English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රනිල්: නූල් සූත්තර දේශපාලනය කොයිබට ද?

ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලාංකික ජන්දදායකයින් ගොනාට අන්දමින් සිටින්නේ ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි නොනවතින අඩමානයකට ඇද දමමිනි. එය විසින්ම ප්‍රජාතන්ත්‍රවාසදය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් දක්වන අවමානය පෙන්නුම් කැරෙයි.  මේ අතළඟ ජනාධිපතිවරණය සිදුවන්නේ ජනවාරි මුල ද මැද ද අග ද මාර්තුවේ ද කියා අප දැන් දන්නේ නැත. රාජපක්ෂවරුන්ට ජනතාව යනු සෙල්ලමට ගත හැකි දාදු කැට ය; ප්‍රජාතන්ත්‍රවාදය යනු දාදු සෙල්ලමට එලියට ගෙන පසුව අකුලා තබන කඩදාසියක් පමණ ය. 18වන සංසෝධනය යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව යනු එම කඩදාසිය එළියට ගෙන දූවිලි ගසා බසා දමා ක්‍රීඩාව අහවර වූ පසු යළි පෙට්ටගමට දමන වයින් දැමූ යන්ත්‍රයක් පමණ ය.

අනෙක් අතට එක්සත් ජාතික පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසිංහට දේශපාලනයෙහි  දාදු කැට ලෙස සැළකීමට හෝ ජනතාව යැයි  ප්‍රභේදයක් නැත. වඩා භයානක කාරණය වන්නේ එය යි. ඔහුට දේශපාලනය යනු නූල් සූත්තර මගින් සෑම දෙයක්ම නැටවිය හැකි මඬලකි. 2002  සාම ගිවිසුම පවා ඔහු විසින් සළකන ලද්දේ දේශපාලන ක්‍රියා මාර්ගයක් ලෙස නොව නූල් සූත්තරයක් ලෙස ය. සිංහල දෙමළ ජනයා අතර සාමය පිළිබඳ විශ්වාශයක් ගොඩ නැංවෙන සමාජ දේශපාලන ක්‍රියාවලියක් දියත් කිරීමට කරන ලද යෝජනා  ඔහු ප්‍රතික්ෂේප කරන ලද්දේ  තීරණාත්මක අවස්ථාවක් පැමිණි කල දෙසතියක දී ජන මතය හදන්නේ කෙළෙසදැයි තමා දන්නා බව කියමිනි. නූල් සුත්තර! දෙමළ ජනයා අතර ගෙන යන සාම-දේශපාලන ක්‍රියාවලියක් වෙනුවට ඔහු අනුබල දුන්නේ  සංගීත සංදර්ශන පැවැත්වීමට  සහ ඇති තරම් වැඩිහිටියන්ට පමණයි විත්‍රපට පෙන්වීම වැනි සූත්තර වලට ය. 

එළඹිමට නියමිත ජනාධිපතිවරණය ගැන ඔහු කල්පනා කරන්නේත් එළෙස  බව දැන් සක් සුදක් සේ පැහැදිලි ය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කැරෙන තනි සටන්පාඨය යටතේ පොදු දේශපාලන ව්‍යාපාරයක් මගින් රාජපක්ෂ අර්ධ ඒකාධිපතිත්වය පැරද වීමට දියත් වූ දේශපාලන ව්‍යාපාරයට ඔහු දායක වූයේ නැත. ඔහු කළේ හොර පූසකු මෙන් බලා හිදීම ය. වෙලාව ආ විට වැඩේ දෙන්නම් යැයි සාම ක්‍රියවලිය ක්‍රමන්ත්‍රණයක් බවට පත් කළ පරිද්දෙන්ම එකී තනි සටන්පාඨයේ රාජපක්ෂ විරෝධී ව්‍යාපාරයට ඔහු වැඩක් දීමට බලා සිට තිබෙන බව දැන් පැහැදිළි ය.

රාජපක්ෂ මර්දනය පැරදවීමට පොදු ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවට රනිල් වික්‍රමසිංහගේ දැන් තර්කය වන්නේ විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය තමන්ගේ බැවින් තමන් විපක්ෂයේ අපේක්ෂකයා විය යුතු බවය. ඔහුට ජනාධිපතිවරණය ජයගත නොහැකි යැයි තර්ක කරන එජාප නායකයින් බියගැන්වීමට ඔහු දැන් කියන්නේ මං එපා නම් නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන‍ බව ය. දේශපාලන අ යන්න ආ යන්න තේරෙන කිසිවකු සජිත් වැනි කහ පාත්තියක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කැමැති වන්නේ නැත. වැරදීමකින් හෝ සජිත් වැනි දේශපාලන නොදරුවකුට රාජ්‍ය බලය ලැබුනොත් රට පාලනය කල හැකි එකම ක්‍රමය වනු ඇත්තේ  ප්‍රේමදාස මර්දනය පමණක් බවට කැට තැබිය හැකි ය.

රනිල් වික්‍රමසිංහගේ විපක්ෂයේ බහුතරය එජාපය නිසා එහි නායක මා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයයන තර්කය නිවැරදි නම් 2010 ජනාධිපතිවරණයේ දී එම පිළිවෙත ක්‍රියාවට නොදැමූයේ මන්දැයි අප ඇසිය යුතු ය. එදා ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම් කුජීත වී යන බව  දැන සිටි නිසා වික්‍රමසිංහ ජෙනරල් පොන්සේකාට ඉඩ දී ඉවත් වූ නමුත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූයේ නැත. කකුලෙන් ඇද්දේ ය.

රාජපක්ෂවරු ශ්‍රී ලංකාව අර්ධ ඒකාධිපති අගාධයක් කරා ගෙන ගිය පසුගිය දශකයක් තරම් කාලය පුරාම රනිල් වික්‍රමසිංහ කළේ ආන්ඩු බලය ඉදුනු පැනි වරකාවක් මෙන් තම උකුළට වැටෙනු ඇතැයි ගනන් හදමින් කල් මැරීම ය. සිය පක්ෂය සොදා පාලු වී යාම වැළැක්වීමට පියවර ගනු වෙනුවට ඔහු කළේ යන එවුන් පලයල්ලා යැයි සිය එවුන් පමණක් ලඟා කර ගැනීම ය. මන්ද යත් ඔහුගේ දේශපාලන තර්කයට අනුව රාජපක්ෂ පාලනය මර්ධනකාරී සහ දූෂිත බැවින් ඉබේම කුණු වී යා යුතු නිසා ය.

බදුල්ල දිස්ත්‍රික්කයේත් වික්‍රමසිංහවාදී අකිල විරාජ් කෙනෙක් සිටියේ නම් වයඹින් දයාසිරි එළවා දැමූ පරිදි  හරීන් ප්‍රනාන්දු ආන්ඩු පක්ෂයට එළවා හමාර ය. එලඹෙන කවර මැතිවරණයක දී වුව දැන් වයඹ එජාපයට සොහොන් බිමකි. නූල් සූත්තර දේශපාලනයට පින් සිදුවන්නට ය.

රාජපක්ෂවරුන්ගේ මහජාතිවාදී යුදවාදී පිළිවෙත නිසා උතුරු නැගෙනහිර දෙමළ ජන්ද දායකයා ද  රාජපක්ෂවාදී උම්මන්තක බල සේනාවන් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හරින ලද ප්‍රහාරයන් නිසා රටපුරා මුස්ලිම් ප්‍රජාව ද රාජපක්ෂට විරුද්ධව ඉබේම තමන්ට ජන්දය දෙනු ඇතියි වික්‍රමසිංහ කල්පනා කරයි. එබැවින් එම ජනයාගේ අයිතීන් ගැන කතා කිරීම වැඩක් නැත. මන්ද යත් ඔවුන් ජන්ද ලක්ෂ ගණනාවක් මිස අයිතීන් සහිත ජන ප්‍රජාවන් ලෙස වික්‍රමසිංහ කල්පනා නොකරන නිසා ය. පුද්ගලික් බස්  බාසාවෙන් කියන්නේ නම් කෑලි ය.

දෙමළ සහ මුස්ලිම් ජනයා පමණක් නොව මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි පසුගිය වසර ගණනාව පුරා එජාපය සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයින් පවා අද රනිල් වික්‍රමසිංහ දේශපාලනයේ කෑලි බවට පත්ව තිබේ. ඔවුන්ට ලැබෙන්නේ පසුපස ආසන ය. එපමණක්ම ද නොවේ. රාජපක්ෂ පාලනයේ දූෂණය සහ භීෂණය ඉවසා ගත නොහී එළඹෙන ජනාධිපතිවරනයක දී විපක්ෂය සමඟ එක් වීමට සිටි මැති ඇමැතිවරුන්ද කෑලිය. සජිත් වික්‍රමසිංහගේ වචනයෙන් ගෙම්බන් සහ මීයන් ය. මන්ද යත් වික්‍රමසිංහ තර්කයට අනුව දැනටමත් රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්ව සිටින එම ශ්‍රීලනිප දේශපාලනඥයින්ට විපක්ෂයට ඒම හැර වෙනත් විකල්පයක් නැති නිසා ය.

විපක්ෂ කෑලි දැනටම සාක්කුවේ යැයි විකුමසිංහ සිතා සිටින නමුත් සාක්කුවේ ලොකු හිලක් ඇති බව ඔහු දන්නේ නැත.

දැන් අලුත් කෑල්ලක් රඟ දෙයි. එනම් කිරි ටොයියාවන සජිත් ප්‍රේමදාස ය.

ගොඩ නැගී එමින් තිබූ රාජපක්ෂ විරෝධී රළවේගය සහ පුළුල් පෙරමුණ ආපස්සට හැර වෙන තරමේ දේශපාලන හානියක් විකුමසිංහ නූල් සූත්තර මගින් කරමින් තිබේ. ඔහු විසින් කරමින් සිටින්නේ වසර ගණනාවක දේශපාලන වර්ධනයන් අපස්සට හරවා තවත් වසර ගනනාවකට රාජපක්ෂ පාලනය තහවුරු කැරෙන කම් ඕ ගෝ - චිකාගෝලෙල්ලමකි.

දෙමළ මුස්ලිම් ජනයාට වෙන අතක් නැතැයි යන අඥාන තර්කය මත ගලේ පහරා සිටින  වික්‍රමසිංහවාදී සහ  සජිත් අගසව  තිස්ස අත්තනායක බොදු බල සේනා ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන සුහද සාකච්ජාවකට කැමැත්ත පළ කරයි. ඊටත් එහාට යමින් රනිල් වික්‍රමසිංහ ජාතික හෙළ උරුමයේ 19වන සංසෝධනයට පාර්ලිමේන්තුවෙහි දී සහාය දී නීතියක් බවට පත් කිරීමට කැමැත්ත පළ කරයි. හෙළ උරුමය යනු ජාතික හෙළ උරුමයේ අත්තක් බවත් අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගෙන් පසු ඝාතක දේශකයා වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ආරක්ෂා කිරීමට හෙළ උරුම නායක චම්පික රණවක  ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් අප අමතක නොකළ යුතු ය.

හෙළ උරුමයේ රතන හිමියනගේ 19 වන සංසෝධනය යහපත් පියවර ගණනාවකින් සමන්විත වන නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට යෝජනා නොකරන එකකි. එමෙන්ම මංගල සමරවිර විසින් පෙන්වා දුන් පරිදි දෙමළ ජනයාට අවම හෝ බලයක් ලබා දෙන 13 වන සංසෝධනය අහෝසි කිරිමට වක්‍රව යෝජනා කරන එකකි. වික්‍රමසිංහ විවේචනයකින් තොරව ඊට අත්පුඩි දෙන්නේ කෙළෙස ද? විධායක ජනාධිපති අහෝසි කිරිමේ පුළුල් දේශපාලන ව්‍යාපාරයට උඩින් සහාය පළ කරන වික්‍රමසිංහගේ බළලා මල්ලෙන් එලියට පැන්නේ එවිට ය. ජනාධිපතිවරණය මුව විට තිබියදීත් තවමත් සිය වැඩ පිලිවෙළ ගැන වික්‍රමසිංහ මුඛය විවිර වී නැත්තේත් විධියක ජනාධිපති පුටුවේ රස විදීමට ඔහු සිහින දකින නිසා වත් ද?

මේ කණගාටුදායක දේශපාලන නූල් සූත්තර ජය ගනිමින් තිබෙන්නේ වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාවට වෙනසක් අවශ්‍ය වී තිබෙන අවස්ථාවක ය. එමෙන්ම  එවැනි වෙනසක් සඳහා කළාතුරකින් එළඹෙන බලවේග අපුරු සමුච්ච ගතවීමක් අප ඉදිරියෙහි පෙනි පෙනී තිබූ අවස්ථාවකය.

ඊටත් වඩා භයානක කාරණය නම් මෙම පරාජය වීමට නියමිත නූල් සූත්තර විසින් පොදු විපක්ෂ ව්‍යාපාරය අඩපන කරමින් සිටින්නේ රාජපක්ෂ පාලනය සිය අර්ධ ඒකාධිපතිත්වය පුළුලින්ද ගැඹුරින් ද වර්ධනය කරමින් සිටින තත්වයක් තුල ය. එය උතුරේ මර්දනය ඉහළ නංවමින් යුදකාලීන ගමන් තහංචියක් පනවා තිබේ. මරතිවරණ සමයෙහි දි එල්ටීටීඊ බිල්ලා පෙන්වීම පිණිස දෙමළ ජනයා විවිධ චෝදනා යටතේ අත් අඩංඟුවට ගැනීම ඉහළ නංවා තිබේ. දකුනෙහි සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය සහමුලින්ම වාගේ අඩවන කිරීමට ඉලකක් කෙරුනු  නීති රීති පණවා දඩ බල්ලන් ලිහා හැර තිබේ. ස්වාධීන විය යුතු සියළුම ආයතන කොක්කෙන් හෝ කෙක්කෙන් බිලි බා ගෙන තිබේ. මැතිවරණ ව්‍යාපාරයක් මුදලින් නැහැවිය හැකි මුදල් නොට්ටු අප්‍රමාණ ලෙස ගොඩ ගසා ගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය දේශපාලන උපාංග බවට පත් කරගෙන ඇත්තේ බියකරැ ලෙස ය.

රනිල් වික්‍රමසිංහ සිය කුටියට වී නූල් කැටකරමින් ඊළඟ ගුලිය අඹරා දේශපාලන බලය ගන්නේ කෙසේදැයි දවල් සිහින මවමින් සිටී. පොදු විපක්ෂයක් සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ සටහනකින් මිස රාපපක්ෂ අත්තනෝමතිකත්වය පැරදවිය නොහැක. රාජපක්ෂවරැන්ගේ මුල්‍ය බලය ද රාජ්‍ය බලය ද ප්‍රචන්ඩ බලය ද මෝහනකාරී රැවටිලි බලය ද පැරද විය හැක්කේ පොදු විපක්ෂයක පොදු දේශපාලන ව්‍යාපාරයකට පමණි.   එමඟ නොගන්නේ නම් රනිල් වික්‍රමසිංහගේ නූල් සූත්තර දේශපාලනයේ අවසානය බවට එළඹෙන ජනාධිපතිවරණය පත්වීම වැළැක්විය නොහැක.

අබ සරණයි.

සුනන්ද දේශප්‍රිය
 




2014-11-10
Advertisement

Find us on Facebook