English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආශ්චර්යයේ අගනගරය හම්බන්තොට ජන ජීවිත සංවර්ධිතද?


ජාත්‍යන්තර ගුවන්තොටුපෙළවල්, වරායන්, අධිවේගී මාර්ගයන් ඉදිවෙද්දී ඕනෑම කෙනෙකුට හම්බන්තොට නගරය මැවෙන්නේ සුරපුරයක් ලෙසිනි. කොළඹ නගරයටත් වඩා දැවැන්ත සංවර්ධනයක් හම්බන්තොට ඇතැයි බොහෝදෙනා සිතයි. අපි ඒ යථාර්ථය විනිවිද සත්‍ය සොයා ආශ්චර්යයේ අග නගරය වන හම්බන්තොටට ගියෙමු.

ආශ්චර්යයේ පිවිසුම් තැනෙද්දී, දැවැන්ත කොන්ක්‍රීට් මාලිගා තැනෙද්දී ඒවා ගොඩනගන්නේ මිනිසුන්ගේ ජීවිත නොවේ. එදා හේන් තැනූ මිනිසුන්ට හේන් කොටන්නට කැළයක් නැත. ඔවුන්ට සුපිරි ජීවිතවලට හුරුවක්ද නැත. ඔවුහු තවමත් එදා ගිය පාරේ පාවහන් නොමැතිව ඇවිද යති. කටුමැටි ගැසූ පැල්පතෙහි ගොමමැටි ගෑ බිමට හෙවණ දෙන පොල් අතු පියස්සට වැතිරෙති. ඒ වරායක්, ගුවන්තොටුපොළක් වැඩක් නැති අහිංසක මිනිස්සුය.
 
කලාතුරකින් වාහන දෙක තුනක් යන මහා දැවැන්ත පාරවල් වල පුංචි උන් ඔහේ එහා මෙහා පනිති. කොලුගැටවු යතුරුපැදි පැයට කිලෝමීටර් 100 ද ඉක්මවා පැද යති. තවමත් යතුරුපැදියෙන් දෙදෙනා තුන්දෙනා ගමන් යති.

සංවර්ධනය භෞතිකව සිදුකරන්නට පෙර පුද්ගලයන්ගේ සංවර්ධනය ගැන සිතිය යුතුය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පේන මානයේ ගම්වල මිනිසුන්ගේ ජීවිතවල සංවර්ධනයක් නැත. අහසේ ගුවන් යානයක් දකිනවිට තවමත් කුඩාවුන් විඳින සතුට ඔවුන්ටද දැනෙනවා ඇත්තේ දැන් හම්බන්තොටට ඉහළින් ඉඳිහිට හෝ ගුවන්යානයක් පියාසර කරන නිසා වන්නට ඇත. ඒ හැරුණුකොට ඒ මිනිස්සු තවමත් එදා සිටි අතීතයේම වෙළෙමින් ඉපල් වෙති.

කටු ඉපල් වලින් වැහුණු කාන්තාර වැනි ප්‍ර‘දේශ මැද ආශ්චර්යයේ හීන දකින ඔවුන්ට හෙටක් පෙනෙන දුරක නැත. සුබ අනාගතයක් තබා වර්තමානයක්වත් නැති අහිංසක මිනිසුන් තම ගමේ උපන් නායකයාට දොස් කියන්නේ නැත. එහෙත් දහසක් අඟහිඟකම් මැද සිය අවාසනාවට හූල්ලති. කඳුළු කැට පිසිති. කලකින් වැටෙන දිය බිංදුව පමණක් මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රා‘ර්ථනය වෙයි. ඒ හැරුණුකොට වරායට එන නැව් ගණන හෝ ගුවන්තොටුපළට එන ගුවන් යානා ගණනාවක් අධිවේගී මාර්ගය හම්බන්තොටට එනවාද යන්නවත් ඔවුන්ට වැදගත් නොවේ.

අද සංවර්ධනය වන හම්බන්තොටට වඩා එදා කැලෑ වැදුණු හම්බන්තොට සතුට රැඳුණු බව කියන ඒ මිනිසුන්ගේ වේදනාව අපිද දුටුවෙමු. අක්කර ගණන් තිබුණ ඉඩම් ද අහිමි වූ ඔවුන් බිම් අඟලක් ද නොමැතිව වේදනා විඳිති. පිටරටින් එද්දී හිඟන්නන් සිටීම ලැජ්ජා සහගත යැයි එළවා දමන නගරයක් එදා ඔවුන් නොපතන්නට ඇත.

එහෙත් අද එයද ලැබී තිබේ. ආශ්චර්යයේ අගනගරයේ කොටසක් තවමත් දිළිඳුකමේ අඳුරින් වැසී තිබේ. අනාගතයේ එය තවත් වැඩිවනු ඇත. මුදල් ඇත්තේ අලුතින් හැදෙනා ගොඩනැගිලිවල හම්බන්තොට ගිනිගහන අවුවේ සීතල කාමරවල රජ සැප විඳිනු ඇත. ඔවුන්ට සැප විඳින්නට ඉඩ දී අහිංසක ජනතාව කබලෙන්ද ලිපටම ඇද වැටෙනු ඇත. ලොවට පෙනෙන සංවර්ධනයේ උරුමකරුවන් නොවූ ඒ ඇත්තෝ වෙනුවෙන් සටහනක් තබන්නේ දැන්වත් ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත සංවර්ධනයට මුල්ගල තැබෙනු ඇතැයි පතමිනි.

මෙහි දී අප සමඟ අදහස් දක්වන එය පිළිබඳ පළනොකරන්නේ මීට පෙර මෙවැනි අදහස් දැක්වූවන්ට කුපිත වූ පිරිස් කළ පහර දීම්වලට ලක්වන්නට සිදුවූ නිසාය.

එදායි අදයි හෙටයි හැමදාම අපේ ජීවිතය මේ විදියමයි
ලීලාවතී මහත්මිය


ජීවිතේ හරිම දුෂ්කරයි. දරුවන් අරගෙන මම මේ මොන්ටිසෝරියේ ඉඳන් පයින් එන්නෙ. පයින් තමයි වැඩිපුරම යන්නෙ. බස් අඩුයි. අව්ව සැරයි. වතුර නෑ. ගෙදර ආර්ථිකේ ගැන නම් කියල වැඩක් නෑ. පුතා කරන්නෙත් කුලී වැඩ. වරායෙ වැඩවත්, ගෙයක්වත් මොනවත් හම්බවුණේ නෑ. මේ පැත්තට වැඩකරලත් ගෙයක්වත් දුන්නෙ නෑ. අපේ ගෙවල් දැක්කම කලකිරෙනවා කොහොමද මේ මිනිස්සු ඉන්නෙ කියලා. මං ඇවිත් අවුරුදු 30 ක් විතර. එදත් එහෙමයි. අදත් එහෙමයි. මැරෙනකනුත් එහෙම වෙයි.

මේවා හදන්න කලින් අපි හොඳට ජීවත් වුණා
ඩබ්ලිව්.ජී. මල්ලිකා


ලැබෙනවයි කියල කිසිදෙයක් අපිට නෑ. අපි හම්බකරගත්තොත් කනවා. මොකුත්ම ආධාරයක්වත් ලැබිලා නෑ. දරුවො පස්දෙනෙක් ඉන්නවා. මහත්තයා කුලී වැඩ කරන්නේ. මේවා හදන්න කලියෙන් අපි හොඳට ජීවත් වෙලා හිටියා. කුලී වැඩත් තිබුණා. මොකක් වුණාද කියල හිතාගන්නවත් බෑ. සංවර්ධනය වෙන එක හොඳයි. තව කාලෙකින් දරුවන්ට හොඳයි. ඒත් දරුවො ඒ කාලෙ ඉන්නත් අද ජීවත් වෙන්න ඕනනේ.

අපි නාන්නේ සති තුනහතරකට දවසක් තමයි. දරුවොත් එහෙමයි. ඒකත් හොඳට හෝදන්න අමාරුයි. බවුසරෙන් බෙදලා යන වතුර ටික තමා දවස් හතරක් විතර පාවිච්චි කරන්නේ.

අපි වරාය බල බලා ජීවත් වෙනවා
සිරිසේන මහතා


පායනවා. වැස්ස නෑ. හැම අතින්ම දුෂ්කරයි. හේන් ගොවිතැන් කරගත්තොතින් තමයි මොනව හරි දෙයක් සපයාගන්නේ. ඉඩම් සේරම සංවර්ධනයට අරගෙන. අපි ඉඩම් රටට දුන්නා. අපිට රටෙන් හම්බවෙච්ච දෙයක් නෑ. ඉඩමක් තිබුණෙත් නෑ. ඉඩම් කච්චේරියට මාව තේරුණෙත් නෑ. වැවක් බැඳලා තිබිලා මං එතන අල්ලන් හිටිය හින්දා මට නොදී බැරිකමට දුන්නා. මෙදා කිවුල ඇවිත්. කුඹුරු මඟ ඇරුණා. දැන් ජීවත්වෙන්නෙ බොහොම අමාරුවෙන්. සංවර්ධනයත් එක්ක අපිට ලැබිච්ච දෙයක් නෑ. වරාය බලනවා. ජීවත්වෙනවා.

    හි්ඟන්නෝ වගේ අපි පාරේ ඉන්න එක ලැජ්ජ නිසා අපිට යන්නලු
    නිලූෂා මහත්මිය


    මේවා හැදුවට අපිට මොනවත් නෑ. අපේ කඩවල් කඩලා දැම්මා. ඒවට වන්දියක් වත් දුන්නෙ නෑ. වරායට ගන්නවා කියල අපිට අයින් වෙන්න කිව්වා. ඊට පස්සෙ අපි අයින් වුණේ නෑ. පාරවල් වැහුවා. මේවත් ස්ථිර තැන් නොවෙයි, ඊයෙත් කඩලා අයින් කළා.
    සංවර්ධනේ තව අවුරුදු 10 ක් 12 ක් ගිහින් එනකම් අපිට ජීවත්වෙන්න අමාරුයි. මේ ලොරියට මාසෙකට 23000 ක් දාන්න ඕනෙ. ඒ වියදම හොයන්නත් ඕනෙ. දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයට කන්න බොන්න දෙන්න ඕනෙ. අපේ ගේ තියෙන්නෙ වරාය කිට්ටුව. ඒ හරියත් සේරම වැහිල තියෙන්නේ.

    බිස්නස් කරන්නත් ස්ථිර තැනක් නෑ. මෙතන කඩවල් ගන්නලු සල්ලි දීලා. අඩි 10x10 කෑල්ලක් ලක්ෂ 7 ½ක්, අඩි 20x20 කෑල්ලක් 2,880,000 ක්. එහෙම අපිට ගන්න වත්කමක් නෑ. සල්ලි බඳින අයටලු ඉස්සෙල්ලා දෙන්නෙ. ඒකත් දැන් සල්ලි තියෙන අය අරගෙන ඇති. ඉඩමට ඉඩමක් දෙන්නෙත් අලි ඉන්න කැලේ. එහෙ ජීවත් වෙන්න බෑ. බිස්නස් කරන්නත් බෑ. අපිත් ඡන්දෙ දුන්නනම් තමයි. ඒත් දැන්නම් අසාධාරණ පැත්තට තමයි හැමදේම වෙන්නෙ. ඡන්දෙ දීලා පත්වුණාට අපිට වැඩක් නෑ. මෙහෙ පාරවල් අයිනෙ බිස්නස් කරන්න එපාලු. ඒගොල්ලන්ට ලැජ්ජයිලු පිටරටවල කට්ටිය යද්දි. අපි හිඟන්නො වගේ පාර දිගට ඉන්නවලු.

    අහිංසක මිනිස්සුන්ට තිබ්බ ටිකත් නැතිවුණා
    කරුණාදාස මහතා


 අපි හේන් හදන් හිටිය ඉඩම් වලින් තමයි අලුත් ව්‍යාපාර කළේ. අපිට ඉඩම් දෙනවයි කිව්වට අන්තිමේ අපිට ඉඩම් නෑ. පිටින් ආව මිනිස්සුන්ට දුන්නා. ගමෙන් සීයට දෙන්නෙක්, තුන්දෙනෙක් අරගත්තා. අනිත් කාටවත්ම නෑ. අපි හේන් හදන් ජීවත්වුණු මිනිස්සු. දැන් හේනක්වත් හදන්න තැනක් නෑ. අපිට ඉස්සර හිටිය විදිහටවත් ජීවත් වෙන්න විදියක් නෑ. අපිට අක්කරේ අක්කරේ දුන්නත් ඇති. අක්කර එකහමාර දෙක දුන්නා තියෙන මිනිස්සුන්ට. නැති අපිට මොනවත් ලැබුණේ නෑ. අක්කර බාගයක්වත් දුන්නනම් මොනවා හරි වවාගෙනවත් කනවා. අන්තිමට අහිංසක මිනිස්සුන්ට තිබ්බ ටිකත් නැතිවුණා විතරයි.

සාකල්‍යා සඳමාලි
ඡායාරූප - රාහුල් සමන්ත

උපුටා ගැනීම - Ada
-MMP




2014-11-06
Advertisement

Find us on Facebook