English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසියාගේ නිහඬතාවය හා නිශ්කී‍්‍රයත්වය තමයි මෙතරම් විනාශයකට මුල පුරා තිබෙන්නේ - පිලිප් දිසානායක
"දේශපාලන ප‍්‍රතිසංස්කරණය" ක අවශ්‍යතාවය ඉතා දැඩිව දැනෙන කාලපරිච්ඡ්දයක දී, එය කථාබහකට ලක්වන අවදියකදී "අයිතිය" වෙබ් අඩවිය විසින් ඒ සම්බන්ධව මත විමසුමක් ආරම්භ කරමින් "දේශපාලන ප‍්‍රතිසංස්කරණය" පිළිබඳව පළමුව, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක මහතා සමඟ සාකච්ඡවක් ආරම්භ කළේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡවයි.



1. ප‍්‍රතිසංස්කරණයක් ! මොකක්ද මේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් යනුවෙන් අලූතින් කථා බහා කරන්නේ ?

අපේ රාජ්‍ය ක‍්‍රමය හදුන්වා දී තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයක් ලෙසයි. එසේ නම් එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් කි‍්‍රයාත්මක විය යුත්තේ ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් මතයි. ඒ අතරින් ප‍්‍රධාන වන්නේ කැබිනට් මණ්ඩලය/පාර්ලිමේන්තුව/අධිකරණය හා පාලන බලතල යන සතර වැදැරුම් සංස්ථාවන් එකිනෙකාගෙන් වෙන් වෙන්ව, ස්වාධීනව හා අපක්ෂපාතීව, එකිනෙකාට ගරුකරමින් හා වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමයි. නමුත් අප රටේ විශේෂයෙන් 1978 ව්‍යාවස්ථාව තුලින් ස්ථාපිත විධායක ජනාධිපති ක‍්‍රමයත් සමග ඉහත සංස්ථා සියල්ල එක් පුද්ගලයෙකු විසින් එනම් ජනාධිපතිවරයාගේ   ඕනෑ එපා කම් වලට මෙහෙයවෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. මීට යම් විසදුමක් ලෙස 17 වන ව්‍යවස්ථා සංශෝධණය තුලින් ගෙන එනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයත් නැවතත් මුලූ මනින් අකී‍්‍රය වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් අද රට නීතියේ අධිපත්‍යයක් තුළ කි‍්‍රයාත්මක නොවන, ආණ්ඩුවේ දේශපාලණ වුවමනාවන් අනුව කි‍්‍රයාත්මක වන රූකඩ රජ්‍ය ආයතන වලින් සමන්විත, අල්ලස දුෂණය නීතිගත වූ, අපරාධ සංස්කෘතියක් සහිත ආරාජිකත්වයක් කරා වේගයෙන් ගමන් කරන රටක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ජනතාවගේ ආරක්ෂාව හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා තිබෙන කිසිම ආයතනයක් කි‍්‍රයාත්මක වනනේ ඒ පරමාර්ථයන් අනුව නොවෙයි ජනතාව තව තවත් පීඩාවට පත්කිරීමයි අද එම ආයතන හරහා සිදු කරන්නෙ. ඒ නිසා ඔවුන් අද කල්පනා කරන්නේ මේ ආයතන හා නිලධාරීන්ගෙන් කොහොමද බේරිල ඉන්නෙ කියලා. මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි.

ඒ සදහා මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත්කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඒ වෙනස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සමග සිදු කළ යුතුයි. මෙය පහසු කටයුත්තක් නොවෙයි. මෙවැනි ප‍්‍රතිසංස්කරණ සිදු කරන බවට බොහෝ පක්ෂ බලයට පත්වීමට පෙර මින් පෙර විවිධ පොරොන්දු දී තිබුනා. නමුත් ඔවුන් බලයට පත්වීමෙන් පසු සිදු කළේ තිබු අයිතිවාසිකම් ප‍්‍රමාණයක් නැතිකර හෝ සීමාකර දැමීමයි. අද නැවතත් විපක්ෂය රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ පිලිබ`දව කතා කරනවා. පසුගිය අත්දැකීම් මත ඒ අය මේ කතා කරන දේ කි‍්‍රයාවෙන් ඔප්පුකරයි කියා විස්වාසය තැබිය නොහැකියි. ඒ නිසා රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම දක්වා අඛන්ඛඩව කි‍්‍රයාත්මක වන මහජන ව්‍යාපාරයක් අප විසින් ගොඩනැගිය යුතුයි. 

2. එවැනි දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ශ‍්‍රි ලංකාවට අවැසි යැයි ඔබ කියන්නේ මන්ද ?

අල්ලස, දුෂණය, ඉහ වහා ගිය අපරාධ සංස්කෘතියක් ස්ථාපිත වූ නීතියේ ආධිපත්‍යයක් කි‍්‍රයාත්මක නොවන මෙවැනි රටක් ගමන් කරන්නේ ලෝකයම පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්ම මත නොවෙයි.

ඒ නිසා අපරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට පත්කර ගැනීම මේ රටේ සෑම පුරවැසියෙකුගේ වගකීමක්. පුරවැසි අයිතීන් සුරක්ෂිත නොවන්නේ නම් මේ රටේ තව දුරටත් ජීවත්විය නොහැකි. දැනටමත් හැකියාව ඇති අය මේ රට අතහැරල ගිහිල්ලා. නමුත් එය විසදුමක් නොවෙයි. අපි මේ රට අපට ජීවත් විය හැකි ආකාරයට වෙනස් කළ යුතුයි. ඒ සදහා මේ රාජ්‍ය ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි. සිහි බුද්ධියක් ඇති බොහෝ දෙනා අද මේ ගැන කතා කරනවා. විශේෂයෙන් විරුද්ධ පක්ෂ දේශපාලන වේදිකාවේත් මේ පිලිබ`දව කතා වෙනවා. නමුත් ඒ ස`දහා ප‍්‍රායෝගික වැඩ පිළිවෙලක් අප සැකසිය යුතුයි. එමෙන්ම මේ සදහා මහජන සහභාගීත්වය ලබා ගත යුතුයි. 


3. ඔබ කියන ඒ ප‍්‍රතිසංස්කරණය ආරම්භ කළ යුත්තේ කෙසේද? කොතැනින්ද?

අද වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ව්‍යවස්ථාව සංශෝධනය ගැන. නමුත් ව්‍යවස්ථාව සංශෝධණය කළ පමණින් අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙන්නෙ නැහැ. ඊට සමගාමීව දේශපාලණ බලය බෙදීම, යහපාලනය, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් පිළිබදවත් එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය වැනි මහජන සේවාවන් පිළිබදවත් ගොවි, කම්කරු, ධීවර, කාන්තා හා පරිසරය සම්බන්ධවත් එමෙන්ම අප රටේ කි‍්‍රයාත්මක විය යුතු ආර්ථික ක‍්‍රමයත් සංශෝධනයට, ප‍්‍රතිසංස්කරණයට ලක් විය යුතුයි.

මේ පිළිබදව අප දැනටමත් ඉහත සදහන් කළ ඒ ඒ අංශයන් තුළ කාලයක සිට කි‍්‍රයාත්මක වූ සංවිධාන හා පුද්ගලයන් සමග සාකච්ඡ කිරීමෙන් පසුව සිදු විය යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද යන්න පිළිබදව ලේඛන ගත කිරීම් සිදු කරගෙන යනවා. ඉන් පසුව අවසාන ලියවිලි ඒ ඒ ක්ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරීන්ගෙන් සමන්විත සමුලූවක දී සම්මත කර ගනු ලබනවා. ඒ අකාරයෙන් දැනට හ`දුනාගෙන තිබෙන ක්ෂේත‍්‍ර 14 ක් සම්බන්ධව ප‍්‍රතිසංස්කරණ යෝජනා අප අවසානයේ සකසනු ලබනවා.

එම යෝජනා දේශපාලන පක්ෂ වෙත පිලිගැන්වීමෙන් පසුව ඔවුන්ගේ ද අදහස් ලබා ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මෙම ප‍්‍රතිසංස්කරණ යෝජනා කි‍්‍රයාත්මක කරන බවට මහජනයා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගන්න බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම මීට සමගාමීව අප මෙම යෝජනා මහජනයා වෙත ගෙන ගොස් ඔවුන් දැනුවත් කර ඔවුන් මේ ස`දහා සකී‍්‍රය ලෙස දායක කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම වෙනුනේ අඛන්ඩව කි‍්‍රයාත්මවන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමත් සිදු කරනු ලබනවා.  

 
4. හොඳයි, ඔය කියන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ වැඩි බරක් පැවරෙන්නේ මේ සමාජය තුළ සිටින කුමන පාර්ශවයකට ද? නැතිනම් පාර්ශවවලට ද ?

පුරවැසියාට. මෙය ඔවුන්ගේ වගකීම. නමුත් අප රටේ පුරවැසියා හිතන්නේ ඡන්ද කාලෙට ඡන්ද පොලට ගිහින් ඡන්ද දැමීම පමණයි තම වගකීම කියල. වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක පුරවැසියා කටයුතු කරන ආකාරයෙන් නෙවෙයි අපේ රටේ පුරවැසියා කි‍්‍රයාත්මක වෙන්නෙ. ඔවුන් රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම වෙනුවෙන් කි‍්‍රයාත්මක නොවන තරම්. පුරවැසියාගේ මේ නිහඩතාවය හා නිශ්කී‍්‍රයත්වය තමයි මෙතරම් විනාශයකට මුල පුරල තිබෙන්නෙ. ඒ නිසා මීට සමගාමීව පුරවැසි ව්‍යාපාරයක් ගොඩනැගීමත් මේ සමගම කළ යුතුයි. නැත්නම් ප‍්‍රතිසංස්කරණ සිදු කරන බවට දේශපාණඥයින් සමග කොතරම් ගිවිසුම් අත්සන් කළත්, පොරොන්දු ලබා ගත්තත් වෙන්නේ අතීතයේ සිදු වූ දේමයි.

5.  මෙම උත්සාහයේ නැතහොත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ අවසාන බලාපොරොත්තුව කුමක්ද ?

ඉහත ස`දහන් කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම මත කි‍්‍රයාත්මක වන රටක් බවට ශී‍්‍ර ලංකාව පත්කර ගැනීම. තම අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් කටයුතු කරන පුරවැසියෙක් නිර්මාණය කර ගැනීම.   

සාකචිඡ කළේ - මෙලනි මානෙල් පෙරේරා



2014-11-10
Advertisement

Find us on Facebook