English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීතියේ පිහිටවත්, නිසි පරීක්‍ෂණවත් තවම නැහැ!

 

"අපි පොළීසියෙන් යැයි සිය අනන්‍යතාව සඳහන් කරමින් 2013 සැප්තැම්බර් මස 02 වෙනිදා පැහැරගෙන යනු ලැබු අනුරාධපුරයේ මධුෂ්ක හරිස් ද සිල්වා යන අය සම්බන්ධයෙන් පැමිණිළි පාර්ශවය විසින් ගොණුකළ නඩු විභාගය දෙවනවර ඇසීම ඊයේ, නොවැම්බර් 04 වෙනිදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් උසාවියේ දි සිදුවු අතර එහි කිසිඳු ප‍්‍රගතියක් නැතැයි මයුරි ඉනෝකා වෙනුවෙන් පෙනීසිටින නිතීඥවරුන්ගේ කණ්ඩායමේ නීතිඥ ප‍්‍රියලාල් සිරිසේන මහතා විසින් අනුරාධපුර උසාවිය ඉදිරිපිටදී "අයිතියට" ප‍්‍රකාශ කළේය.

"මධුෂ්ක හරිස් ද සිල්වාගේ පැහැරගැනීම සම්බන්ධයෙන් තවමත් තොරතුරු සොයමින් පසුවන බව තමයි පොලීසිය විසින් විනිසුරුවරයා ඉදිරියේ ප‍්‍රකාශ කළේ. පරික්‍ෂණ සඳහා දෙනු ලැබු දුරකථන අංකය පිළිබඳවවත් කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකිවු බව දන්වා සිටිමින් පොලීසිය තවත් දිනයක් ඉල්ලා සිටියා. මීට පෙර නඩු විභාග දිනයේදිත් පොලීසිය විසින් මේ ආකාරයෙන්ම දින දිග් කිරීමක් සිදුකළා, නමුත් කිසිවක් සිදුවී නැහැ. ප‍්‍රථිපලයක් නැහැ. ඒ නිසා අනුරාධපුර පොලීසිය විසින් කරනු ලබන කිසිම පරීක්‍ෂණයක් පිළිබඳව විශ්වාසයක් නොමැති නිසා, මෙම පරීක්‍ෂණ කටයුත්ත අපරාධ විමර්ශන ඒකකයට භාර දෙන ලෙසට පැමිණිළි පාර්ශවය විසින් ඉල්ලා සිටියා. එහිදි, ඉදිරි නඩු දිනයේදි අනුරාධපුර මුලස්ථාන පොළිස් පරීක්‍ෂකවරයා කැඳවන ලෙසට නියෝග කළ විනිසුරුතුමා දන්වා සිටියා කරුණු, කාරණා විමසා බලා මෙම නඩුව අපරාධ විමර්ශන එ්කකයට භාරදිය යුතු ද යන්න එදිනට තීරණය කරන බවයි. ඒ අනුව 2015 ජනවාරි 13 වෙනි දින නැවත මෙම නඩුව විභාග කරණු ලබනවා."යැයි නිීතිඥ ප‍්‍රියාලාල් සිරිසේන මහතා සඳහන් කළේය.

මෙහිදි අදහස් දක්වමින් අතුරුදහන්කර සිටින මධුෂ්ක හරිස් ද සිල්වාගේ බිරිඳ වන මයුරි ඉනෝකා ජයසේන කියා සිටියේ, ඉතාම පිරිසිදු, සත්‍යය සාක්‍ෂි ලබාදී තිබියදීත් අනුරාධපුර පොලීසියට මීට අදාළ පරික්‍ෂණ නිසි ආකාරයෙන් පවත්වාගන්නට තවමත් නොහැකි වී තිබීම ම විශාල ප‍්‍රශ්නයක් බවයි.

මධුෂ්කගේ අතුරුදහන්කරවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ එස්.එස්.පී.මහේෂ් සේනාරත්න ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙකු තොරතුරු දන්නා බව සඳහන්කරමින්  ඔවුන්ගේ නම් සඳහන්කර මයුරි ඉනෝකා විසින් දිවුරුම් ප‍්‍රකාශයක් ද ඉදිරිපත් කර ඇත. එම දිවුරුම් ප‍්‍රකාශයට අනුව, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් කඩිනම් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙසට බලකර සිටිමින් ඔක්තෝම්බර් මස 02 වෙනිදා  අනුරාධපුර නගරය තුළ මහජන පෙත්සමක් අත්සන්කරනු ලැබූ බවත්, අත්සන් 1137කින් යුතුවු එම පෙත්සම එදිනම ඞී අයි ජී කාර්යාලයට භාරදුන් බවත් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අයිතියට ප‍්‍රකාශ කළේය.

"මධුෂ්කගේ පැහැරගැනීමට පොළිසිය කොහෙත්ම සම්බන්ධ නැත්නම්, මෙතරම් සාක්‍ෂි තිබියදීත් පොලීසිය ඇයි මෙතරම් නිහඬ ? ඇයි අපරාධකාරයින්ව අල්ලන්නෙ නැත්තේ ? මධුෂ්කගේ පැහැර ගැනීමට වගේම නොවැම්බර් මාසේ 01 වෙනිදා අවශ්‍යකරන දේවල් ගන්න ටවුන් එකට ගිය මාවත් ඇස් බැඳලා, අත් බැඳලා පැහැරගත්ත අපරාධකාරයින්වත්  සොයා ගන්න පුළුවන්. සාධාරණව කඩිනම් පරීක්‍ෂණයක් පවත්වලා සැබෑ අපරාධකාරයින්ව හෙළිදරව් කරන්න කියන සටන තමයි අපි ගෙනියන්නේ. එතකොට, අපි පොළීසියට ඇඟිල්ල දිග්කරන එක නවත්වනවා."යැයි මයුරි ඉනෝකා ජයසේන අදහස් දක්වමින් අයිතියට ප‍්‍රකාශ කළේය. 

මධුෂ්ක හරිස් ද සිල්වා අතුරුදහන්කර අදට (නොවැම්බර් මස 04 වනදාට) දින 428 යි.

සටහන සහ පිංතූර  -  මෙලනි මානෙල් පෙරේරා



2014-11-05
Advertisement

Find us on Facebook