English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජය වේවා CID මහතුණි ! ඔවුන් මෙන් ම මොවුන්ව ද නීතියේ රැහනට හසුකර ගන්න !
අතුරුදහන්කරවීමක් සිදුකළ පිරිසක් විශේෂයෙන් ම පොලීසියේ නිළධාරින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීමේ පුවතක්!

සිදුවීම අතුරුදහන් කරවීමකි. අතුරුදහන්කරවීම සිදුකර ඇත්තේ පොලිස් සේවයෙහි නිරත දකුණේ බද්දේගම, අගලිය පොලීසියට අයත් උසස් පොලිස් නිළධාරියෙකු ඇතුළු තවත් නිළධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් නිළධාරින් පිරිසකි.

අතුරුදහන්කරවිමට ලක්වී ඇත්තේ 43 වියැති දෙදරු පියෙකි. අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදහන් වී ඇත. පසුව මරා වළදමා ඇත. එහෙත් වසරක ඇවැමෙන් අපරාධ විමර්ශන එ්කකයේ දක්‍ෂතාවය නිසා ම, අතුරුදහන්කරවීම කළ වුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. එය ප‍්‍රශංසනීය ය. එ් ආකාරයෙන්ම පසුගිය වසරේ එම කාලවකවානුවේදීම අනුරාධපුරයේ දි අතුරුදහන්කිරීමකට ලක්වී සිටින මධුෂ්ක හරිස් ද සිල්වා ගේ  අතුරුදහන්කළවුවන්ව ද මෙසේ අපරාධ විමර්ශන අංශයේ උකුසු ඇසට හසුවී නීතියේ රැහැනට නතුකර ගන්නට හැකිවේ නම්, එය මධුෂ්ක හරිස්ද සිල්වා ගේ අතුරුදහන්වීමෙන් කම්පනයටත් පීඩාවටත් පත්වී නිවුන් දරුදෙදෙනෙකු සමඟ තනිවී සිටින මයුරි ඉනෝකා බිරිඳ ද ඇතුළු පවුලේ ඥාතීන් හට කෙතරම් සැනසීමක් , කෙතරම් අස්වැසිල්ලක් ද? එය, " රාත‍්‍රි කැම රැගෙන නිවසට එමින් සිටි මධුෂ්ක කෝ ?" යන ප‍්‍රශ්නයට ඝෘජු පිළිතුරද සපයයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදි දකුණේදි සිදුවු අතුරුදහන් කරවීමක් පසු පස හඹා ගිය අපරාධ විමර්ශන එ්කකය වසරක් ගත වීමේදි අතුරුදහන් කරවීමට වගකිව යුතු පුද්ගලයින් පස් දෙනෙකු නීතියේ රැහනට හසුකරවා ගන්නට සමත්වි ඇත. බැද්දේගම ජීවත් වෙමින් සිටි සරත් ජයතිලක නම්වු 43 වියැති දෙදරු පියෙකු පසුගිය වසරේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා අතුරුදහන්වී පසුව නීතිය හා සාමය රකින අගලිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂකවරයාත් ,සාජන්වරයෙක් සහ පොලිස් පරික්‍ෂකවරු තිදෙනෙකු විසින් ඔහු අත්අඩංගුවට ගෙන පහරදී ජීවිතක්‍ෂයට පත්කර ඇති බවයි මාධ්‍ය වාර්තා ඉදිරිපත් කළේ.

කුමන හෝ චෝදනාවක් මත හෝ චෝදනාවකින් තොරව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, නීතිය හා සාමය රැකීම සඳහා වගකීමෙන් ම බැඳි සිටින පොලිස් නිළධාරින් විසින් නීතිය ක‍්‍රියාත්මක කරමින් ප‍්‍රශ්න කරනවා හැරුණු කොට, අත්අඩංගුවට ගත් පුද්ගලයා කුමන තරාතිරමක වුව ද අමානුෂික ලෙස පහර දෙන්නටවත් පහරදී මරා දමන්නටවත් පොලිසියට අයිතියක් නැත. පොලිසියේ පහරදීම්වලින් ජීවිතක්‍ෂයට පත්වන අවස්ථාවලදී ඒවා සාධාරණිකරණ කිරිමටත් එවැනි මරණව ඉබේ සිදුවුවා සේ ඔප්පුකරන්නට කාටත් තේරුම්ගත හැකි තකතීරු හේතු ඉදිරිපත් කරන්නටත් පොලීසිය සෑදි පැහිදී සිටිති. එය පොලිසිය සැහැල්ලූවට ලක්වෙන අවලක්‍ෂණ උත්සාහයකි.

කරුණු එසේවන කළ, අතුරුදහන් වී සිටි බැද්දේගම සරත් ජයතිලකට සිදුවු දේ විමර්ශනය කරගැනීමට අපරාධ විමර්ශන ඒකකයට හැකිවුවා සේම, මයුරි ඉනෝකා සහ පවුලේ ඥාතින් විසින් සපයා දී ඇති නිවරැදි පැහැදිළි සාක්‍ෂි නිරුපද්‍රිතව තවමත් සැරිසරන විට මධුෂ්ක හරිස් ද සිල්වාගේ පැහැර ගැනීමට ඝෘජුව සම්බන්ධ පොලිස් නිළධාරීන් සහ අතුරුදහන්කිරීමට සම්බන්ධ සියලූම පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර නොගන්නේ මන්ද යන්න උභතෝකෝටික ප‍්‍රශ්නයක් බවට දැන් පත්වී ඇත.

මධුෂ්කගේ බිරිඳ විසින්, සැක සහිත සියලූම පුද්ගලයින් පිළිබඳව පැහැදිළි නැවරැදි තොරතුරු අනුරාධපුර පොලීසියට ද මානව හිමිකම් කොමසාරිස් කාර්යාලවලට ද අනුරාධපුර ඞී අයි ජී කාර්යාලයට ද මහජන පෙත්සම් සමගින් ම භාරදී දැන්  ඕනැවටත් වඩා කාලයක් ගතවී ගොසිනි. මධුෂ්ක අතුරුදහන්කර නොවැම්බර් 02 වෙනි දාට හරියටම වසරකි. අදට, වසරකුත් , මාස දෙකකුත් ,දින සයකි.  ඔහු සොයා දෙන මෙන් මයුරි ඇතුළු ඥාතින් දිගින් දිගටම පොලීසියට අයාචානය කරති. එහෙත් අනුරාධපුර පොලිසිය ඒ රාජකාරිය තවමත් පැහැදිළිවම මගහරිමින් සිටියි. එය කණගාටුවට කාරණයක් වනවා සේම විස්මයට ද කාරණාවකි!!

අනුරාධපුර පොලිසියේ අක‍්‍රිය භාවය තුළ, සුදානම්වීමක් නොමැතිව නඩුදිනයේදි  පැමිණිම තුළ මධුෂ්කගේ අතුරුදහන් කරවීමේ නඩුවිභාගය ද දිගින් දිගටම කල් ගනු ලබයි.

එබැවින්, CID මහතුණි, මෙය ද ඔබගේ සූක්‍ෂම දක්‍ෂතාවය තුළින් තවත් මිනිස් දිවියකට සිදුවු දේ සහ ඒ දිවිය වටා සිටින ආදරණීයයන් හට සැනසීම ගෙනදීමට ද උභතෝකෝටික ප‍්‍රශ්නයට නියම පිළිතුර ලබාදීමට ද අවස්ථාවක්  කරගතමනාය. මන්ද අතුරුදහන්කරවීම තරම් තවත් ම්ලේච්ඡ නිහීන ක‍්‍රියාවක් මේ මහ පොලොව මත නැති තරම්ය. ඔහු අද එයි ද ? හෙට එයි ද ? නැතිනම් මොනවා උනාද ? යන අකාරුණික සිතිවිල්ලට, බලාපොරොත්තුවට විශ්වාසනීය පිළිතුරක් තම අත මත නැති නිසාය !!


-පිංතුර සහ සටහන මෙලනි මානෙල් පෙරේරා 




2014-11-07
Advertisement

Find us on Facebook