English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තෙවැනි වරටත් තරගය ජනපතිට පක්‍ෂව හා විපක්‍ෂව මත 35ක්‌



දහඅට වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව තමාට තුන්වැනි වතාවටත් ජනාධිපති මැතිවරණයට තරග කළ හැකිද, දෙවැනි වතාවට පත්වී වසර 04 ක්‌ ගතවුණාට පසු ජනාධිපතිවරණයක්‌ කැඳවිය හැකිද යන්න පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසුමට පක්‍ෂව හා විපක්‍ෂව නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක්‌ ඊයේ ලිඛිතව කරුණු ඉදිරිපත් කළහ.

දැනුම් දී තිබූ අවසාන කාල සීමාවූ ඊයේ සවස 3.00 වන විට ජනාධිපතිගේ ඉල්ලීමට පක්‍ෂව හා විපක්‍ෂව ලේඛන 35 ක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරිය වන මහේෂි ජයසේකර මහත්මිය වෙත භාරදී තිබිණි.

තුන්වැනි වතාවට ජනාධිපති තරගයට ඉදිරිපත්වීමට ජනාධිපති ගත් තීරණයට පක්‍ෂව භික්‍ෂූන් වහන්සේලා කීපනමක්‌ විද්වතුන් හා ස්‌වේච්ඡා සංවිධාන 15 ක්‌ ලිඛිත දේශන ගොනු කළහ. ආචාර්ය නලින් ද සිල්වා, ගාල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ලලිත් යූ. ගමගේ යන නීතිඥ මහත්වරු ද වෙන වෙනම ජනාධිපතිට පක්‍ෂව ලිඛිතව කරුණු ගොනු කළහ. එමෙන්ම ජනාධිපති නීතිඥ පයිස්‌ මුස්‌තාපා. සප්රුල්ලා, බන්දුල වෙල්ලාගේ, එච්. එම්. සුවාහිර් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මගින් භික්‍ෂූන් වහන්සේලා කීප නමක්‌ ජනාධිපතිගේ තීරණයට පක්‍ෂව කරුණු ඉදිරිපත් කර තිබිණ.

ජනාධිපති කළ මත විමසුමට ප්‍රධාන වශයෙන් විරුද්ධව කරුණු ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. එම මත විමසුම පිළිබඳව ප්‍රසිද්ධ විභාගයක්‌ විවෘත අධිකරණය හමුවේ පවත්වන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා මෝසමකින් වෙනම ඉල්ලීමක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර තිබූ අතර ඊට අමතරව මත විමසුමට එරෙහිව ලිඛිත කරුණු ඉදිරිපත් කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල, රාවය ප්‍රධාන කර්තෘ කොටවල විතාන ජනරන්ජන, උපුල් ඉන්දික කුමාරප්පෙරුම, ක්‍රිස්‌වාල් වර්ණසූරිය යන අධිනීතිඥවරු සහ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකු වන පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරු ජනාධිපතිගේ තීරණයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ අය අතර වූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තුන්වැනි වතාවටත් ජනාධිපති මැතිවරණයට තරග කිරීමට පක්‍ෂ අය කියා සිටින්නේ ජනාධිපති ගත් තීරණය 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල බවයි. 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වුණේ 2/3 ක වැඩි ඡන්දයෙන් බවත් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එහි පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවත් එය පරික්‍ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිට තුන්වැනි වතාවට තරග කිරීමට නීතියෙන් කිසිදු බාධාවක්‌ නැතැයි තීරණය කළ බවත් පක්‍ෂව කරුණු දක්‌වන අය වැඩිදුරටත් කියා සිටිති.

ජනාධිපති පදවිය වසර 04 ක්‌ දැරීමෙන් පසුව ජනාධිපති මැතිවරණයක්‌ පැවැත්වීමද නීතියට අනුකූල, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයක්‌ බවත් එය සිදුවන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව බවත් ජනාධිපති ලෙස කවුරුන් කොයි අවස්‌ථාවක පත්වුණත් එය ජනතාවගේ කැමැත්ත අනුව සිදුවන්නක්‌ බවත් ඔවුහු කියා සිටිති.

විපක්‍ෂව කරුණු දැක්‌වූ අය විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ජනාධිපති කළ මත විමසුම පිළිබඳව විභාගයක්‌ පැවැත්වීම කඩිමුඩියේ නොකරන ලෙසයි. පොදු ප්‍රජාවට ඉතා වැදගත්වන ප්‍රශ්න දෙකක්‌ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ තීන්දුවක්‌ ගැනීමට පෙර පුළුල් සංවාදයකට භාජන කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන අයට විවෘත අධිකරණයක්‌ හමුවේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදිය යුතු බවටත් ඔවුහු කියා සිටිති.

ජනාධිපතිවරයාට තවත් ඉදිරියට වසර දෙකක්‌ ධුරයේ දැරීමට හැකියාව තිබියදී හදිසියේම මැතිවරණයක්‌ කැඳවීමට ගත් තීරණය සාධාරණ හා සද්භාවයෙන් කළ එකක්‌ නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියා සිටී. එනිසා සිය සාමාජිකයන්ට කරුණු ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි ප්‍රමාණවත් කාලයක්‌ ලබා දෙන ලෙසත්, ලබන සඳුදා (10 දා) ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපතිට දන්වා යෑවීම කරන්නේ නැතිව ඒ සඳහා ඉදිරියට තවත් සති දෙකක කාලයක්‌ ලබා ගන්නා ලෙසත් මීට පෙර එවැනි ක්‍රියාමර්ග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබ ඇති බවත් නීතිඥ සංගමයේ සභාපති ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබූ ලියවිල්ලේ සඳහන් කර තිබිණි.

සරත් ධර්මසේන

උපුටා ගැනීම - Divaina online
-MMP



2014-11-08
Advertisement

Find us on Facebook