English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාමාර්ග පරාජය කරන්න අපි පුළුල් ව්‍යාපාරයක්‌ ගොඩනගනවා - අනුර කුමාර දිසානායක
නිත්‍යාණූකූලව හෝ නිත්‍යාණූකූල නොවන ආකාරයෙන් 2015 ජනවාරි මාසයේ කිනම් දිනයක දි හෝ ජනාධිපතිවරණය පැවැත්වෙයි. එසේ පවත්වන්නට සුදානම්වන ජනාධිපතිවරණය හා එහි පසුබිම පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් සිය පක්‍ෂයේ භූමිකාව නැතහොත් ඔවුන් හමුවේ ඇති වගකීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සති අන්ත පුවත්පතකට මෙසේ ප‍්‍රකාශකර ඇත.


පළමුකොටම ව්‍යවස්‌ථානුකූලව පැහැදිළියි මහින්ද රාජපක්‍ෂ මහත්තයට යළිත් ඉල්ලන්න බෑ. වසර හයක්‌ පිරෙන තෙක්‌ ජනාධිපතිවරණ කැඳවන්න බෑ. එය හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේම නීතිඥ සංගමයට උපදෙස්‌ දුන් ඔස්‌ටේ්‍රලියානු නීති පීඨයේ මහාචාර්ය සූරි රත්නපාල මහතාගේත් පැහැදිලි අර්ථකථනයක්‌. මහින්ද මහත්තයා මේ එන්න හදන්නේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම කඩලා. මේ ව්‍යවස්‌ථාව සමග කළ සෙල්ලම්වල ප්‍රතිඵල අපි දැක තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන තුන්වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරණය පවත්වන්න ගත් තීරණය, හතරවැනි සංශෝධනය හරහා රට මහා ව්‍යසනයකට දැමීම. ප්‍රභාකරන් මරාගෙන මැරෙන හමුදාවක්‌ නිර්මාණය කරන්න තරම් බලපෑම් ඇති කළා. අසූ අට අසූ නවය වැනි තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය වුණා. රාජපක්‍ෂ මහත්තයා යළි ව්‍යවස්‌ථාව සමග සෙල්ලම් කරන්න පටන් අරන්. ජනාධිපතිවරයා මහජන ඡන්දෙන් තෝරාපත් වුණත් ඔහුට ධුරයේ වැඩ බලන්න හැකියාව තියෙන්නේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුගමනය කර ආරක්‍ෂා කරන බවට ප්‍රතිඥ දීමෙන්. එම නිසා ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති මූලික සම්මුතිය වන්නේ ව්‍යවස්‌ථාව රැකීමයි.

නමුත් අද මහින්ද රාජපක්‍ෂ මහත්තයා උත්සාහ කරනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩා දමා නායකත්වයට එන්න. මෙය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඇබ්බැහියක්‌. පුරුද්දක්‌. රටේ අණපනත්, රෙගුලාසි, නීති සීමා කිසිවක්‌ අදාළ නැති පාලකයෙක්‌. එදා ගෝත්‍රයේ නායකයා ගෝත්‍රය පාලනය කරද්දී සියල්ල තමන් විසින්ම පාලනය කළා වගේ අද ගෝත්‍රවාදීව ඒ දේ කරනවා. එදා ගෝත්‍රවාදී නායකයා මේ දේ කළේ තමන්ගේ ගෝත්‍රයේ උන්නතිය පැවැත්ම හා ආරක්‍ෂාව උදෙසා. ඒත් අද මේ දේ කරන්නේ පවුල, පවුල වටා සිටින කල්ලියේ උන්නතිය වෙනුවෙන්. එනිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩමින් එන මේ ප්‍රයත්නය පරාජයට පත්කළ යුතුයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අත්හිටුවීම හමුදා පාලනයක මූලික ලක්‍ෂණයක්‌. පකිස්‌තානයේ ෂියා උල්හක්‌, ඊජිප්තුවේ මුබාරක්‌ වැනි ලෝක පරිමාණ උදාහරණ මේ සඳහා දිය හැකියි. මේ ගමන් කරන්නේ ව්‍යවස්‌ථාව අත්හිටුවා, නොසලකාහැර හමුදා පන්නයේ පාලනයකට. ඒ නිසා මේ ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවට එරෙහිව පුළුල් ව්‍යාපාරයක්‌ ගොඩනැඟීමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කරනවා. එවන් තත්ත්වයක්‌ යටතේ වුවද මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයක්‌ කැඳවන්නේ නම් මේ ව්‍යවස්‌ථා විරෝධී ඒකාධිපති වියරුව සඳහා දරන ප්‍රයත්නය පරාජය කරන්න අපි කටයුතු කරනවා.


හෙළ උරුමය හා ජනතා විමුක්‌ති පෙරමුණ අතර බොහෝ වෙනස්‌කම් තියෙනවා. නමුත් මේ ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාමාර්ග පරාජය කරන්න අපි පුළුල් ව්‍යාපාරයක්‌ ගොඩනගනවා. ඊට අතුරලියේ රතන හිමියෝත් එක්‌ව සිටිනවා. උන්වහන්සේට විශාල බාධා සහ අභියෝග තිබියදී මේ ව්‍යාපාරයට සහාය දෙනවා. ඒකාධිපති, ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගොඩනැගෙන ඒකාබද්ධ ව්‍යාපාරයක්‌ පමණයි අපේ මේ ව්‍යාපාරය. ඉන් එහාට යන දේශපාලන ක්‍රියාදාමයක්‌ සඳහා සංවාද ඇතිවිය යුතුයි. එය දැනටමත් බොහෝ පිරිස්‌ සමග ආරම්භ කර තිබෙනවා.


-MMP




2014-11-09
Advertisement

Find us on Facebook