English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසීම !

නැවත වාරයක් තරග කිරීමට තමන්ට ඇති නෛතික යෝග්‍යතාව ගැන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉන් පසුව, ඒ පිළිබඳ ලිඛිතව කරුණු දක්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා අගවිනිසුරුවරයාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිට ලියා දන්වා ඇත. එනම්, අධිකරණය ඉදිරියේ ලිඛිතව මිස වාචිකව කරුණු දැක්වීමට නීතිඥ සංගමයට ඉඩක් දී නැති බව ය. තවද, එම ලිඛිත කරුණු දැක්වීම නොවැම්බර් 7 වැනි දා පස්වරු 3.00 ට පෙර ඉදිරිපත් කළ යුතු බව ද දන්වා තිබේ. එනම්, පැය 48 කටත් අඩු කාලයකි. ශ්‍රේෂ්ඨාධිකරණය සිය අදහස් දැක්වීම නොවැම්බර් 10 වැනි දාට ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු බවක් පෙනේ.

ජනාධිපති රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස මෙසේ විමසා සිටින්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 (1) යටතේ තමන්ට ඇති අයිතියක් පාවිච්චි කරමින් බව පෙනේ. එම වගන්තියට අනුව, අධිකරණයට උපදේශාත්මක අධිකරණ බලයක් හිමි වෙයි. ඒ වගන්තිය ප‍්‍රකාරව, රටේ ජනාධිපතිවරයා වශයෙන් ‘ප‍්‍රශ්නයක්’ ( ඕනෑම ප‍්‍රශ්නයක් නොව) අධිකරණයේ උපදෙස් පතා ඉදිරිපත් කළ හැකිය. එහෙත් එය, ‘‘මහජන වැදගත්කමේ හෙවත් පොදු වැදගත්කමේ පරිමාණය සහ ස්වභාවය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් ඉල්ලා සිටීමට තරම් යෝග්‍ය වන’’ ප‍්‍රශ්නයක් විය යුතුය. ඒ අනුව, මුලින්ම ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ: ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසා දැන් ඉදිරිපත් කර ඇති ප‍්‍රශ්නය, මහජන වැදගත්කමකින් හෙවත් පොදු වැදගත්කමකින් යුක්ත ප‍්‍රශ්නයක් ද යන්නයි. බලයේ සිටින ජනාධිපතිවරයා පුද්ගලයෙකු වශයෙන් තවත් වාරයක් සඳහා තරග කිරීමට සුදුස්සෙකු ද යන්න පිළිබඳ බරපතල ප‍්‍රශ්නාර්ථයක් මතුව ඇතත්, ඒ හේතුව නිසාම එම ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශාත්මක අධිකරණ බලය අභ්‍යාස කරමින් විසඳා දිය යුතු තරමේ පොදු ප‍්‍රශ්නයක් නොවන්නේය. එම ප‍්‍රශ්නය, මහින්ද රාජපක්ෂ නමින් සිටින පුද්ගලයාට බලපාන ප‍්‍රශ්නයක් මිසක් ජනාධිපතිවරයාට බලපාන ප‍්‍රශ්නයක් නොවේ. එබැවින් මේ වනාහී අධිකරණ බලය නොහොබිනා ආකාරයෙන් අයැද සිටීමකි.

මෙය, මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයාගේ පෞද්ගලික භාග්‍යය කෙරෙහි පෞද්ගලික මට්ටමකින් බලපාන ප‍්‍රශ්නයකි. රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ, පුද්ගලයන්ට පෞද්ගලික උපදෙස් සැපයීමට නොවේ. මේ හරහා ප‍්‍රශ්න කෙරෙන යෝග්‍යතාව හෝ අයෝග්‍යතාව අදාළ වන පුද්ගලයා දැනට ජනාධිපති තනතුරේ සිටින කෙනා ද වූ පමණින්, එම ප‍්‍රශ්නය ජනාධිපති තනතුරට අදාල ප‍්‍රශ්නයක්වත්, මහජන වැදගත්කමකින් යුක්ත ප‍්‍රශ්නයක්වත් බවට පත්වන්නේ නැත.

රාජපක්ෂ මහතාට අවශ්‍ය නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණයට හෝ දිස්ත‍්‍රික් අධිකරණය ඉදිරියට ගොස් අදහස් විමසා බැලීමක් කළ හැකිය. එවිට සිදුවන්නේ, එය ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය පිළිබඳ ප‍්‍රශ්නයක් වන නිසා එම අධිකරණය මගින් එම ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමයි. මෙහි දී සිදුවන්නේ ද, එම ප‍්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණීමයි. එහෙත් ඒ වෙනත් ක‍්‍රියාපරිපාටියක් හරහා වෙනත් මාර්ගයකිනි. එවිට අධිකරණයට මෙන්ම ඊට අදාළ වෙනත් පාර්ශ්වයන්ට ද එම ක‍්‍රියාවලියට සහභාගී වීමේ ප‍්‍රමාණවත් කාලයක් සහ ප‍්‍රමාණවත් අවස්ථාවක් ලැබෙන්නේය. ඒ වෙනුවට දැන් කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ ප‍්‍රශ්නය යොමු කිරීමෙන් අපේක්ෂා කෙරෙන්නේ අර කී ක‍්‍රියාපරිපාටිය කෙටි කරගන්නා අතරේම, අදාළ ප‍්‍රශ්න ගැන පුළුල් තර්ක විතර්ක ගොඩනැංවීමක් වැළැක්වීමයි.

අනිත් අතට, මේ ප‍්‍රශ්නය මහජන කතිකාව තුළ දැන් මාස ගණනාවක් තිස්සේ සංසරණය වන ප‍්‍රශ්නයකි. එවැනි තත්වයක් තුළ මෙවැනි අදහසක් ඉල්ලා මීට සති කිහිපයකට කලින් අධිකරණය වෙත යාමේ හැකියාව රාජපක්ෂ මහතාට තිබුණි. එසේ තිබියදී දැන් අධිකරණය මේ සා ඉස්පාසුවක් නැතිව එම ප‍්‍රශ්නය වෙත යොමු වීමට හේතුවක් නැත. අධිකරණයේ අදහස තමන් වෙත දන්වා සිටීමේ අවසාන දිනයක් නියම කිරීමට ජනාධිපතිවරයාට පුලූවන. එහෙත් එසේ වූ පමණින්, ඔහුගේ දින නියමය අන්ධානුකරණය කරමින්, ප‍්‍රබුද්ධ මතයක් නොදී සිටීමට අධිකරණයට පුලූවන් කමක් නැත. එවැනි ප‍්‍රබුද්ධ මතයකට එළැඹිය හැක්කේ, මේ ප‍්‍රශ්නයට අදාළ සෑම පාර්ශ්වයකින්ම ඉදිරිපත් කෙරෙන පූර්ණ තර්ක විතර්කවලට කන්දීමෙනි.

මගේ අදහස අනුව, දැනට ලබා දී ඇති පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ එවැනි සබුද්ධික මතයකට එළැඹීමේ හැකියාවක් අධිකරණයට නැත. අධිකරණයේ අදහස් ඉල්ලා ජනාධිපතිවරයා විසින් යම් නිශ්චිත කාලයක් දී තිබුණත්, එම කාලය දිග් කර ගැනීමේ නෛතික විධිවිධාන තිබේ. අනුගත විය නොහැකි දින නියමයකට අන්ධ ලෙස යටත් වෙනවා වෙනුවට, ඒ සා ඉක්මණින් තමන්ගේ අදහස දැන ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය කරන්නේ මන්ද යන්න අධිකරණයෙන් විමසා සිටිය යුතු අතර, කෙසේ වෙතත්, අදාළ ප‍්‍රශ්නය ගැන ප‍්‍රමාණවත් ආකාරයෙන් සළකා බැලීම සඳහා තමන්ට කල් අවශ්‍ය කරන බව ජනාධිපතිවරයාට අධිකරණයෙන් දන්වා සිටිය යුතුව තිබේ.

කඩිමුඩියේ දක්වන අදහසක් දෝෂ සහගත වීමට ඉඩ තිබේ. එය, 3 වැනි සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අධිකරණය ක‍්‍රියා කොට ඇති ආකාරයෙන් මනාව පෙන්නුම් කෙරේ. දී තිබෙන දින නියමය දිගු නොකෙරෙන්නේ නම්, තමන්ගේ අදහස පළ නොකර සිටීම අධිකරණය පැත්තෙන් ප‍්‍රඥාගෝචර ය.

ජනාධිපතිවරයාගේ වාරය අවසන් වීමට තව වසර දෙකක් තිබේ. ඉතිං, තම අදහස ලහිලහියේ දීමට හේතුවක් අධිකරණයට තිබිය නොහැක. එනිසා අධිකරණය කළ යුත්තේ අදහස් පළ කිරීම ප‍්‍රතික්ෂේප කිරීමයි. එහෙත් අතීත අත්දැකීම් අනුව එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක.

රීසා හමීඞ්

*2014 නොවැම්බර් 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ President’s Reference to the Suprem Court නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

-MMP




2014-11-10
Advertisement

Find us on Facebook