ජනතා මත ඉදිරිපත් කිරීමේ සාමකාමී මාර්ග පැවතීම රටකට වැඩදායක ය. ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහාත්, දේශපාලනික ගැටුම් සහ සමාජ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහාත්, සාමය සහ සමාජ සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාත් එය අත්‍යාවශ්‍ය ය.

එවැනි යහපත් තත්වයක් ඇති කර ගැනීමේ ශක්‍යතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට තිබේ. එසේ නොමැතිව, විටින් විට මැතිවරණ පැවැත්වීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අර්ථවත් වන්නේ නැත. එවැනි මැතිවරණ සාමාන්‍ය ජනතාවට අදාළ වන්නේ හෝ ප‍්‍රයෝජනවත් වන්නේ නැත. වැදගත් වන්නේ, ජනතා අදහස්, අපේක්ෂාවන් සහ අභිලාෂයන් කෙරෙහි කොතෙක් දුරට නායකයන් සංවේදී වන්නේද යන්නයි. ජනතාවගේ ඒ අදහස් උදහස්, අපේක්ෂා සහ අභිලාෂයන් දෙස විපරමින් බැලූවොත් අපට පෙනී යන්නේ, සංවර්ධනය ගැන, දේශපාලන ස්ථාවරත්වය ගැන සහ සමෘද්ධිය ගැන හුදු දේශපාලනික සටන්පාඨවලින් එහාට යන ප‍්‍රතිචාරයක් නායකයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වන බවයි. අපරාධ සම්බන්ධයෙන් වේවා, අධ්‍යාපනය සම්බන්ධයෙන් වේවා, පරිසර දූෂණය, ගමනාගමනය හෝ සමාජ අසමානත්වය ගැන වේවා, ඒවාට උචිත ආකාරයෙන් සහ නිශ්චිත ආකාරයෙන් ආමන්ත‍්‍රණය කිරීමක් පාලකයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේය.

මහාචාර්ය සිරි හෙට්ටිගේ


*2014 නොවැම්බර් 3 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Strategies for Deepening Democracy” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’


-MMP




2014-11-12
Advertisement

Find us on Facebook